විස්සේ කුසලානයෙන් විසි නොවන්නට…

1122

මෙවර පන්දු වාර 20 – 20 ලෝක කුසලාන ක‍්‍රිකට් තරගාවලියේ සුපිරි වටය යටතේ ශ‍්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තවත් තරගයක් හෙට (01 වෙනිදා) පැවැත්වේ. ඒ එංගලන්තය කණ්ඩායම සමගින්ය. එංගලන්තය කණ්ඩායම සමග තරගය ශ‍්‍රී ලංකාවට ඉතා තීරණාත්මක එකක් වනු නොඅනුමානය. ඒ මන්ද යත් තරගාවලියේ තවදුරටත් ශ‍්‍රී ලංකා කණ්ඩායම යනු අනෙක් කණ්ඩායම්වලට යම්තාක් දුරට අභියෝගාත්මක කණ්ඩායමක් බව පෙන්වීමට මේ තරගයේ ජය පරාජය බලපාන බැවිනි.

මේ සටහන තබන්නේ ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔස්ටේ‍්‍රලියාව හමුවේ පරාජය ලැබීමෙන් පසුවය. ශ‍්‍රී ලංකා කණ්ඩායම සුපිරි වටය යටතේ තරග වැදීමට නියමිත වූ අනෙක් තරගය පැවැත්වීමට නියමිත වූයේ දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමගයි. එම තරගය මේ සටහන තබන අවස්ථාව වන විට ආරම්භ වී නොතිබුණු අතර ඇතැම් විට ඔබ මේ වන විටත් එහි ප‍්‍රතිඵලය දන්නවා විය හැක. ඔබ සෙනසුරාදා දින මේ පුවත්පත පරිශීලනය කරන්නෙකු නම් එම තරගය පැවැත්වෙන්නේ අද දිනයේය.

දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමග තරගය ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය කළා නම් එය ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මානසිකත්වයට යහපත් මෙන්ම මෙවර තරගාවලියේ ඉදිරි ගමනට ද හිත සුව පිණිස වනු ඇත. විශේෂයෙන් ශ‍්‍රී ලංකාව මෑත භාගයේදී අමිහිරි පරාජයක් ලැබුවේ නම් ඒ දකුණු අප‍්‍රිකාව හමුවේය. දකුණු අප‍්‍රිකාව හමුවේ ශ‍්‍රී ලංකාවේදීම 3-0ක් ලෙස පරාජයක් ලැබූ ශ‍්‍රී ලංකා කණ්ඩායමට මෙවර ලෝක කුසලාන තරගාවලියට ද ඒ පරාජය අහිතකර ලෙස බලපෑවේය. ඒ තරගාවලියේ වීරයා වෙමින් ශ‍්‍රී ලංකාවට මහත් හිසරදයක් වූ කඩුලූ රකින ක‍්‍රීඩක ක්වින්ටන් ඩි කොක් කළු ජාතික ජීවිතත් වටිනවා යැයි අභිනයන් දැක්වීමට විරෝධය පළ කර බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග තරගයෙන් ඉවත් විණි. එහෙත් ඒ පිළිබඳව පසුව සමාව ගත් ඩි කොක් ශ‍්‍රී ලංකාව සමග තරගයේ සිට ක‍්‍රීඩා කිරීමට නියමිතව සිටියේය.

දකුණු අප‍්‍රිකා කණ්ඩායම සමග ශ‍්‍රී ලංකාවේදී එදා ලැබූ ඒ දරුණු පරාජයත් පදනම්ව ශ‍්‍රී ලංකාව මෙවර මේ තරගාවලියේ සුදුසුකම් ලැබීමේ වටයෙන්ම ආපසු ගෙදර එනු ඇතැයි ඇතැමෙක්ගේ අදහස විය. ඒ නිසා සුදුසුකම් ලැබීමේ වටයට පෙර පැපුවා නිව්ගිනියාව සමග තරගයට ද ශ‍්‍රී ලංකාව සහභාගි වූයේ පපුවේ ගින්දර සමගය. එහෙත් පුහුණු වටයේ පැවැති තරග හතරින් ඉහළින් සමත් වූ ශ‍්‍රී ලංකාව සුදුසුකම් ලැබීමේ වටයට ඉහළ සුදුසුකම් ලබා ගත්තේය. සුදුසුකම් ලැබීමේ වටයේ තරගවලින් ද ලෝක ශූර තමන් වැනි කණ්ඩායමකට තරගයක් දීමට නැමීබියාව, අයර්ලන්තය මෙන්ම නෙදර්ලන්තය ද තරම් නොවන බව ලෝකය ඉදිරියේ පෙන්වූ ශ‍්‍රී ලංකා කණ්ඩායම එහි ප‍්‍රථමයා ලෙස සුපිරි වටයට පැමිණියේය.

සුපිරි වටය ද බංග්ලාදේශයට එරෙහිව සුපිරි ජයකින් ආරම්භ කළ ශ‍්‍රී ලංකාවට වැඩ වැරදුණේ ඔස්ටේ‍්‍රලියාව හමුවේය. ඬේවිඞ් වෝනර් ශ‍්‍රී ලංකාවට එරෙහි සුපුරුදු පිති ප‍්‍රහාරය දියත් කළේ ඇඩම් සම්පා ශ‍්‍රී ලංකාවට එරෙහිව පන්දු වාර 4ක් ලකුණු 12ක් තුළ නිම කිරීමෙන් පසුවය. පසුගිය තරගවලදී අසාර්ථකව සිටි වෝනර්ට ඒ පිතිප‍්‍රහාරය සඳහා අවශ්‍ය අඩිතාලම දමා දුන්නේ දුෂ්මන්ත චමීරගේ පන්දුවක් හමුවේ පැමිණි පහසු උඩ පන්දුව මහත් ආයාසයෙන් බිම දමනු ලැබූ කුසල්ය. එසේම නායක දසුන් ශානක පන්දු 19කදී ලකුණු 12කට දැවී යන විට සිය පළමු 4 පහර සඳහා පන්දු 18ක් වැය කර තිබුණි. අංක 4 පිතිකරු අවිශ්ක ප‍්‍රනාන්දු ද ඇඩම් සම්පාගේ පන්දුවට රොකට් එකක් ගසන්නට නොගියා නම් ඔස්ටේ‍්‍රලියාව එදා ශ‍්‍රී ලංකාව හමුවේ පරාද වන්නටද තිබුණි. එසේ වූවා නම් ශ‍්‍රී ලංකාවට මේ තරගාවලිය පිළිබඳව මහත් බලාපොරොත්තු තබා ගන්නට තිබුණි.

එහෙත් දකුණු අප‍්‍රිකාව සමග තරගය ජය ගත්තා නම් දැන් වුවත් ප‍්‍රමාද නැත. එසේ නොවූවා කියාද මහත් ශෝක ගත යුතු නැත. ගිලෙන්නට යන මිනිසා තුත්තිරි ගහේ හෝ එල්ලෙනවා යැයි කියමනද සිහියට ගෙන එංගලන්තයට සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ජය ගත යුතුය. ඉහළ ශුද්ධ ලකුණු වේගයක් සමග එම තරග ජයගැනීමට හැකි වුවහොත් හොඳක් මිස නරකක් නොවනු ඇත. සුපිරි වටය යටතේ තවම අඩක්වත් තරග අවසන්ව නොමැති බැවින් ඒ පිළිබඳව දැන්ම පුරෝකථන ද දිය නොහැක.

කෙසේ වෙතත් ශ‍්‍රී ලංකාව මෙවර ලෝක කුසලාන තරගාවලියට පැමිණියේ කුසලාන දිනනවාටත් වඩා තරුණ කණ්ඩායමක් සමග හොඳ තරගාවලියක නිරත වීමට බව හිටපු ක‍්‍රිකට් ප‍්‍රවීණයකුගේ අදහස විය. ඒ අනුව නම් ශ‍්‍රී ලංකා කණ්ඩායම දැනට ඒ අරමුණ සාක්ෂාත් කර ගෙන ඇත. කණ්ඩායමේ උප නායක ඇතුළු ප‍්‍රබල ක‍්‍රීඩකයින් තිදෙනකු තරග තහනමකට ලක්ව සිටින මොහොතක, තවත් අත්දැකීම් බහුල ක‍්‍රීඩකයින් ද විවේක ගන්වා, එක්සත් අරාබි එමීර් රාජ්‍යය කරා මේ එවන ලද්දේ මෙවර ලෝක කුසලානය නොව ඉදිරි ලෝක කුසලාන තරගාවලියක් ජය ගැනීමට හෝ හැකි වනු ඇතැයි බලාපොරොත්තු තබා ගත් කණ්ඩායමකි. එහෙත් මේ කණ්ඩායමෙන් තව කල් නොගොස් 2021දීම ඒ අදහස සඵල වේ නම් මල් හතකි. ඒ නිසා පරාද වූවා කියා ගල් ගසන්නට ද නොහැක. හැබැයි පරාද වෙනවා නම් ඊටද ක‍්‍රම ඇත. සටනක් දිය යුතුය. ග්ල්වුස් දෙකකුත් දා ගෙන මගුරු මාළු අල්ලනවා වගේ උඩ පන්දු බිම දමමින් පරාජයට පාර කපා ගන්නවා නම් එය අනුමත කළ නොහැකි කරුණක් වනු ඇත.

කුෂාන් සුබසිංහ
සාජා නුවර සිට..

විස්සේ කුසලානයෙන් විසි නොවන්නට…
advertistmentadvertistment
advertistmentadvertistment