විසිදැලෙන් පෙළහර පෑ අනුෂා සොනාලි දිවි රඟමඬලෙන් සමුගනී

835

රංගන ශිල්පිනි අනූෂා සොනාලි මහත්මිය ඊයේ (28 දා) පෙරවරුවේ කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේදී සිය දිවිසැරියෙන් සදහටම සමු ගත්තාය.

මියයන විට ඇය 47 වැනි වියේ පසුවූවාය. ශ්වසන අපහසුතාවක් හේතුවෙන් රෝහල්ගත කළ ඇය එහි ප්‍රතිකාර ලබමින් සිටියදී මියගිය බව රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා ‘දිවයින’ට පැවසීය.

ඇය මාංශපේශි අක්‍රිය වීමේ රෝගයකින් අවසන් කාලයේ පීඩා වින්දාය. මේ හේතුවෙන් ඇය රෝද පුටුවකට සීමා වී සිය ජීවිතය ගත කළාය. කළුතර උපත ලැබූ අනූෂා, කළුතර බාලිකා විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවාය. අනූෂා සොනාලි මහ්තමිය අවුරුදු දෙකහමාරේදී ‘හිතත් හොඳයි වැඩත් හොඳයි’ චිත්‍රපටියේ සුළු චරිතයක් රඟපාමින් සිනමා ක්ෂේත්‍රයට පිවිසුණාය.

ඇය පාසලේ සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබමින් සිටියදී චිත්‍රපටි හා ටෙලි නාට්‍ය අධ්‍යක්ෂිකා සුමිත්‍රා පීරිස් මහත්මියගේ ‘ගැහැනු ළමයි’ චිත්‍රපටියට ද තෝරා ගත් අතර, ඇය එහි විශිෂ්ට රංගනයක නිරත වූවාය. 1990 දශකයේදී ඇය වෘත්තීය වශයෙන් සිනමාවට පිවිසුණාය. ඒ අනුව ඇය ‘ලොකු දුව’, ‘විසිදැල’, ‘සළුපට අහසට’, ‘හඬන කිංකිණි’, ‘දරු උපත’, ‘මමත් ගැහැනියක්’, ‘පුතා මගේ සූරයා’ යන චිත්‍රපටිවල රඟපෑම තුළින් ජනතා ආදරය දිනා ගත්තාය.

එසේම, ඇය අවසන් වරට 2019 වර්ෂයේදී ‘සංගිලි’ චිත්‍රපටිය සඳහා දායක වූවාය.

1995 වසරේදී හොඳම නැගී එන නිළියට හිමි සම්මානය ද ඇය හිමිකරගනු ලැබුවාය. අනූෂා සොනාලි මහත්මියට 21 හැවිරිදි පුත්‍රයකු සිටියි. ඇයගේ දේහය මේ වනවිට කළුබෝවිල ජයරත්න මල් ශාලාවේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු අද (29දා) සවස කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ පිහිටි පොදු සුසාන භූමියේදී සිදු කෙරෙන බව අනූෂා සොනාලි මහත්මියගේ ඥාති සොහොයුරකු ‘දිවයින’ට පැවසීය.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment