විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්විය හැකියි

161

සද්භාවයෙන් අරගල කළ අයගේ අරමුණ අමතක කළ යුතු නැහැ
ඇමැති නිමල් සිරිපාල ද සිල්වා

සංශෝධනය යටතේ ජනපති බලතල අඩුවී නැහැ
නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ)

ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කිරීම අරගලයේ අරමුණයි
එරාන් වික්‍රමරත්න (සජබ)

විගණන කොමිසම ක්‍රියාත්මක කිරීම හොඳ යෝජනාවක්
ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා (සජබ)

20ට අත එසවීම මාගේ දේශපාලන අත්වැරැද්දක්
වීරසුමන වීරසිංහ (ශ්‍රීලංපොපෙ)

රට බංකොළොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නෑ
විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

විසි දෙවැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කිරීමෙන් ජනතාවගේ අපේක්ෂාවන් මල්ඵල ගැන්විය හැකි රාජ්‍ය සේවයක් ඇති කළ හැකි බව අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (20 දා) පැවසීය.

වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා විසින් සෙංකෝලය තැන්පත් කිරීමෙන් පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ මූලාසනයෙන් යුතුව පාර්ලිමේන්තුව ඊයේ පෙරවරු 9.30 ට ආරම්භ කෙරිණි.

ප්‍රථමයෙන් නිවේදන, ලිපි ලේඛන, ඉදිරිපත් කිරීමෙන් පසුව, මන්ත්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්ෂාවෙන් විමසා තිබූ ප්‍රශ්න සඳහා අදාළ ඇමැතිවරු පිළිතුරු සැපයූහ. ඉන්පසුව, පිළිබඳ දෙදින විවාදයට ආරම්භ විය.

විවාදය ආරම්භ කරමින්, අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා :

22 වන ව්‍යවස්ථා කෙටුම්පත අධිකරණ ඇමැතිට අවශ්‍ය ලෙස සකස් කළ එකක් නොවෙයි. පාර්ලිමේන්තුවේ පක්‍ෂ නායකයන් එක්ව යෝජනා සකස් කර සාදන ලද්දක්. අද ඓතිහාසික දිනයක්. මෙය ප්‍රජාතන්ත්‍රවාදයේ හොඳ ඉදිරි පියවරක් වෙනවා.

අපේ රටේ සංහිඳියාව නැතිවීමට එදා පැවැති සෙනෙට් මණ්ඩලය අහෝසි කිරීම හේතු වුණා. එහි සුළු ජනතාවටත් බලවත් රැකවරණයක් තිබුණා. ඔවුන් ගරුකරන අත්දැකීම් බහුල පුද්ගලයන් එහි හිටියා. ඉන්දියාව අපට බල කළා පාර්ලිමේන්තුවට යටින් පළාත් සභා ක්‍රමයක් ඒ නිසා ඇති කරන්න කියලා. රටේ ආර්ථිකයට අතපසුවීම් නිසා හානි පැවතියා. ජාතීන් අතර යුද ගැටුම් ඇති වුණා. අනුවන තීන්දු තීරණ නිසා අප රටේ විධායක ජනාධිපති ක්‍රමය තුළ ඇමරිකාවේ මෙන් ප්‍රබල බලතල තිබෙනවා. වෙස්ට්මිනිස්ටර් ක්‍රමයේ බලතලත් තියෙනවා.

1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන විවේචන තියෙනවා. 20 වතාවක් සංශෝධන වී තියෙනවා. සමහර සංශෝධන පෞද්ගලික අභිමතාර්ථ අනුව සිදුවූ ඒවා. ජනාධිපතිගේ බලය අඩුකරන්න 17 සංශෝධනයට ආවත් 18 මගින් එය යළි අහෝසි වුණා.

රාජ්‍ය සේවය ඵලදායිතාවක් ඇතිවන ආකාරයට පවත්වාගෙන යන්න කොමිෂන් සභා මගින් රාජ්‍ය සේවය ස්වාධීන කිරීමටත්, අධිකරණය ස්වාධීන කිරීමටත් 19 සංශෝධනය ගෙනාවා. පසුව 20 සංශෝධනය ඇවිත් එය යළිත් ආපස්සට ගියා. මෙය කරන්න එපා කියලා පාලකයන්ට කිව්වා. ගණන් ගත්තේ නැහැ. එනිසා යළි අපට 22 ගේන්න සිදු වුණා.

රටේ ඇතිවූ කලබලවලින් පස්සේ 20 සංශෝධනය කරන්න මට එවකට ජනපතිවරයා උපදෙස් දුන්නා. සියලු දෙනාගේ ආශිර්වාදය යටතේ පක්‍ෂ නායකයන්ගේ ආශිර්වාදයෙන් මේ සංශෝධනය ගෙනාවා. මෙය සම්මතවීම තුළින් රටේ ජනතාවගේ අපේක්‍ෂාවන් මල්ඵල ගන්වන්න පුළුවන් රාජ්‍ය සේවයක් මේ තුළින් ඇති කරන්න හැකි වේවි.

අතීතයේ සිදුවූ වැරදි අත්දැකීම් කරගෙන රට නිවැරදි දිසාවකට ගෙන යා යුතුයි. රටට අවශ්‍ය මූලික නීතිය සකස් කරන්න පාර්ලිමේන්තුවේ සහාය අවශ්‍යයි. මේ සංශෝධනය කිසිම පක්‍ෂයක් ආරක්‍ෂා කරන්න, තව පක්‍ෂයක බලය හීන කරන්න ගෙනාපු එකක් නොවෙයි. අද අපට තනිව නැගිටින්න බැරි තත්ත්වයක් ඇතිවෙලා. අපි සියලුදෙනා එක්කර ගෙන මේ ආර්ථික අභියෝගය ජයගත යුතුයි.

ද්විත්ව පුරවැසිභාවය සහිත අයට රට කරන්න බැහැ කියලා රටේ මතයක් තිබෙනවා. ඒනිසා ද්විත්ව පුරවැසිභාවය නැතිකරන්න යෝජනා කර තියෙනවා. රට වෙනුවෙන් කටයුතු කරන්න ඇත්ත වුවමනාවක් තියෙනවා නම් ද්විත්ව පුරවැසිභාවය අතහැර පැමිණිය හැකියි. ඒ සඳහා පූර්ණ බලය තිබෙනවා.

මේ සංශෝධනය ගෙනාවේ ජනතාවගේ ඉල්ලීම හා කැමැත්ත අනුවයි. ඒ නිසා ජනතාවගේ ඉල්ලීමට එකඟවන හා එකඟ නොවන පිරිස අපට දැකගත හැකියි. හැමෝම ජනතාවගේ ඉල්ලීමට එකඟවෙයි කියලා විශ්වාසයි.

විපක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ලක්‍ෂ්මන් කිරිඇල්ල

20 සංශෝධනය ගෙනාවේ හිතුවක්කාර විදිහටයි. පාර්ලිමේන්තුවෙන් පිටයි හැදුවෙ. ආංශික කාරක සභා අත්හිටුවා අපි දැකපු නැති 20 සංශෝධනය ගෙනාවා. ව්‍යවස්ථා හදන්න ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. 19 ට ඡන්දය දීපු අය 20 ටත් ඡන්දය දුන්නා.

20 ගෙනාවාම රටට ලැබෙන ජාත්‍යන්තර සහාය නැතිවන බව අපි දැන ගත්තා. ඒකයි අපි විකල්ප 20 යෝජනා ගෙනාවේ. එය පිළිගත්තෙ නැහැ.

අගමැතිගේ බලයත්, කථානායක බලයත් පාර්ලිමේන්තු බලයත් ජනාධිපතිට දුන්නා. සුපර් මෑන් කෙනෙක් හැදුවා. අන්තිමට ඔහු රටේ ආර්ථිකය විනාශ කරලා රට පැනලා ගියා. දැන් රජයේ නිවාසයකට ඇවිත් ඉන්නවා.

අපේ ආණ්ඩුව යනවිට විදේශ සංචිත ඉතිරි කළා. දැන් එය බැහැලා. ජාත්‍යන්තර ආධාර රටට අවශ්‍යයි. රට වෙනුවෙන් අපි මේ සංශෝධනයට එකඟ වෙනවා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යන්න මේ ආණ්ඩුව කල් ඇරියා. මුදල් කාරක සභාවේ බලය විපක්‍ෂයට දුන්නානම් සත්‍ය රටට හෙළිකර කලින්ම අවශ්‍ය සහන ගන්නවා. දැන් සියල්ල සිදුවී අවසන්. දැන් ආණ්ඩුව දාලා යන්න රට බංකොලොත් කරපු අයට ජාත්‍යන්තර ආධාර ලැබෙන්නේ නැහැ.

වරාය හා සිවිල් ගුවන්සේවා ඇමැති නිමල් සිරිපාලද සිල්වා :

විධායක ජනාධිපතිගේ බලය අඩු කරන්න නම් ක්‍රමවේදයක් පවතිනවා. 20 වන සංශෝධනයෙන් වූ වැරැද්ද නිවැරදි කරන්න අවශ්‍ය නීති ගෙන ඒමට 22 සංශෝධනයට හැකි වුණා. ජනපති බලය අඩුකර එහි කොටසක් පාර්ලිමේන්තුවටත් ස්වාධීන කොමිෂන්වලට පැවරීමක් සිදු වෙනවා. ප්‍රසම්පාදන කොමිසම ඇතුළු කොමිෂන්වලින් දූෂණ වැළැක්වීමට හැකි වෙනවා.

ද්විත්ව පුරවැසි භාවය සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ස්ථාවරයක් තියනවා. ඔවුන්ට පාර්ලිමේන්තුවට එන්න දෙන්න බැහැ. ඒ සඳහා නීති සංශෝධනය තුළ පවතිනවා.

මනාප ක්‍රමයෙන් බැහැර වූ නව මැතිවරණ ක්‍රමයක් රටට අවශ්‍යයි. විධායක ජනාධිපති ක්‍රමය එකවර අහෝසි කරන්න බැහැ. ඒ සඳහා නියමිත ක්‍රමවේදයක් පවතිනවා. සද්භාවයෙන් අරගල කළ අයගේ අරමුණු අමතක කළ යුතු නැහැ. සාධනීය වෙනසක් සිදුවිය යුතුයි. පාර්ලිමේන්තුවට බලය දී රාජ්‍ය මුදල් වැය කිරීම ගැන විගණනයක් අවශ්‍යයි.

අපි අවස්ථාවට ගැළපෙන පරිදි නීති වෙනස් කළ යුතුයි. එහෙම නොකොළාත් ජනතාව 225 ම එපා කියයි. ජනතාවට හිතකර රටක් බිහිකිරීමට අපි හැමෝම කැපවෙමු.

මහනුවර දිස්ත්‍රික් මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ

22 සංශෝධනය හරහා ආණ්ඩුවේ බෙදීමක් විපක්‍ෂය බලාපොරොත්තු වුණා. නැවත බලයට එන්න පුළුවන් කියලා බැලුවා. 22 කැබිනට් එක අනුමත කළේ ගෝඨාභය රාජපක්‍ෂ ජනපති සමයේ. පොදුජන පෙරමුණ බෙදෙයි කියලා හිතුවා. එහෙම වෙන්නේ නැහැ. හෙට මේක සම්මත වෙනවා.

මේ ව්‍යවස්ථාවට සංශෝධන 20 – ක් ගෙනවිත් තියෙනවා. ඉන් 12 ක් ගෙනාවේ පවතින රජයේ පැවැත්මටයි. පෞද්ගලික අවශ්‍යතා සඳහායි පෞද්ගලික න්‍යාය පත්‍රවලින් බැහැරව ව්‍යවස්ථා සංශෝධන කළ යුතුයි.

මේ රටට හොඳ දෙයක් ගේනවා නම් සහාය දිය යුතුයි. ප්‍රසම්පාදන කොමිසම, විගණන කොමිසම වැනි හොඳ කරුණු තියෙනවා. ටෙන්ඩර්වලදී දොස් අහන්නේ ඇමැතියි. ඒ නිසා මේ කොමිෂන් සභා ඇති කිරීම ඉතා හොඳයි.

ජනපති බලතල ගැන සමහර තීන්දු ගන්නේ අධිකරණයයි. අධිකරණය සමහර බලතල ඉවත් නොකළ යුතු බවට තීරණයක් කළා. එක එක පුද්ගලයන් ඉලක්ක කරගන්නේ නැතිව නීති සම්පාදනය කරමු. අපට ලැබී ඇති බලය අයුතු ලෙස පාවිච්චි නොකළ යුතුයි.

හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන

19 සංශෝධනය මම එදා 2015 දී ගෙන ආ වෙලාවේ දවස් දෙකක් විවාද කරද්දී පාර්ලිමේන්තුවේ ඉඳලා 219 ක් ඡන්ද ගන්න පුළුවන් වුණා. එදා ව්‍යවස්ථා සභාව දේශපාලනීකරණය වුණා. කොමිෂන් සභාවලට අවශ්‍ය නීති පැනවුණේ නැහැ. ඒ නිසයි ප්‍රශ්න ඇති වුණේ.

මේ ආණ්ඩුව ආවේ අලුත් ව්‍යවස්ථාවක් හදනවා කියලා. ව්‍යවස්ථා කොටුම්පතකුත් හදලා තියෙනවා. නමුත් ඒ අලුත් ව්‍යවස්ථාව ආවේ නැහැ.

එදා 19 නිසා ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස, රාජ්‍ය සේවය ශක්තිමත් වුණා. අපි 22 ට ඡන්දය පාවිච්චි කරනවා. මෙය ජනතාවගේ පැත්තේ සිට ඊට කැමැත්ත පළ කරනවා.

විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර

නැවත වතාවක් ව්‍යවස්ථාව සංශෝධනය නොකර අලුතෙන් ව්‍යවස්ථාවක් ගෙන ඒමට ක්‍රියා කරමු. රටට හා අනාගතයට ගැළපෙන ව්‍යස්ථාවක් ගෙන එමු.

විපක්‍ෂය 21 වන සංශෝධනය ගෙන ආවා. එහි සමහර කරුණුවලට ජනමත විචාරණ අවශ්‍ය බවට අධිකරණය කිව්වා. මේ වෙලාවේ සම්මත කළ හැකි යෝජනාවක් ගෙන එන්න විපක්‍ෂය අපොහොසත් වුණා.

20 සංශෝධනයේදී පාර්ලිමේන්තුව විසුරුවීමේ කාලය වසර දෙකහමාර කළා. හොඳ යෝජනා තිබුණා. විගණන කොමිසම එදා අහෝසි වුණෙන් අද යළි ඉදිරිපත් වී තිබෙනවා. තවදුරටත් මෙම සංශෝධනය කල්දැමිය යුතු නැහැ. අප එකඟ වෙලා සම්මත කළ යුතුයි.

අපි මේ 22 වැනි සංශෝධනය සම්මත කර ගැනීමට කටයුතු කළොත් අපට මේ ධූර කාලය තුළදීම අලුත් ව්‍යවස්ථාවක් ගේන්න පුළුවන් වේවි. ඒ නිසා අපි එකතුවෙමු.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ගයන්ත කරුණාතිලක මහතා (සජබ) –

අපේ මේ ව්‍යවස්ථාව දැන් අවස්ථා විසි ගණනකදී සංශෝධනය වෙනවා. අපේ ව්‍යවස්ථා සංශෝධනය වීමේදී ජනතා උවමනාවන් වෙනුවට කිසිදු වග විභාගයකින් තොරව ඇතැම් නායකයන් තමන්ගේ උවමනාවන් අනුව කටයුතු කර ගත්තා. 17 වෙනි සංශෝධනය වගේ යහපත් සංශෝධනයක් 18 වෙනි දුර්දාන්ත ව්‍යවස්ථා සංශෝධනය කළා.

එමගින් ජනාධිපති ධුර කාලය වැඩිකර ගනිමින් තමා මේ රටේ යාවජීව නායකයා ලෙස සිතුවත් අවසානයේදී නීච තත්ත්වයට පත් වෙනවා අපි පසුගිය කාලයේදී දුටුවා. 19 වැනි සංශෝධනය ඉතා යහපත් එකක් වුණා. එමඟින් ඇති කරන ලද එෆ්සීඅයිඩී වැනි ආයතන නීත්‍යනුකූල කිරීමට කටයුතු නොකොට හොරුන්ව තමාගේ ගජ මිතුරන්ව ආරක්‍ෂා කරන්න යටි කූට්ටු වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා (සජබ)-

මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන පොහොට්ටුවේ මහ ලේකම් අප්‍රසාදය පළ කර තිබුණා. මේ සංශෝධනයේ යහපත් සාධක තිබෙනවා. ද්විත්ව පුරවැසියන්ට පාර්ලිමේන්තු පැමිණීම තහනම්. විගණන කොමිසම ක්‍රියාත්මක කිරීම ඇතුළු කාරණා කිහිපයක් හොඳ යෝජනා ලෙස දැකිය හැකියි. අපිට පෙනෙනවා මුළු රටම හොරාකාලා තවමත් බල ලෝභයෙන් යුතුව නැවතත් නැගිටිමු කියලා කියනවා. ඒ අයට රැවටෙන්න එපා කියලා මම ජනතාවට කියනවා. රාජපක්‍ෂලා සහ ඔහුගේ ගෝලයේ මේ රට අතුගෑවිලා ගියත් කමක් නෑ කියලා කටයුතු කරනවා කියලා අපට පෙනෙනවා. පසුගිය කාලයේ ගල්අඟුරු ගෙන ඒමේදී එය පැහැදිලියි. ඒ නිසා විදේශ ප්‍රේෂණ එවන්න එපා කියලා මම ඉල්ලනවා. මා කියන්න ඕන අරගලය මගින් තමයි ජනතාව නිර්භයව නැඟී සිටියේ.

රාජ්‍ය ඇමැති ලසන්ත අලගියවන්න මහතා –

රජය නියෝජනය කරන ශ්‍රීලනිපයේ අපි සියලු දෙනා මේ ව්‍යවස්ථා සංශෝධනයට අපේ පූර්ණ සහයෝගය ලබාදෙනවා. ඒක අපි අද ගත් තීරණයක් නොවෙයි. රටේ ජනතාව කියනවා 18 ට 19 ට 20 ට අත උස්සපු අය 22 ටත් අත උස්සනවා කියලා. නමුත් ඒ ඡන්දය දීපු අයට බලපාපු කාරණාවක් තිබෙනවා. ඒ දේශපාලන පක්‍ෂවල ව්‍යවස්ථාව කියන එකත් මතක් කළ යුතුයි. අපි 14 ට ඡන්දය දුන්නෙත්, මැතිවරණ ක්‍රමය සංශෝධනය කරනවා කියන පොරොන්දුව මතයි. නමුත් එය සිදු වුණේ නෑ. දැන් මේ වනවිට අපි මැතිවරණ කල්දැමීමේ ක්‍රියාවලියට දායකවෙලා තිබෙනවා. මැතිවරණ කල්දැමීම අපි නොකළ යුතුයි. සියලු දෙනාටම එකඟ විය හැකි මැතිවරණ ක්‍රමයක් පිහිටුවා ගැනීමේ අභියෝගය අද තිබෙනවා. සැමටම සාධාරණයක් වන ඡන්ද ක්‍රමයක් පිහිටුවාගන්න බෑ. ඒ නිසයි මේ ප්‍රශ්නය පැනනැගී තිබෙන්නේ.

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී නාලක ගොඩහේවා (ශ්‍රීලපොපෙ) –

22 සංශෝධනය යටතේ ජනපති බලතල අඩුවී නැහැ. ජනතාවට අවශ්‍ය වෙනසක්. එය මෙයින් වන්නේ නැහැ. ඇමැතිකම් කීයක් වුණත් තියාගන්න පුළුවන්. මෙහි හොඳ දෙයකට තියෙන්නේ පාර්ලිමේන්තු සභාව දේශපාලනීකරණය නොවී සකස් කිරීමයි. මෙයට පක්‍ෂව ඡන්දය දෙන්න තීරණය කළා.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත (ශ්‍රීලපොපෙ) –

පොහොට්ටුව පක්‍ෂය තුළ ප්‍රජාතන්ත්‍රවාදය නැති නිසා බහුතර 150 ප්‍රමාණය 130ට පමණ අඩු වුණා. එය ප්‍රසිද්ධියේ මම කිව්වා. රටට ප්‍රජාතන්ත්‍රවාදය අවශ්‍යයි. නව වෙනසක් අවශ්‍යයි. විධායක ජනපති ක්‍රමය අහෝසි කරන්න හෝ බලය අඩු කරන්න පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකින් බැහැ.

ඒ තරම් බලවත් බෙදීමක් තිබුණා. ද්විත්ව පුරවැසිභාවයට දැන් ගැටලුවක් නැහැ. එවැනි අයකු පාර්ලිමේන්තුවට පැමිණීම වැළැක්වීමට අපි ඡන්දය දෙනවා. විපක්‍ෂය බලාපොරොත්තු වන බොරදියේ මාළු බාන්න අපි ඉඩ තබන්නේ නැහැ.

පත්කළ මන්ත්‍රී එරාන් වික්‍රමරත්න – මේ සංශෝධනය 19 සංශෝධනයට කිට්ටු වෙලාවත් නැහැ. ජනාධිපතිට ඕන කෙනෙක් පත් කරන්න පුළුවන්. අපි 21 වන සංශෝධනය ගෙනාවේ විධායක ජනපති බලතල අඩු කරන්න. විධායකයේ බලය වැඩියි. එය අඩු කරන්න ඕන.

ජනාධිපතිට අමාත්‍යාංශ තබාගැනීමට ඉඩදීම වැරදියි. ජනපතිට තව ඇමැති ධුර තියාගන්න පුළුවන්. එහෙම කරන්න අවශ්‍ය නැහැ. එය අඩු කරන්න.

පත් කළ මන්ත්‍රී මයන්ත දිසානායක (සජබ) –

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර පාර්ලිමේන්තු ක්‍රමයක් ඇතිකළ යුතුයි.

ජනාධිපති ක්‍රමවේදය සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න එඩිතර තීරණයක් ගත යුතුයි. ජනාධිපති පුටුවේ ඉඳගත්තහම හැමෝගේම අදහස වෙනස් වෙනවා. එතරම්ම බලතල වැඩියි. අපි කෙසේ හෝ මේ ක්‍රමය නැති කළ යුතුයි. අරගලයේ අරමුණත් එයයි.

ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී චන්දිම වීරක්කොඩි (ශ්‍රීලපොපෙ) –

ජනතාව මන්ත්‍රීවරුන්ව පත් කරන්නේ දූෂණයෙන් වංචාවෙන් තොර ආණ්ඩුවක් හදන්න. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති කරන්න. විධායක ජනපති ක්‍රමය නැති කරනවා කියලා පස්සෙ පොඩි වෙනස්කම් කරනවා.

විජේදාස රාජපක්‍ෂ මහතා විපක්‍ෂයේ සිටියදී හදපු 22 සංශෝධනය නොවෙයි අද ඉදිරිපත් වී තියෙන්නෙ. විධායක ජනාධිපති බලතල අඩුවෙලා නැහැ. ඇමැතිවරු 150ක් වුණත් ජනපතිට දාගන්න පුළුවන්. ඕන නම් කොමිෂන් පත් නොකර සිටිය හැකියි. මෙය ජනතාවට කරන ලොකුම ප්‍රෝඩාවක්.

කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් (සජබ) –

මේ රටේ ජනාධිපතිවරු ජනතාවට පොරොන්දු වුණා ජනපති ක්‍රමය අහෝසි කරන බව. එය සිදු වූයේ නැහැ. කියනවා කරන්නේ නෑ. ජනතාව උද්ඝෝෂණය කරලා ඉල්ලුවේ අලුත් ව්‍යවස්ථාවක්

ගේන්න කියලා. එය නොකර පොඩි සංශෝධනයක් කළා. 19ට වඩා අඩු එකක් අද ගෙනල්ලා තියෙන්නේ. 19 වෙනුවට 20 ගෙනල්ලා රට විනාශ මුඛයට ඇදලා දැම්මා.

එදා 20ට ඡන්දය දීපු අය ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ අද ඉන්නවා. 17 සංශෝධනය සිට 20 සංශෝධනය දක්වා සියල්ලටම ඡන්දය දීපු අය පාර්ලිමේන්තුවේ ඉන්නවා. 18 හා 20 ගෙනල්ලා රාජපක්‍ෂවරු පෝෂණය කළා. බැසිල් ගෙනාපු අය දැන් එපා කියලා, ද්විත්ව පුරවැසිභාවයට විරුද්ධ වෙලා. ප්‍රතිපත්තියක් නැති නිසා රට විනාශ වෙලා.

රාජ්‍ය ඇමැති තාරක බාලසූරිය –

වර්තමානයේ රටේ අර්බුද ඇති වුණේ 20 සංශෝධනය නිසා කියලා විපක්‍ෂය චෝදනා කරනවා. එහෙනම් ප්‍රංශය, එංගලන්තය ඇතුළු රටවල අද ගැටුම් ඇති වුණෙත් එවැනි දෙයක් නිසාද? කොවිඩ් හා ජාත්‍යන්තර ගැටලු නිසයි රටවල අර්බුද පවතින්නේ. 22 සංශෝධනය ගේන්න වුවමනාව තිබුණේ ගෝඨාභය ජනාධිපතිටයි. අලුත් ගමනක් යන්න ඔහුට වුවමනාව තිබුණා. ද්විත්ව පුරවැසිභාවය පාර්ලිමේන්තුවේ තිබීම රටකට හොඳ දෙයක් නොවෙයි. එය ඉවත් කිරීමට එකඟවීම හොඳ කාරණයක්.

රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී වාසුදේව නානායක්කාර – ලබන මාර්තු වනවිට පාර්ලිමේන්තුව විසුරුවීමට ජනපතිට බලය ලැබෙනවා. එවිට සියලු මන්ත්‍රීවරු ඔහු වටා එක්වෙනවා. පාර්ලිමේන්තුවෙන් පිට තියෙන බැසිල්ගෙ බල කේන්ද්‍රය 22ට ඡන්දය දෙන්න එපා කියලා බලකරනවා. ද්විත්ව පුරවැසිභාවයට ඉන්දියාවේ කිසිම ඉඩක් නැහැ. ඒ නීතිය අපේ රටේ ක්‍රියාත්මක කරන්න පියවර ගැනීම ගැන සතුටුයි. උසාවිය ජනපති බලය අඩු කරන්න බැහැ කියලා තියෙනවා. ඒකයි විසුරුවීමේ බලයයි එක් වුණාම ජනපතිගේ පරම බලය ඇතිවෙනවා.

මාතර දිස්ත්‍රික් මන්ත්‍රී වීරසුමන වීරසිංහ (ශ්‍රීලංපොපෙ) – 1978 ව්‍යවස්ථාව ජනවරම උල්ලංඝනය කර ගෙනාපු එකක්. එයින් ඇති කළ විධායක ජනපති ක්‍රමය ඇතුළු පාලන ක්‍රමය රට විනාශයට ගෙන ගියා. ව්‍යවස්ථාවට මේ වනවිට පැලැස්තර 20ක් දැම්මා. කිසිම විසඳුමක් නැහැ.

විජේදාස රාජපක්‍ෂ අධිකරණ ඇමැති නොවුණා නම් මේ සංශෝධනය එන්නේ නැහැ. ඒකටත් කපුටා කොටනවාමයි. 20ට අත උස්සපු එක මා ගත් වැරදි දේශපාලන අත්වැරැද්දක්. ඒ වැරැද්ද නිවැරැදි කරගන්න 22ට අත උස්සන්න අවස්ථාව ලැබෙනවා. එදා අපි ඉල්ලපු සම්පූර්ණ නව ව්‍යවස්ථාව ගෙනාව නම් අදටත් ජනපති ගෝඨාභයයි. කිසිම අරගලයක් ඇති වන්නෙත් නැහැ. අපට පූර්ණ ව්‍යවස්ථා සංශෝධනයක් අවශ්‍යයි. ඒ සඳහා ක්‍රියාකරන්න. රටට ගැළපෙන අනාගතයට ගැළපෙන ව්‍යවස්ථාවක් හදන්න.

පාර්ලිමේන්තුව අද (21දා) පෙරවරු 9.30ට යළි රැස්වීමට නියමිතය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment