විස තැවරූ අයිස් ක්‍රීම්!

34

ත්‍රස්තවාදය වැළැක්වීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇති බව නිවේදනය වී තිබෙනවා.

මෙතෙක් පැවැති පනත අවභාවිතයට මෙන්ම එය හකුලා ගැන්මට රට තුළින් මෙන්ම ලොව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන තුළින් සහ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් තුළින් එල්ලවූ දැඩි විරෝධය තුළ නව පනතක් ඉදිරිපත් කිරීමට සිදුවීම අපට දකින්නට පුළුවන.

ප්‍රජාතන්ත්‍රවාදී මැතිවරණ ක්‍රම තුළින් ජනමතය එළිදක්වන්නට ඇති මං වසා දමන්නට පාලකයන් නොයෙකුත් උප්පරවැට්ටි යොදමින් කටයුතු කරමින් සිටින වකවානුවක, මේ පනත තුළින් උත්සාහ දරන්නේ ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති වෙනත් ක්‍රම වලින් ජනතා අදහස් එලිදැක්වීමට ඇති මං ද වසා දැමීමට බව මෙහි වගන්ති හොඳින් විමසා බලන කල තේරුම්ගත හැකිව තිබෙනවා.

මූලික වශයෙන්ම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පවා බොහෝ දෙනා භාවිත කරනු ලැබුවේ ඉතාමත්ම ඛේදනීය සහ හිතුවක්කාරී ලෙසයි. තම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීම උදෙසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත උපයෝගී කරගත් අවස්ථා ඉතිහාසයේ සිට මේ දක්වා ඕනෑ තරම් අපිට දකින්නට ලැබෙනවා. ත්‍රස්තවාදී සැකකරුවන් පමණක් නොව ජනමාධ්‍යවේදීන්, සමාජ ක්‍රියාකාරීන් මේ යටතේ අත්අඩංගුවට ගත් අතර, රජයට එරෙහි විවේචනාත්මක අදහස් මර්දනය කිරීම උදෙසා මේ පනත දැඩි සේ භාවිත කළා. ත්‍රස්තවාදය යැයි හැඳින්විය හැකි වැරදි සම්බන්ධයෙන් අදාළ වන පනත් මෙන්ම, දණ්ඩ නීති සංග්‍රහයේ වගන්ති ශ්‍රී ලංකා නීතිය තුළ පවතිනවා. එසේම හදිසි තත්ත්ව තුළ දී කටයුතු කිරීමට ජනපතිවරයාට හදිසි නීතිය පැනවීමේ හැකියාවද තිබෙනවා. එවැනි තත්ත්වයක් තුළ පවා ත්‍රස්තවාදය වැළැක්වීමේ මුවාවෙන් වඩා බිහිසුනු මර්දනකාරී පාලනයක් පවත්වාගෙන යෑමට ඉඩ සලසන මෙවැනි නීතිරීති ගෙන ඒමට කටයුතු කිරීම කනගාටුදායක තත්ත්වයක්.

මූලික මිනිස් අයිතිවාසිකමක් වන රැස්වීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස, විරෝධතා පැවැත්වීමේ නිදහස පවා මර්දනය කිරීමට මේ විස තැවරූ පනත හරහා හැකියාව ලැබෙනවා. තැන ඒක රාශිවීම, රැස්වීම් පැවැත්වීම, පෙළපාලි යෑම මෙතෙක් තහනම් කළ හැකිව තිබුණේ අධිකරණයට පමණයි. නමුත් මේ පනතෙන් ඒ බලය ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිට පවරා තිබෙනවා. එය සහමුලින්ම පොලිස් රාජ්‍යයක් බවට පරිවර්තනය කිරීමේ භයානක තත්ත්වයක්. කිසියම් සංවිධානයක් පවත්වන රැස්වීම් හෝ වෙනත් කාර්යයක් ත්‍රස්තවාදී කටයුත්තක් සේ සලකා එය තහනම් කරන්න, එම තහනම දීර්ඝ කාලයක් තිස්සේ පවත්වාගෙන යන්නත්, දුරකථන සංවාදවලට හොරෙන් ඇහුම්කන්දීමට, ඒවා පටිගත කිරීමට පොලිසියට බලය පවරාගන්නත්, මේ පනත අනුව හැකියාව ලැබෙනවා.

ජාතික ආරක්ෂාව යනු සංකීර්ණ ක්‍රියාවලියක්. එක අතෙකින් ත්‍රස්තවාදය හා අන්තවාදය පරාජය කොට සියලු ජනතාවට නිදහස් හා ස්වාධීන ජීවිතයක් ලබාදිය යුතු යි. අනෙක් අතින් පාතාල ක්‍රියාකාරකම්, දේශපාලන බලපෑම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය තුරන් විය යුතු වෙනවා. තවත් අතෙකින් ජාත්‍යන්තර බලපෑම්වලින් රට නිදහස්කොට ජාතියේ ස්වෛරීත්වය හා නිවහල්භාවය තහවුරු කළ යුතු වෙනවා.

එහෙත් මේ සියල්ලට මුවා වෙමින් දේශපාලන න්‍යාය පත්‍ර සහ අරමුණු උදෙසා මානව නිදහස, පනතකින් කොටු කිරීම බිහිසුණු ඛේදවාචකයක්.

78 ව්‍යවස්ථාවට ප්‍රංශයේ හිටපු පාලක ඩිගෝල්ගේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ආදර්ශ ලබාගෙන ඇති බව ප්‍රකට කාරණයක්. ඩිගෝල් යුද සෙනෙවියකු වූ අතර ඔහුගේ විශ්වාසය වූයේ අසීමිත බලයක් නැතිව රටක් ඉදිරියට ගෙන යා නොහැකි බව. වර්තමාන පාලකයන් ද එය එලෙස කල්පනා කරනවා නම් එය වනාහී ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වන බරපතළ මරු පහරක්.

1934 හිට්ලර් තමුන්ගේ ප්‍රතිවාදීන් දඩයම් කිරීම සඳහා තමුන්ට ගැති නාසි කාරයෙකු වූ හර්මන් ගෝරින් යටතේ “ගෙස්ටපෝ” නමින් නව පොලිස් ඒකකයක් පිහිටුවූවා. මෙම ඒකකය නියෝග ගත්තේ හිට්ලර්ගෙන්. එවැනි පොලිසි ඒකකයක් හිට්ලර් පිහිටුවූ බව එවකට රටේ නීත්‍යනුකූල නායකයා වූ චාන්සලර් ෆ්‍රන්ස් වොන් පාපන් වත් දැන සිටියේ නැහැ.

නාසි වධ කඳවුරක අවසන් කාලය ගෙවු පූජකවරයෙකු වන මාර්ටින් නීමලර්ගේ සුප්‍රකට වදන් නැවත සිහිපත් වෙනවා.

“පළමුවෙන්ම ඔවුන් සමාජවාදීන් සොයා ආහ. මම කිසිත් නොකීවෙමි. මන්ද මම සමාජවාදියෙකු නොවූ බැවිනි.

ඉන්පසු ඔවුන් වෘත්තීය සමිති සාමාජිකයන් සොයා ආහ. මම කිසිත් නොකීවෙමි. මන්ද මම වෘත්තීය සමිති සාමාජිකයෙකු නොවූ බැවිනි.

ඉන්පසු ඔවුන් යුදෙව්වන් සොයා ආහ. මම කිසිත් නොකීවෙමි. මන්ද මම යුදෙව්වෙකු නොවූ බැවිනි.

අවසානයේ ඔවුන් මාව සොයා ආහ. ඒ වන විට මා ගැන කතා කරන්නට කිසිවෙකු ඉතිරිව සිටියෙ නැහැ”.

අපේ රට අද තල්ලු වෙමින් තිබෙන්නේ එවැනි අඳුරු කතාවක් වෙතට ද යන්න පිළිබඳව අවදියෙන් බැලිය යුතුව තිබෙනවා.

මේ නව පනත, ජාතික ආරක්ෂාව පිළිබඳව වූ සුවිශේෂී වචන කිහිපය පෙරට දමාගෙන ස්වකීය පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදය යටපත් කිරීම උදෙසා ගෙන එනු ලබන “විස තැවරූ අයිස්ක්‍රීම්” ද යන්න ගැන විමසිලිමත්ව සිතා බැලීමේ වගකීම සැමට තිබෙනවා.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment