විස සහිත සහල් ගැන  මේ වසරේ මෙතෙක් පරීක්‍ෂණයක් කර නෑ

108

මාධ්‍ය වාර්තාවලට පදනම් වන්නේ 2017 කළ පරීක්‍ෂණයක ප්‍රතිඵලයක්
 
 පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජනරාල්


 සහල්වල බැරලෝහ සාමාන්‍යයෙන් පවතින්නේ කුඩා ප්‍රමාණවලින් නිසා ඒවා මනින්නේ දශ ලක්ෂයට පංගුව බැගින් යැයි ද සීයට ගණන්වලින් බැරලෝහ මනින ක්‍රමයක් ලෝකෙ කොහේවත් හොයාගත නොහැකි අතර එය ප්‍රායෝගික නොවන බව ද වැඩබලන පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ජනරාල් ලසන්ත රත්නවීර මහතා පවසයි.

 විස සහිත සහල් ලංකාවට ගෙනා බවට ඉරිදා පුවත්පත් දෙකක පළකර තිබූ පුවත් සම්බන්ධව කරුණු පැහැදිලි කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය මගින් එවන ලද නිවේදනයේ මෙම කරුණු සඳහන් කර ඇත. එහි වැඩිදුරටත් මෙසේද දැක්වේ.

 විස සහිත සහල් සම්බන්ධව මේ වසරේ ජනවාරි සිට මේ දක්වා පළිබෝධනාශක රෙජිස්ටාර් කාර්යාලයෙන් පරීක්ෂණයක් සිදුකර නොමැත. සහල් සම්බන්ධව සිදු කළ බවට මාධ්‍ය මගින් පළ වන වාර්තාවලට පදනම් වී ඇත්තේ 2017 වසරේ දී කළ පරීක්ෂණයක ප්‍රතිඵලයක් බවත් එය නුවර ප්‍රදේශයේ සාම්පල් 68ක් සම්බන්ධයෙන් කළ පරීක්ෂණයක ප්‍රතිඵල බවත් ඒ මහතා පවසයි. එහෙත් එම පර්යේෂණ තොරතුරුද වැරදි ලෙස වාර්තා කර ඇතැයි රත්නවීර මහතා පෙන්වා දෙයි.

 වැරදි අදහස් ඉස්මතු වන ලෙස තොරතුරු සමාජගත කිරීම නිසා මහජන කැළඹීමක් දක්වා මෙය පරිවර්තනය විය හැකි බවද 2022 ජනවාරි සිට පරීක්ෂා කළ සහල්වලට මෙය අදාළ නොවන්නේ නම් මෙම වාර්තාවල කිසිදු පදනමක් නොමැති බවද ඔහු පවසයි.

 එබැවින් වැරදි මූලාශ්‍ර ලබාදෙමින් මහජනතාව නොමග යැවීමට කටයුතු කිරීම පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැමිණිල්ලක් ගොණු කිරීමට කටයුතු කරන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍යාංශයේ ලේකම් සිසිර කොඩිකාර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment