වීදුරුවකට අත කැපී  එක් දරු පියා මරුට

262

වීදුරුවට අත කැපී පුද්ගලයකු මියගිය පුවතක් පානදුර රෝහලින් වාර්තා විය. මෙසේ මියගොස් ඇත්තේ දිනෙෂ් කුමාර රොද්‍රිගූ නැමැති පානදුර අළුබෝමුල්ල, අරුක්ගොඩ, ලෙස්ලි මාවතේ පදිංචි 36 හැවිරිදි එක් දරු පියෙකි.

එම පුද්ගලයා ඉකුත් 18 වැනිදා සිය නිවස පිරිසිදු කර තීන්ත ආලේප කර එම නිවසේ ඇති අඩි 4 ක පමණ වීදුරුවක් එම නිවසේ පිටුපසට රැගෙන යන අවස්ථාවේදී එසේ රැගෙන යමින් තිබූ වීදුරුව බිඳී එම පුද්ගලයාගේ දකුණු අතටම පතිත වීම හේතුවෙන් එම පුද්ගලයාගේ දකුණු අතේ නහරවලට සිදු වූ කැපුම් තුවාල හේතුවෙන් දහවල් 11.00 ට පමණ පානදුර මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති අතර 19 අලුයම තුනට පමණ එම පුද්ගලයා මියගොස් ඇත.

එම සිද්ධිය සිදුවී විනාඩි විස්සකට පමණ පසු රෝහලට රෝගියා ඇතුළත් කර ඇති අතර රෝගියා රෝහලට රැගෙන එන විටත් දැඩිව රුධිරය වහනය වීම හේතුවෙන් මෙම මරණය සිදුවන්නට ඇති බව රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරන ලදී.

මෙම පුද්ගලයා මෙම නිවසේ පිරිසිදු කටයුතු සිදුකර ඇත්තේ එම පුද්ගලයාගේ බිරිඳ මේ වසරේ දෙසැම්බර් මස දෙවන දරු ප්‍රසූතිය සඳහා සූදානම්ව සිටින බැවිනි.

මියගිය පුද්ගලයා පානදුර ප්‍රදේශයේ රෙදිපිළි අලෙවිසලක විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු පුද්ගලයෙකි.

එස්. ඒ. ආර්. ප්‍රනාන්දු – මොරටුව


මියගිය දිනෙෂ් කුමාර සිය දරුවා  බිරිඳ සමග ගත් ඡායාරූපයක්

advertistmentadvertistment
advertistmentadvertistment