වීරවංශගෙන් අනතුරු ඇඟවීමක්!

1372

ඔක්තෝබර් 21 සහ 22 දා අතිශය වැදගත් කල්තැබීමේ විවාදයක් පාර්ලිමේන්තුවේදී පැවැත්වේ. එය, ඔක්තෝබර් 07 රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී (පක්ෂ නායක රැස්වීමේදී), සභානායක, අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ම මැදිහත් වී පාර්ලිමේන්තු කටයුතුවලට ඇතුළත් කර ඇත. එනම්, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති, පොදු ව්‍යාපාර කාරක සභා (කෝප්) වාර්තා පිළිබඳ කල්තැබීමේ විවාදයක් පැවැත්වීමය. සභානායකවරයා යෝජනා කළ පරිදි ආණ්ඩු පක්ෂය විසින් ම, විවාදය සඳහා මෙම සභාව කල්තැබීමේ යෝජනාව ඉදිරිපත් කරනු ඇත. ඒ අනුව 2021.03.10 හා 2021.04.06 දිනයන්හි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ කෝප් වාර්තා සම්බන්ධයෙන් 2021.10.22 මධ්‍යහ්න 12.00 සිට ප.ව. 5.30 දක්වා එම විවාදය පැවැත්වීමට නියමිතය. එදින දිවා ආහාරය සඳහා විවේකයක් පවා පාර්ලිමේන්තු කටයුතුවල වෙන්කර නොමැත. විවාදයක් පමණක් ප‍්‍රමාණවත් නැත. අවශ්‍ය හෙළිදරව් වී ඇති දූෂණ, වංචා සහ අක‍්‍රමිකතා සම්බන්ධයෙන් නීති මාර්ගයෙන් කටයුතු කිරීමයි.

සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ එම පක්ෂයේ නායකත්වයට මෑතකදී පාර්ලිමේන්තුවේදී කළ තර්ජනය සුළුපටු නොවේ. ඇයට සහ ඇයගේ සැමියා වන සේනක ද සිල්වාට අයත් පක්ෂය සමගි ජන බලවේගය ලෙස ලියාපදිංචි කලත් තමන්ට ඕනෑම අවස්ථාවක පක්ෂය නැවත ලබා ගත හැකි බව අවධාරණය කෙරිණි.

වයස අවුරුදු 18 සම්පූර්ණ වූ විගස තරුණ තරුණියන්ට ඡන්ද අයිතිය ලබා දීමට ජන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත මැතකදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අනුව අවුරුදු 18 සම්පූර්ණ වන අයගේ නම් ඇතුළත් පරිපූරක ඡන්ද හිමි ලැයිස්තු මාස හතරකට වරක් සකස් කිරීමට ඉඩ සැලසේ. සභානායක සහ අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යෝජිත සංශෝධන අනුව තරුණ පරම්පරාවට තම ඡන්දය ඉක්මනින් ලියාපදිංචි කර ගැනීමේ අවස්ථාව උදාවන බව මහජන එක්සත් පෙරමුණේ නායක ගුණවර්ධන ඔක්තෝබර් 7 දින පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ කළේය. පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ ප‍්‍රියන්ත ප‍්‍රදීප් රණසිංහ (මාධ්‍ය ලේකම්) එදිනම නිකුත් කළ ප‍්‍රවෘත්ති නිවේදනයක ‘වයස අවුරුදු 18 සම්පූර්ණ වූ සැණින් තරුණයින්ට ඡන්ද අයිතිය’ යන ආකර්ෂණීය ශීර්ෂය යොදා තිබිණි.

තරුණ ප‍්‍රජාවට තම ඡන්දය ඉක්මණින් ලියාපදිංචි කර ගැනීමට අවස්ථාව පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ ක‍්‍රියා කිරීම අගය කළ යුතුය. ඡන්දය පාවිච්චි කිරීමට ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම සේම වයස අවුරුදු 18 වන සියලූ දෙනාට ඡන්ද අයිතිය ලබාදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමකි. නමුත් තරුණ ප‍්‍රජාවට ඡන්ද අයිතිය පමණක් ලබාදීම පමණක් කිසිසේත්ම ප‍්‍රමාණවත් නැත. තරුණ පරපුර සමස්ත මැතිවරණ ක‍්‍රියාවලියට ආකර්ෂණය කර ගත යුතුය. මැතිවරණ ක‍්‍රමය පිළිබඳව ඔවුන්ගේ විශ්වාසය තහවුරු කළ යුතුය. වර්තමාන දේශපාලන ක‍්‍රියාකාරිත්වය සමස්ත තරුණ ප‍්‍රජාව බරපතළ අර්බුදයකට ලක් කර ඇත. විශ්වාසය දරුණු ලෙස පළුදු වී ඇත. තම නිවසේදීම ඡන්දය පාවිච්චි කිරීමේ අවස්ථාව ලැබුණත් තම අයිතිය ප‍්‍රතික්ෂේප කර දමන තරමට තරුණ ප‍්‍රජාව ආවේගශීලී වනු ඇත.

සමස්ත දේශපාලන නායකත්වය නැතහොත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලූම පක්ෂ ජනතා අවශ්‍යතාවයන්ට සංවේදී නොවන බව අවධාරණය කළ යුතුය. එසේනම් විය යුත්තේ කුමක්ද? ඡන්ද දායකයන්ගේ විශ්වාසය දිනා ගැනීමේ වැඩපිළිවෙළකට සියලූම පක්ෂ අවතීර්ණ විය යුතුය. සමාජ මාධ්‍ය ජාලා ක‍්‍රියාකාරිත්වය තුළ ශ‍්‍රී ලංකාවේ තරු පහේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය අසූචි වළක් බවට තරුණ ප‍්‍රජාව හඳුනාගැනීම පුදුමයට කාරණයක් නොවේ. තරුණ ප‍්‍රජාව ඡන්දපළට ගෙන ඒමේ උත්සාහය අතරේ වැඩිහිටි ඡන්ද දායකයින්ට ද පක්ෂ දේශපාලන එපා වී ඇත. ජනතා විශ්වාසය දියාරු වී ඇත.

සියලූම පක්ෂ ජනතා අප‍්‍රසාදයට හේතු සාධක විමසා බැලිය යුතුය. තරුණ ප‍්‍රජාවට මැතිවරණ ක‍්‍රමය සම්බන්ධයෙන් විශ්වාසයක් නොමැති වීම මෙන්ම ජනාධිපතිවරණ සහ මහා මැතිවරණ කීපයකට සහභාගිවූ ඡන්දදායකයින්ට පක්ෂ දේශපාලන අප‍්‍රිය වීම අවාසනාවන්ත තත්ත්වයකි? නීතිඥ නිමල් පුංචිහේවා නායකත්වය දරන මැතිවරණ කොමිසම යම්කිසි මැදිහත්වීමක් කළ යුතුය.

වසර 16 ක් ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය පාර්ලිමේන්තුවේ නියෝජනය කළ නිරූපමා රාජපක්ෂට සහ ඇයගේ සැමියා වන තිරුකුමාර් නඬේසන් සම්බන්ධයෙන් ‘පැන්ඩෝරා පේපර්ස්‘ කළ අනාවරණය පක්ෂ දේශපාලන ක‍්‍රමයේ පිරිහීම අවධාරණය කරන සාධකයකි. එම කිසිදු හෙළිදරව්වක් දේශීය හෝ විදේශීය අධිකරණ පද්ධතියකදී සනාථ වී නැත. නමුත් ඒ හා සම්බන්ධව පාර්ලිමේන්තුවේදී ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ‘ගිං නිල්වලා’ ව්‍යාපෘතිය පිළිබඳව පසුගියදා කළ අදහස් දැක්වීම ආන්දෝලනාත්මකය. පාර්ලිමේන්තුව වගකිව යුතු වගවිය යුතු රාජ්‍ය මූල්‍ය ප‍්‍රතිපාදන බරපතළ ලෙස අපයෝජනය කිරීමකි. ජවිපෙ නායකයාගේ අදහස් දැක්වීම සහ එවකට ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන ‘ගිං නිල්වලා ’ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2015 දී කළ චෝදනා අපූරුවට ගැලපේ. ක‍්‍රියාත්මක නොකළ එම ව්‍යාපෘතියට රුපියල් බිලියන හතරක් 2012 දෙසැම්බර් සහ 2015 ජනවාරි මස 7 දින චීන සමාගමකට මුදල් අමාත්‍යංශය ගෙව්වේ කෙලෙසද? ජවිපෙ නායකයා අවධාරණය කළේ ‘පැන්ඩෝරා පේපර්ස්’ හෙළිදරව්ව අනුව එම ආයතනය නඬේසන් හොංකොං හි පවත්වාගෙන යන ගිණුමකට මුදල් බැරකර ඇති බවයි. මාධ්‍ය සහ සමාජ ජාලා ‘පැන්ඩෝරා පේපර්ස්’ වාර්තාකරණය ශ‍්‍රී ලංකාවේ දේශපාලනයට කෙලෙස බලපාවිද?

ප‍්‍රශ්නය ‘පැන්ඩෝරා පේපර්ස්’ හෙළිදරව්ව පමණක් නොවේ. සමස්ත පාර්ලිමේන්තු ක‍්‍රියාවලියයි. එලෙසෙම පක්ෂ දේශපාලන ක‍්‍රියාවලියයි. එදා ශ‍්‍රීලනිප නායක මෛත‍්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස ගිං නිල්වලා ව්‍යාපෘතිය සම්බන්ධයෙන් කළ චෝදනාව විමසා බැලිය යුත්තේ වර්තමාන පාර්ලිමේන්තුවේදී ඔහු ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයකු බව ද අවධානයට ලක් කිරීමෙනි. තමන් ජනාධිපති ලෙස කටයුතු කළ කාලයේදී ක‍්‍රියාත්මක නොකළ ගිං නිල්වලා ව්‍යාපෘතියට චීන සමාගමකට කළ රුපියල් බිලියන හතරකට අධික ගෙවීම් සම්බන්ධයෙන් විමර්ශනයක් නොකිරීමද ප‍්‍රශ්න සහගතය. යහපාලන දේශපාලන ව්‍යාපෘතියට නායකත්වය දුන් එජාපයද මෙම තත්ත්වයට වගකිව යුතුය.

සියලූම අත්‍යවශ්‍ය භාණ්ඩ සහ සේවා මිල වැඩිවී ඇත. මිල පාලනය ආණ්ඩුවෙන් ගිලිහී ඇත. සහල් තොග සහ සිල්ලර මිල නියම කිරීම ව්‍යාපාරිකයන් අතට ගැනීම, ගෑස් සහ කිරිපිටි මිලද පාලනයෙන් ගිලිහී යෑම අවධාරණය කරන්නේ ජනතාවට පිහිටක් නැති බවයි. ලෝක වෙළඳ පොළේ මිල නියම වන භාණ්ඩ සඳහා දේශීයව මිල පාලනයක් කිරීම අපහසුය. එම තත්ත්වය ජනතාව වටහාගෙන ඇත. නමුත් දිනපතා හෙළිදරව් වන දූෂණ, වංචා, අක‍්‍රමිකතා සහ සිතා මතා කරනු ලබන අතපසු කිරීම් හේතුවෙන් රටේ මූල්‍ය තත්ත්වය වැනසීම සලකා බැලිය යුතු වන්නේ ජනතාව කබලෙන් ලිපට වැටී ඇති බවද පසක් කර ගැනීමෙනි.

අති බහුතර ජනතාවක් නිසියාකාරව ආහාර වේලක් ගැනීමට නොහැකිව සිටින අවස්ථාවක තරුණ ප‍්‍රජාව මැතිවරණ ක‍්‍රියාවලියට සම්බන්ධ නොවනු ඇත. කිසිදු පක්ෂයකට ඡන්දය දීමෙන් පලක් නැති බවට ඡන්ද දායකයන්ට ඒත්තු ගොස් ඇතිද? පක්ෂ දේශපාලන ක‍්‍රියාවලිය තුළ ශ‍්‍රී ලංකාවට සෙතක් නැති බව නම් පැහැදිලිය. පාර්ලිමේන්තු ක‍්‍රමය බරපතළ අභියෝගයකට මුහුණ දී සිටී. දූෂණය, වංචාව සහ අක‍්‍රමිකතා ඔඩු දුවමින් සිටින්නේ පාර්ලිමේන්තුවේ අධීක්ෂණය යටතේය. මහාචාර්ය චරිත හේරත්, මහාචාර්ය තිස්ස විතාරණ සහ අනුර ප‍්‍රියදර්ශන යාපා මහත්වරුන්ගේ නායකත්වය යටතේ ක‍්‍රියාත්මක කාරක සභා නිසි ක‍්‍රමවේදයක් තුළ වාර්තා කර ඇති අදහාගත නොහැකි දූෂණය (ආර්ථිකයට කර ඇති මහත් විනාශය) හද කකියවයි. රටේ ආර්ථිකය ආරක්ෂා කිරීමට වගකිව යුතු, වගවිය යුතු පාර්ලිමේන්තුවේ බලය හිමි පක්ෂය තට්ටු මාරු ක‍්‍රමය තුළ කර ඇති, කරමින් පවතින හානිය සුළුපටු නොවේ.

ඇත්ත වශයෙන්ම දූෂණය දෙපාර්ශවයම තම ඡන්ද ගොඩ වැඩිකර ගැනීමට මාතෘකාවක් කරගෙන ඇත. ඊට එහා යමක් එහි නැත. දූෂණය නැති කිරීමට බලය ඉල්ලන, පාර්ලිමේන්තුව අත්පත් කරගත් පක්ෂය ඊට පෙර නොවූ ආකාරයේ දූෂිත ක‍්‍රියාවල යෙදෙති. කිසිදු හිරිකිතයක් නැතිව ආර්ථිකය වනසති. එවැනි තත්ත්වයක් තුළ තරුණ ප‍්‍රජාව ඡන්ද අයිතිය ඉවත දැමීම සම්බන්ධයෙන් කිසිවෙකු පුදුම විය යුතු නැත. ජනතා පරමාධිපත්‍ය කෙළෙසා ඇත. සමස්ත දේශපාලන ක‍්‍රමය දූෂිතයින් ආරක්ෂා කර ගැනීමටම ද යැයි ජනතාවට දැනී ඇත. තරුණ ජනතාව ඡන්ද අයිතිය ලබා ගැනීමට, ඡන්දය දැමීමට තිබෙන උනන්දුව කෙසේ වෙතත් විදේශගත වීමට වෙර දරන බව පැහැදිලිය. පාර්ලිමේන්තුව සමස්ත ජනතා අපේක්ෂා මෙන්ම තරුණ පරපුරේ අවශ්‍යතා ද වටහ ගත යුතුය. විකාර මාධ්‍ය, සමාජ ජාලා මෙහෙයුම් අවශ්‍ය නැත. මැති ඇමැතිවරු භූමියේ තත්ත්වය තේරුම් ගතහොත් සෑහේ.

ජනතාවට දේශපාලනය අරහන්වී ඇත. තිත්ත වී ඇත කිවුවොත් වරදක් නැත. ජනාධිපතිවරණය පරාජය වීමෙන් පසුව යහපාලන ‘වෙනස සැපද’ කියා ඇසූ ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකකට ආසන්න බලයක් හිමිකරගෙන සිටී. පාලනයකින් තොරව සියලූ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බඩු භාණ්ඩ සහ සේවා ඉහළ ගොස් ඇත. විපක්ෂය පසුගියදා කිරිබත් ජනතාවට බෙදාදුන්නේ නැවතත් වෙනස සැපද අවධාරණය කිරීමටයි. එදා ඒකාබද්ධ විපක්ෂය ලැබූ කාලකන්නි සතුටක් අද ප‍්‍රධාන විපක්ෂය ලබයි. දෙපාර්ශවයම ජනතාව කට ගැස්මකට ගෙන ඇත. පාර්ලිමේන්තුව නියෝජනය කරන සෑම දේශපාලන පක්ෂයක්ම සැබෑ නියෝජිත ප‍්‍රජාත‍්‍රන්තවාදය මත ජනතා විශ්වාසය නැවත ගොඩනගා ගැනීමට කටයුතු කිරීමට කාලය පැමිණ ඇත.

මෙම තත්ත්වය මැතිවරණ ක‍්‍රමය විසින්ම නිර්මාණය කර ඇති ඉතාමත් අවලස්සන චිත‍්‍රයක් නොවේද? කිසිදා පළාත් පාලන ආයතනයක්, පළාත් සභාවක් හෝ පාර්ලිමේන්තුව නියෝජනය කර නොමැති එම පක්ෂය තුන්වරක් ප‍්‍රධාන ජනාධිපති අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවස්ථාව උදා කර ගන්නේ කෙලෙසද? ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා නායකත්වය දෙන නව ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ යෙදී සිටින නම දෙනෙකුගෙන් යුත් කණ්ඩායම මෙම සියලූ කරුණු සම්බන්ධව අවධානය යොමු කළ යුතුය. කවදත් රටට හිතැති ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා එම කණ්ඩායම නියෝජනය කිරීම සම්බන්ධයෙන් මෙම ලියුම්කරු අවංකව සතුටු වේ.

එජාපයේ නායකත්වයෙන් නව ප‍්‍රජාත‍්‍රන්තවාදී පෙරමුණ පෙරට දමාගෙන කළ මැතිවරණ කෙළිය අවසන් වූයේ දශක 7කට වඩා දිගු ඉතිහාසයක් හිමි එජාපය එක ජාතික ලැයිස්තු ධුරයකට 2020 අගෝස්තු මැතිවරණයේදී සීමා වීමෙනි. ආන්දෝලනාත්මක ජාතික ලැයිස්තු (14 වැනි සංශෝධනයේ 99 ඒ ) පත් වීමක් ලෙස එජාප නායක රනිල් වික‍්‍රමසිංහ නැවතත් පාර්ලිමේන්තුවට ඇතුළු වන්නේ පක්ෂයේ ජාතික ලැයිස්තුවේ 29 දෙනාවම පසෙකට දමමිනි.

ශ‍්‍රී ලංකාවේ නීති පද්ධතිය අපූරුය. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ මන්ත‍්‍රයක් මෙන් ජප කරන ‘එක රටක් එක නීතියක්’ ප‍්‍රකාශය විහිළුවක් බවට පත් කරයි. වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවලට, පිළිවෙලින් සැප්තැම්බර් 6 සහ 12, බීමතින් ඇතුළුවූ බවට චෝදනාවට ලක්වූ, අනුරාධපුරයේදී හිටපු එල් ටී ටී ඊ සැකකරුවන්ට තර්ජනය කළ එවකට බන්ධනාගාර ඇමැති ලොහාන් රත්වත්තේගෙන් කට උත්තරයක් පවා ගැනීමට පොලිසියට වුවමනාවක් නැත.

බන්ධනාගාර සිද්ධිය එක අවුලක් පමණි. පාර්ලිමේන්තුව තුළ සහ පිටත සියල්ල අවුල්ය. සමගි ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත‍්‍රී ඩයනා ගමගේ එම පක්ෂයේ නායකත්වයට මෑතකදී පාර්ලිමේන්තුවේදී කළ තර්ජනය සුළුපටු නොවේ. ඇයට සහ ඇයගේ සැමියා වන සේනක ද සිල්වාට අයත් පක්ෂය සමගි ජන බලවේගය ලෙස ලියාපදිංචි කලත් තමන්ට ඕනෑම අවස්ථාවක පක්ෂය නැවත ලබා ගත හැකි බව අවධාරණය කෙරිණි. මේ ආකාරයට පක්ෂ ලියාපදිංචි කරන මැතිවරණ කොමිසමක් වෙන රටක තිබේද ? මෑතකදී ජාතික නිදහස් පෙරමුණ නායක කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ ආණ්ඩු පක්ෂය මුහුණ දෙන ව්‍යාකුල තත්ත්වය ඉතාමත් සංයමයෙන් ඉදිරිපත් කළේය. ඇමැතිවරයා අවධාරණය කළේ රජය වර්තමානයේදී ජනතාවගේ විශ්වාසය පළුදු කර තිබෙන බව නොවේද? ඉදිරි වසර තුන තුළ ජනතාවගේ විශ්වාසය වඩා බලවත්ව දිනා ගැනීම ආණ්ඩුවට ඉටුකර ගත නොහැකි දෙයක් නොවෙයි. කතාව පැහැදිලිය. රජයට ප‍්‍රබල අභියෝගයක් ඇත. අමාත්‍යවරයා පවසනා පරිදි ජනාධිපතිතුමන් නායකත්වය දෙන රජය පසුගිය දෙවසරක ගමන පිළිබඳව ගැඹුරු ස්වයං විවේචනාත්මක හැරී බැලීමක් කරන බව ප‍්‍රකාශ කිරීම නැවතත් අවධාරණය කරන්නේ රජය මුහුණ දෙන අභියෝගයයි. වීරවංශ අමාත්‍යවරයාගේ පහත සඳහන් ප‍්‍රකාශය සමගින් මෙම ලිපිය අවසන් කිරීම කාලෝචිතය. උපුටාගැනීම: ‘‘ජනාධිපතිවරයා සක‍්‍රියව දේශපාලනයට මැදිහත් වීම ද ඉතා ඉක්මනින් සිදුකළ යුතුව ඇත. සාමුහිකව තීන්දු තීරණ ගැනීම වෙනුවෙන් පක්ෂ නායක රැස්වීම් වැනි රැස්වීම් සඳහා ද ජනාධිපතිවරයා සහභාගී වීම අතිශය වැදගත්ය. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා සක‍්‍රිය දේශපාලන මැදිහත්වීම් තුළින් බොහෝ ගැටලූවලට විසදුම් ලැබෙනු ඇත.”

පසුගිය පෙබරවාරියේදීද වීරවංශ අමාත්‍යවරයා පැවසුවේ මෙයමය. එම ප‍්‍රකාශය මහත් කලබගෑනියක් ඇති කළේය. අමාත්‍යවරයා ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් සමාව ගත යුතු බව ප‍්‍රකාශ විය. වීරවංශ අමාත්‍යවරයා තවත් බෝම්බයක් ඇත හැරියේය. රටට වැදගත් තීන්දු තීරණ ගනු ලබන කැබිනට් මණ්ඩලයේ වර්තමාන ක‍්‍රියාකලාපය යහපත් නොවන බවයි. නැතහොත් අර්බුදකාරී බවයි. රජය නිවැරදි මාවතකට ගැනීම කැබිනට් මණ්ඩලයෙන් ආරම්භ කළ හැක. එය බලයේ සිටින කණ්ඩායමේ ප‍්‍රධානතම වගකීමක් විය යුතුය.

ශමින්ද්‍ර ෆර්ඩිනැන්ඩෝ

advertistmentadvertistment
advertistmentadvertistment