වී මිටියක මිල රුපියල් දස දහසක් – අනුරාධපුර මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝ කියති

293

ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට මෙරට විවෘත වෙළෙඳපොළේ වී මිටියක මිල රුපියල් දස දහස ඉක්මවා ඇති බව අනුරාධපුර දිස්ත්‍රික් සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යූ. කේ. සේමසිංහ මහතා පවසයි.

අනුරාධපුර තඹුත්තේගමදී පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සේමසිංහ මහතා මෙසේද කීය.

පවතින තත්ත්වය හමුවේ වී කිලෝවක මිල රුපියල් එකසිය පනහක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මේ තත්ත්වය යටතේ සුළු හා මධ්‍යම පරිමාණ සහල් මෝල් හිමියන් වන අපට සහල් කිලෝවක් නිෂ්පාදනය කොට වෙළෙඳ පොළට පත් කිරීමට හැකි වන්නේ රුපියල් දෙසීය හැටක මිලකට.

මේ අනුව පාරිභෝගිකයන්ට විවෘත වෙළෙඳපොළෙන් සහල් කිලෝවක් රුපියල් දෙසිය අසූවත් තුන්සියයත් අතර මිලකට මිලදී ගැනීමට සිදුවී තිබෙනව. ආණ්ඩුව තවදුරටත් මේ අර්බුදය නොසලකා හරිමින් කිසිදු තැකීමක් නොකර සිටින තත්ත්වයක් තුළ අර්බුදයේ තීව්‍රතාව වැඩිවෙමින් තිබෙනවා.

අපේ රට තුළ මාස කීපයකට වී තොග යම් සංචිත ප්‍රමාණයක් තිබෙනව. එම නිසා රටේ ජනතාව බඩගින්නේ සිටින වෙලාවක අපි රටේ සඟවා තිබෙන වී තොග විවෘත වෙළෙඳපොළට එන ක්‍රමවේදයක් සකස් කරන ලෙසට අපි ආණ්ඩුවට යෝජනා කරනවා. වී තොග වෙළෙඳපොළට නොදා සඟවා තැබීම සැඟවීමක් නොවෙයිද.

අනුරාධපුර විශේෂ – පර්සි කුරුනේරු

advertistmentadvertistment
advertistmentadvertistment