වී වේලීමෙන් මරු කැඳවීම

639

13 වන සංශෝධනය ගෙන ඒම යහපත් නමුත් එයින් තමන්ගේ ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් නොලැබෙන නිසා ෆෙඩරල් ක්‍රමය අරගෙන මිස පස්ස නොබලන බව දෙමළ ජාතික සංවිධානයේ මන්ත්‍රී හිටපු විනිසුරු සී. වී. විග්නේෂ්වරන් කියා තිබේ. පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයට පැමිණ ආපසු යමින් සිටියදී විග්නේෂ්වරන් මේ ප්‍රකාශය කර ඇත. මේ රටේ ආණ්ඩු එදා සිටම පොරොන්දු දෙන බවත් විපක්‍ෂය විරුද්ධ වන බවත් අවසානයේ කිසිවක් සිදුනොවන බවත් ඔහු තවදුරටත් කියා තිබේ. විග්නේෂ්වරන්ගේ කතාවේ ඒ කොටස පමණක් ඇත්තය. විවිධ ආණ්ඩු පොරොන්දු දේශපාලනය තුළ සෑම කල්හිම පොරොන්දු දෙන අතරම එම පොරොන්දු කඩකිරීම සඳහා විපක්‍ෂයේ උදව්ව ඕනෑවටත් වඩා ලබාගනී. ධනවාදී දේශපාලන මුහුණුවර වන ප්‍රජාතන්ත්‍රවාදය ඉතා හොඳ නමුත් ඒ තුළ තිබෙන පතෝල ස්වභාවය නිසා කිසි වැඩක් ඉදිරියට ගෙනයෑමට නොහැක. මේ ක්‍රමය තුළදී ආණ්ඩුව වැඩ කිරීමට හදන අතර විපක්‍ෂය ප්‍රතිපත්තියක් වශයෙන් එයට විරුද්ධ වේ. විපක්‍ෂය හිතන්නේ ස්වකීය දේශපාලන කාර්යභාරය ‘විරෝධය’ යන වචනයට පමණක් සීමා වන බවය. හැබැයි මේ කලබැගෑනිය අස්සේ තමන් ෆෙඩරල් අරගෙන මිස පස්ස නොබලන බව විග්නේෂ්වරන් කීම දේශපාලන තර්ජනයකි. ප්‍රභාකරන් මේ තර්ජනය ත්‍රස්තවාදී ස්වභාවයකින් කළේය.

එල්.ටී.ටී.ඊ. සංවිධානය කොළඹට බෝම්බ දැමීමෙන් පසු ඊළම අරගෙන මිස පස්ස නොබලමැයි ප්‍රභාකරන් කී බව කොටි ගුවන්විදුලිය මගින් ප්‍රචාරය විය. අද ප්‍රභාකරනුත් නැත කොටි සංවිධානයත් නැත. කොටින් ඉන්නවා නම් ඒ යාල සහ විල්පත්තුවේත් දෙහිවල සතුන් වත්තේත් පමණි. මීට අමතරව කඳුකර කොටි නමැති තවත් වර්ගයක් උඩහ පළාත්වල වනන්තරේ සිටිති. ගැමියන්ට අයත් වසු පැටවුන් මරාගෙන කෑම, කුකුළන් සොරාගෙන ගොස් අනුභව කිරීම යනාදිය මේ සතුන්ගේ ප්‍රධාන කටයුත්ත වී තිබේ. සාමාන්‍යයෙන් වන සතුන් රස්සාවල් කරන්නේ නැත. ඔවුන්ගේ අපේක්‍ෂාව වන්නේ ඒ මොහොතේදී ගොදුරක් සොයාගෙන අනුභව කිරීම පමණි. වන සත්තු දේශපාලනය නොකරති. ඔවුන් කලා කටයුතු සිදුකරන්නේ ද නැත. මේ නිසා බොහෝවිට උන් දේශපාලනය කරන මිනිසුන්ට වඩා හොඳය. විග්නේෂ්වරන්ගේ කාරණයට අමතරව අපේ පුවත්පතේ තවත් තැනක පළවී තිබෙන පුවතක් කෙරෙහි අපි අවධානය යොමු කරමු. කිලිනොච්චිය – පරන්තන් පුනරීන් මාර්ගයේ මේ දිනවල ගොවීහු වී වේලති. මේ වී මතින් ගමන් කළ යතුරුපැදිකරුවකු යතුරුපැදිය ලිස්සා මළේය. අපි මේ ගැන කතා කරමු.

මේ රටේ ජනයාට තමන් අවට ජීවත් වන සෙසු ජීවීන් සහ තමන් වටා ඇති පරිසරය ගැන අවබෝධයක් ඇතත් හැඟීමක් නැත. වී වේලීම සඳහා තාර පාර ඉතා සුදුසු තැනකි. මෙයට අවුරුදු 70 කට පමණ පෙර වී වේලන ලද්දේ මහපාරේ නොව මාගල් නමැති යෝධ පැදුරු විශේෂයක් ගෙවතුවල එලා ඒ මත වී ඇතිරීමෙනි. අද වනවිට මාගල් සංකල්පය ක්‍රමයෙන් අතුරුදන් වෙමින් පවත්නා අතර වී වේලීම සඳහා මහපාර තෝරා ගැනීමට ගොවීහු පුරුදුව සිටිති. මෙය වැඩි වශයෙන් සිදුවන්නේ උතුරු නැගෙනහිර පළාත්වලය. මේ පළාත්වල තිබෙන පාරවල් පළලින් වැඩි අතර කාපට් කර කිලෝමීටර් සිය ගණන් දිගට නිම කර ඇත. මේ සෑම පාරකම ලේන් දෙකක් ඇත. එක ලේන් එකක් වමට යන වාහනවලටත්, අනෙක් ලේන් එක දකුණට යන වාහනවලටත් වෙන් කර තිබේ. වී වේලන ගොවියා එම කාරණයේදී ඉහත කී ලේන් දෙකෙන් එකක් සම්පූර්ණයෙන්ම ආක්‍රමණය කර ඒ මත වී අතුරයි. උතුරු නැගෙනහිර පළාත්වල සංචාරය කරන කෙනකුට ඇතැම් විට කිලෝමීටර් 10 – 15 දිගට පාරේ එක ලේන් එකක් වැසෙන පරිදි වී අතුරා වේලමින් සිටිනවා දැකගත හැකිය. ගොවීන් විසින් සම්පූර්ණයෙන්ම එක ලේන් එකක් ආක්‍රමණය කළ විට මහපාරේ වාහන යෑමට හෝ ඒමට ඉඩක් නැත. තනි ලේන් එකක තදබද වී වාහන ගමන් කරන්නට ගියවිට විවිධ අනතුරු සිදුවෙයි.

ගොවියා මහපාරේ වී වේලීම වරදක් නොවේ. එහෙත් මහපාර ඉදිකර ඇත්තේ වී වේලීමට නොව ගමනා ගමන කටයුතු සඳහාය. ඒත් ගොවියා සිතන්නේ ගමනා ගමන කටයුතු දෙවැනි තැනට එන බවත් මාර්ග සංවර්ධන අධිකාරිය වී වේලීම සඳහා විශාල මාගල් පැදුරු හැටියට පරිහරණය කරනු පිණිස පාරවල් හදා ඇති බවත්ය. මේ වී මතින් යන යතුරුපැදි නිතර ලිස්සා ගොස් පෙරළේ. ඉකුත්දා සිදුවූ යතුරුපැදි අනතුරින් මියගිය තැනැත්තාගේ වයස අවුරුදු 36කි. ඔහුට දරු දෙදෙනෙක් ද සිටිති. මෙතැන් සිට මේ පවුල පියා හෙවත් ගෘහමූලිකයා නැති පවුලක් බවට පත්වන්නේය. මෙතැන් පටන් මේ පවුලට ආහාර පානාදිය සපයන්නේත්, දූ දරුවන් පාසල් යැවීම සඳහා මිල මුදල් උපයන්නේත් කවුද? මේ මරණය සම්බන්ධයෙන් වගකිව යුතු ප්‍රමුඛ පාර්ශ්වය වන්නේ අනතුර සිදුවීමට බලපෑ වී තිබුණු තැනට සම්බන්ධ ගොවියාය. ඔහුගෙන් කිසියම් වන්දියක් අයකරගෙන මෙකී අනාථ පවුලට ගෙවීමේ වගකීමක් ආණ්ඩුවට තිබේ. ඒත් එය කොතරම් දුරට කළ හැකිදැයි අපි නොදනිමු. යම් හෙයකින් කැකිල්ලේ රජතුමා සිටියේ නම් අදාළ ස්ථානයේ වී වේලූ ගොවියාට අමතරව පාර හැදීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට ද එල්ලුම්ගස් යෑමට ඉඩ තිබේ.

මේ රටේ ජනයා නිතරම සිටින්නේ ශිෂ්ටාචාරයට බොහෝ ඈතිනි. ඔවුන් පොදු දේපළ පරිහරණය කරන්නේ හරකුන් අනුන්ගේ වගා බිම් කොල්ලකන ලෙසටය. කොළඹ පේවුමන්ට් එකකට ගියොත් ගමන් කිරීමට ඉඩක් නැත. ඒ සියල්ලම වෙළෙඳුන් විසින් අල්ලාගෙන ගනු ලැබ තිබෙන අතර පාරේ යන එකාට ගමන් කිරීමට සිදුව ඇත්තේ පේවුමන්ට් එකේ නොව පාර මැදින්ය. හැම තැනකම මේ ප්‍රශ්නය තිබේ. ඇතැම් ජනයා මහපාරට ගොඩනැඟිලි ද්‍රව්‍ය බාගෙන පාර අයිනේ කඩ හදති. එවිට වාහන යෑමට හෝ මිනිසුන්ට ගමන් කිරීමට මහ පාරේ ඉඩක් නැත. පොදු දේපළ පාවිච්චි කිරීමේදී කොටලුවන් ලෙස හැසිරෙන ජනයා අත්අඩංගුවට ගෙන දැඩිව කටයුතු කිරීම ආණ්ඩුව කළ යුතුය. මේ රටේ මිනිසුන් හදන්නට නම් කෙවිටක් අවශ්‍යමය. මෙය සමාජ විරෝධී කීමක් වීමට ඉඩ තිබේ. ඒත් ඇත්ත කතාව එය ය.

advertistmentadvertistment
advertistmentadvertistment