වෘකයා ගේ මේසයට ගොස් ආපසු පැමිණි ගැහැණිය

341

2012 වර්ෂයේ නත්තල් උදාවෙන් දින දෙකකට පසුව දෙසැම්බර් මාසයේ 27 වන දින ජර්මනියේ බර්ලින් නගරයේ නිවසක පැවැත්වූ උපන් දින සාදයකි. ඒ මාගට් වොල්ක් නම් කාන්තාවකගේ 95 වන උපන් දිනය සැමරීම පිණිසය. මේ උපන්දින උත්සවයේ විශේෂත්වය කුමක්ද? මේ මාගට් නම් කාන්තාව දශක ගණනාවක් මුළුල්ලේ රැකගෙන සිටි රහසක් ඇගේ 95 වන උපන් දිනයේදී හෙළිදරව් කිරීමය. බර්ලිනයේ ප්‍රකාශයට පත්වන Berliner Zeitung නම් පුවත්පතේ වාර්තාකරුවෙකු හමුවේ හෙළි කළ මේ රහසේ විශේෂය වූයේ එය ඇයට පමණක් විශේෂ වන එකක් නොව ලෝකයා හමුවේද වැදගත් ප්‍රවෘත්තියක් වූ නිසාය. කුමක්ද මේ විශේෂ ප්‍රවෘත්තිය? ෆැසිස්ට්වාදී ජර්මන් ආඥාදායක ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආහාර පරීක්ෂිකාවන් 15 දෙනාගෙන් දැනට ජීවතුන් අතර සිටින එකම තැනැත්තිය ඇය බවය. මෙය තවත් විශේෂ වන්නේ මෙහිදී කියැවෙන ආහාර පරීක්ෂාවන් යනු විද්‍යාත්මක ක්‍රමවේදයන් අනුව සිදුවන පරීක්ෂාවක් නොවන අතර හිට්ලර්ට වස දී ඝාතනය කෙරෙන කුමන්ත්‍රණයක් ක්‍රියාත්මක වෙතැයි වූ සැකය නිසා ඔහු සඳහා පිළියෙල වන ආහාර ඔහු පරිභෝජනය කිරීමට පෙර අනුභව කර ඒවාට වස දමා නැතැයි තහවුරු කිරීම මාගට් ඇතුළු තරුණියන් 15 දෙනෙකුට සිදුවීමයි. මේ අපූරු හා බියකරු සත්‍ය කතාව නොහොත් ඇගේ ජීවිතයේ නරකම අවුරුදු කිහිපය ලොවට හෙළි කිරීම පිණිස දශක ගණනාවක නිහැඬියාව බිඳීමට සිය 95 වන උපන් දිනයේදී ඇය තීරණය කළාය.

මාගට් වෝක් උපත ලැබුවේ 1917 දී ජර්මනියේ බර්ලින් නුවර විල්මස්ඩොෆ් ප්‍රදේශයේදීය. දෙවන ලෝක සංග්‍රාමය ඇරඹෙන්නට පෙර ඒ සඳහා සංවිධානය වෙමින් සිටි හිට්ලර් ප්‍රමුඛ නාසි පක්ෂයේ තරුණ සංවිධානයේ ස්ත්‍රී පෙරමුණ වූ ජර්මානු කාන්තා ලීගය නම් සංවිධානයට බැඳීම තරුණ මාගට් ප්‍රතික්ෂේප කළාය. එසේම ඇගේ පියා ද නාසි පක්ෂයට බැඳීම පිළිකෙව් කොට තිබිණි. මේ හේතුවෙන් ඔවුන් නාසි නිලධාරීන්ගේ හෙළා දැකීමට ලක්ව තිබුණි. යුද්ධය ආරම්භ වනවිට ඇය විවාහව පුද්ගලික ආයතනයක ලේකම්වරියක ලෙස සේවය කරමින් සිටියාය. නමුත් ඇය දෙමාපියන් හා විසූ මහල් නිවාසයට බෝම්බ පතිත වීම නිසා 1941 ශීත ඍතුවේදී ඇයට සිය සැමියාගේ මව විසූ නැගෙනහිර පෲසේන් ගම්මානයට සංක්‍රමණය වීමට සිදුවිය. ඒ වනවිට මාගට්ගේ සැමියා වූ කාල්, ජර්මන් හමුදාවට බැඳී යුද්ධය පිණිස පිටත්ව ගොස් තිබූ අතර අවුරුදු 2 ක් තිස්සේ ඔහු ගැන කිසිදු ආරංචියක් ලැබී තිබුණේ නැත. මේ නිසා ඇය හා කාල්ගේ දෙමාපියන් සිතුවේ ඔහු යුද්ධයේදී මියගොස් ඇති බවය.

කෙසේ වුවද සිය සැමියාගේ දෙමාපියන් හා විසීම පිණිස නැගෙනහිර පෲසේන් ප්‍රදේශයට පැමිණීම දෛවය විසින් ඇගේ ජීවිතය අර බියකරු ගමන වෙත ඇය යොමු කිරීමට හේතු වූ කාරණාවක් විය. මාගට් විසූ එම ගම්බද ප්‍රදේශයේ නිවහන පිහිටි විශාල වත්තට මායිම් වූ වනාන්තරයේ කිලෝමීටර් තුනක් පමණ ඈතින් එක් සුවිශේෂී තැනක් පිහිටා තිබුණේය. ඒ වනාහී ඒ වනවිට ආරම්භව තිබූ දෙවන ලෝක සංග්‍රාමයේ ජර්මන් ආඥාදායක අඩොල්ෆ් හිට්ලර්ගේ වෘකයාගේ තිප්පොළ (Woifsschanze-Wolf’s Lair) නම් කේත නාමයෙන් වූ නැගෙනහිර පෙරමුණේ යුධ මූලස්ථානය එම සුවිශේෂී ස්ථානය විය.

එක්තරා දිනෙක ප්‍රදේශයේ ගම්පති විසින් මාගට් හා තවත් 14 හැවිරිදි දැරියක් කෲසෙන්ඩොෆ් බැරැක්කය වෙත කැඳවනු ලැබූ අතර ඔවුන් විශේෂ රාජකාරියක් සඳහා තෝරාගෙන ඇති බව දන්වන ලද්දේය. එතැන් සිට දිනපතා පැමිණෙන බසයකින් ඇගේ නිවසේ සිට මාගට්ව කැඳවාගෙන වෘකයාගේ තිප්පොළ වෙත ගෙනයන ලදී. දහවල් 11 ට ඔවුන්, ඇය හා දැරිය කාමරයක් තුළට ගෙන ගියහ. විශාල ලී මේසයක් මතට සේවකයන් විසින් රැගෙන එන ලද පළඟානන් පුරා වූ තැම්බූ එළවළු සෝස් වර්ග නූඩ්ල්ස් හා විදේශීය පලතුරු වර්ග තබන ලදී. ඔවුන්ගේ කාරිය වූයේ හිට්ලර්ගේ දිවා ආහාරය සඳහා පිළියෙල කර තිබූ එම ආහාර ස්වල්පය බැගින් අනුභව කිරීමය. ඒවා හැමවිටම මස් මාංශයෙන් තොර වූයේ හිට්ලර් නිර්මාංශිකයෙකු වීම නිසාය. මාගට් ඇතුළු පිරිස ආහාර ඉඳුල් කළ පසු ඔවුන්ව පුරා පැයක් එහිම රඳවා තබාගන්නා ලදී. ඒ එම ආහාරවලට වස දමා ඇතිදැයි බලනු පිණිසය. “ආහාර ඉතා ප්‍රණීත වුවද අපට ඒවා රස විඳීමට නොහැකි විය. ඊළඟ මොහොතේ අප අඩපණව ඇද වැටෙතැයි භීතියක් ආහාර අනුභව කළ සෑම විටම අප තුළ තිබිණි.”යි මාගට් පසු කලෙක පැවසුවාය. පැයකට පසු ආහාර පරීක්ෂිකාවන් තුළ වෙනසක් ඇති නොවුනහොත් එම ආහාර හිට්ලර් වෙත ගෙනයන ලද්දේය.

වෘකයා ගේ මේසයට ගොස් ආපසු පැමිණි ගැහැණිය

හිට්ලර්ගේ ආහාරවලට වස දැමීමේ කුමන්ත්‍රණයක් තිබිණි යැයි සැකයක් නාසි බලධාරීන් තුළ විය. නමුත් හිට්ලර් ඝාතනය පිණිස ක්‍රියාත්මක වූයේ ආහාරවලට වස දැමීම නොව වෙනත් කුමන්ත්‍රණයකි. වෘකයාගේ තිප්පොළ යුධ මූලස්ථානයේ සම්මන්ත්‍රණ කාමරයේදී බෝම්බයක් පුපුරවා හිට්ලර් ඝාතනය කිරීම එම සැලැස්ම විය. ජූලි 20 කුමන්ත්‍රණය නමින් ඉතිහාසයේ සඳහන් වන මෙම සිද්ධිය මෙහෙය වූයේ නාසි පක්ෂයේම කර්නල්වරයෙකු වූ හා හිට්ලර්ගේ සමීපතමයකු වූ ක්ලවුස් වොන් ස්ටැෆන්බර්ග්ය. එක් අයෙකු මරණයට පත් කරමින් හා විසි දෙනෙකුට තුවාල සිදු කරමින් අවසන් වූ කුමන්ත්‍රණයෙන් හිට්ලර් දිවි ගලවා ගත්තේය. එම ඝාතන කුමන්ත්‍රණයෙන් පසු වෘකයාගේ තිප්පොළෙහි ආරක්ෂාව දැඩි ලෙස තර කරන ලද්දේය. ඒ හේතුවෙන් ආහාර පරීක්ෂිකාවන් සියලු දෙනාට කඳවුරෙන් පිටවීම තහනම් විය. මාගට් ඇතුළු අනෙකුත් තරුණියන් එහිම රඳවා ගන්නා ලදී. කඳවුරු භූමිය තුළ වූ අතහැර දමන ලද පාසල් ගොඩනැගිල්ලක් එතැන් පටන් ඔවුන්ගේ නවාතැන විය.

1944 එක් උදයක මාගට් අවදි වූයේ කවුරුන් හෝ ඇගේ නම කියා කෑගසූ ජනේලයට එපිටින් ඇසුණු මහ හඬකිනි. ඇත්තෙන්ම මාගට් ඇතුළු තරුණියන් නාසි බලධාරීනට අවශ්‍ය වනුයේ කෑම පිරික්සීමට බැවින් එදින මාගට් නියමිතව සිටියේ දිවා ආහාරය පිරික්සීම පිණිසය. හදිසියේ හිට්ලර් කඳවුරට පැමිණ ඇතිදැයි ඇයට මොහොතකට කල්පනා විය. ඇය කිසි දිනෙක හිට්ලර් දැක තිබුණේ නැත. ඔහුගේ ජර්මන් ෂෙපර්ඩ් වර්ගයේ සුරතල් බල්ලා නම් යුධ කාර්යාල ඉදිරිපිට උද්‍යානයෙහි සෑම දිනකම පාහේ සෙල්ලම් කරමින් සිටිනු දැක තිබුණි. එදින පාන්දරින්ම ඇය අවදිකරවීමේ ඇයගේ කුහුල පහව යන්නට වැඩි වේලාවක් ගියේ නැත. සෝවියට් හමුදාව වෘකයාගේ තිප්පොළට කිලෝමීටර් කිහිපයක් ළඟටම පැමිණ සිටියහ. වහාම සූදානම් වන ලෙස මාගට්ට අණ කළ එස් එස් ලුතිනන්වරයෙක් ඇයව බර්ලින් බලා යන දුම්රියකට නංවන ලද්දේය. අනෙක් ආහාර පරීක්ෂිකාවන්ට සිදුවූ දෙයක් ඇය දැන සිටියේ නැත. යුද්ධයෙන් පසු කලෙක මාගට්ට හමු වූ මෙම ලුතිනන්වරයා ඇයට පැවසුයේ ඉතිරි තරුණියන් 14 දෙනා සෝවියට් හමුදා අතින් මැරුම් කෑ බවය.

බර්ලීනයට පලා ආවද මාගට්ට ගැලවීමක් ලැබුණේ නැත. ඒ වනවිටත් බර්ලිනය අත්පත් කරගෙන සිටි සෝවියට් හමුදා විසින් ඇය අල්ලා ගන්නා ලද්දේය. මාගට් පසුව පැවසූ අන්දමට ඉන් පසුව එළැඹි සති දෙක ඇගේ ජීවිතයේ බියකරුම තුච්ඡම කාලපරිච්ඡේදය විය. අපායේ ගත කළ ඒ කාලය තුළ සෝවියට් සෙබළුන් රාශියක් විසින් ගිනිය නොහැකි තරම් වාර ගණනක් ඇයව නොනවත්වා දූෂණය කරන ලද්දේය. ඒ හේතුවෙන් බරපතළ ලෙස හානි වූ ඇගේ ගර්භාෂයට ඉන්පසු කිසි කලෙක දරුවෙකුට උපත දීමට නොහැකි විය. පසුව ඇයව අත්හැර දැමූ අතර වාසනාවකට මෙන් මරණයෙන් ගැලවීමට ඇයට හැකි විය. මියගියා යැයි සිතා සිටි ඇගේ සැමියා වූ කාල් 1946 වර්ෂයේ දිනෙක ඇය සොයා ආවේය. නැවත යුග දිවිය ඇරඹූ ඔවුහු 1980 දී කාල් මියයන තෙක්ම සතුටින් සිය විවාහ ජීවිතය ගත කළහ.

වෘකයා ගේ මේසයට ගොස් ආපසු පැමිණි ගැහැණිය

දශක ගණනාවක් රහසක්ව පැවති මාගට්ගේ කතාව ඇගේ 95 වන උපන්දිනය යෙදී තිබූ 2012 දෙසැම්බර් 27 වන දින පුවත්පත් වාර්තාකරුවකු හමුවේ හෙළිදරව් කිරීමට ඇය තීරණය කළාය. සිය අප්‍රියජනක කතාව වාර්තාකරුවා හමුවේ හෙළිදරව් කළ ඇය සිය කතාව අවසන් කළේ මෙසේය. “හිට්ලර් ඇත්තෙන්ම ජුගුප්සාජනක මිනිහෙක්, ඌරෙක්.” මාගට්ගේ කතාව බර්ලීනයේ ප්‍රකාශයට පත් වූ Berliner Zeitung පත්‍රයේ පළවිය. එහෙත් මාගට්ගේ කතාව ලෝක ප්‍රසිද්ධ වූයේ Berliner Zeitung පත්‍රයේ කෙටි ලිපිය නිසා නොව එය අහම්බෙන් කියැවූ රොසෙල්ලා පොස්ටරිනෝ නම් ඉතාලි ජාතික ලේඛිකාව නිසාය. මාගට්ගේ කතාව ඇසුරින් ඇය රචනා කළ At the Wolf’s Table නම් කෘතිය ලෝකයේ විවිධ භාෂාවන්ට පඍීවර්තනය වී විශාල ලෙස අලෙවි වන පොතක් බවට පත්වන ලද්දේය.

ද වුල්ෆ්ස් ටේබල් නවකතාව ආරම්භ වන්නේ කදිම ආහාර වේලක රස ගුණ වර්ණනාවෙනි. බටර්වලින් පිසින ලද බෝංචි, බදින ලද කුළු බඩු මිශ්‍ර බත් හා මුං ඇට, අතුරුපස සඳහා ඇපල් පෙති. ඛේදය වූයේ එම ආහාර රස විඳීමෙහි නියුක්ත වූවන්ගේ කුස ගින්නෙන් යුතු වීම ආදී ලෙසින් ආරම්භ වන වෘකයාගේ මේසය රචනා කළ රොසෙල්ලා තම කෘතිය රචනා කිරීමේ අත්දැකීම විස්තර කළේ මෙසේය.

“වඩාත්ම වැදගත් දෙය වන්නේ ඇය නාසි වාදය ප්‍රතික්ෂේප කළ අයෙකු වීමයි. නමුත් ඇයට නාසිවාදී හිට්ලර්ගේ ජීවිතය ආරක්ෂා කරනු පිණිස තම ජීවිතය අවදානමේ දමන්නට වී තිබිණි. දවසකට තුන් වතාවක්ම..’රොසෙල්ලා සඳහන් කළාය. රොසෙල්ලා ඇගේ ග්‍රන්ථයෙහි මාගට් ට දී තිබූ නාමය රෝසා විය. පොත ලිවීම ආරම්භ කළ රොසෙල්ලා තමන් මාගට් හමුවීමට ඉක්මණින් පැමිණෙන බව ඇයට දැනුම් දුන්නාය. එහෙත් මාගට් ඇගේ 95 වන උපන් දිනයට වසර දෙකකට පසු 2014 දී මියගියාය. රොසෙල්ලාට ඊට පෙර ඇය හමුවීමට හැකි වූයේ නැත.

“මට ඇය හමුවීමට නොහැකිවීම පිළිබඳව මා තුළ තිබෙන්නේ ශෝකයකට වඩා වරදකාරී හැඟීමකි. පොත ලිවීම ආරම්භයේදී මා සිතුවේ ඇයට හෝ ඇගේ කතාවට සාධාරණයක් ඉටු කිරීමට මට නොහැකිවේදැයි යනුවෙනි. මම ජර්මන් ජාතිකයෙක් නොවෙමි. එසේම මම කිසි දිනක ඒකාධිපති පාලනයක් යටතේ ජීවත් වී නොමැත්තෙමි. ඉතින් මට ඇය පිළිබඳ කතා කිරීමට අයිතියක් තිබේද? එහෙත් ඒ සමගම ඇගේ කතාවට මගේ හිත ඇදී යයි. ඇය ගොදුරක් වූ අතරම ඒ සමගම වැරදිකාරියක් වී තිබීම නිසයි.

මගේ නවකතාවේ මෙම කතාව පවසන්නේ මහළු රෝසා විසිනුයි. ඇය ඇගේ කතාව අපට කියන්නේ අතීත කතාවක් ලෙසයි. ඇය ජර්මනිය ගැන සියලු දේ දැන සිටියාය. ඇයට අනන්‍යතාවක් තිබුණේ නැත. ඉතින් ඇය මේ කාලපරිච්ඡේදය තුළ රෝසාගේ හෘද සාක්ෂිය නියෝජනය කිරීමට මට ඉඩ සලසයි. ඇය දැන් කතාවේ නරක පැත්තේ සිටි බව ඇය දන්නවා ඇතැයි මම සිතුවෙමි. ඇයගේ ඉතාමත් මානුෂීය ගුණයන් නිසා මා ඇයට කැමතිය. මෙහි පරස්පරය එනම් එකම අවස්ථාවේ වින්දිතයා බවට හා වැරදිකාරිය බවට පත්වීමයි. මේ පරස්පරය සෑම යුගයකම මිනිසුන්ට ආවේනිකයි. එසේම මම හැමවිටම තෝරාගන්නේ මනුෂ්‍ය හැසිරීම්වල දෙගිඩියාව නියෝජනය කිරීමට මට ඉඩ සලසන චරිතයි.

ඇය දිවිගලවා ගත්තාය. ඇය දැන් මහළුය. ඇය වස මිශ්‍ර ආහාර නිසා මියගොස් නැත. ඇය සෝවියට් හමුදාව විසින් මරා දමා ද නැත. නමුත් ඇත්ත වශයෙන්ම ඇය ජීවත් වන්නේද නැත. මන්ද, ඇය එතැන් සිට මේ දක්වා සැමවිටම ජීවත්වන්නේ සිරගෙයක සිටින්නාක් මෙනි. එම සිරගෙය යනු යුද්ධයේ කම්පන සහගත අත්දැකීම් සහ හිට්ලර්ගේ ආහාර අනුභව කරන ඇගේ අවදානම් කාර්යය පිළිබඳ අසුන්දර මතකයයි. ඇය මියයන තුරුම එම මතකයෙන් පීඩා විඳි බව මගේ නිගමනයයි.

නිමල් ෆ්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment