වෘත්තීය සමිති  අඛණ්ඩ වර්ජනයක

227

සාමකාමී අරගලයක නිරත වූ විරෝධතාකරුවන්ට එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයට එරෙහිව ඊයේ (09 වැනිදා) සිට රාජ්‍ය, අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලකම වෘත්තීය සමිති එක්ව අඛණ්ඩ වැඩ වර්ජනයක් ආරම්භ කළ බව වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ‘දිවයින’ට පැවසීය.

රෝහල්, වරාය, දුම්රිය, ලංවිම ආදී රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සියල්ලට සම්බන්ධ වෘත්තීය සමිති එක්ව මෙම තීරණය ගත් බවද ඒ මහතා කීය.

ගෝඨාභයට හෝ මහින්දට මේ රටේ බලය නොමැති බවත් බලය ඇත්තේ පොදු මහජනතාව අතර බැවින් වහාම ආණ්ඩුව ඉල්ලා අස්වී ගෙදර යනතුරු මෙම වැඩ වර්ජනය නතර නොකරන බවත් ඒ මහතා කීය.

පොලිස් ඇඳිරිනීතිය දමා ඇත්තේ ජනතාවගේ ආරක්‍ෂාව සඳහා නොව රාජපක්‍ෂලාගේ ආරක්‍ෂාව සඳහා බැවින් එම නීතිය පිළිගැනීමට මේ රටේ ජනතාව හෝ වැඩ කරන ජනතාව පිළිගැනීමට සූදානම් නැතැයි ද ඒ මහතා කීය.

අරලියගහ මන්දිරයට පැමිණි පිරිසක් අරලියගහ මන්දිරය ඉදිරිපිට හා ගාලුමුවදොර සාමකාමී විරෝධයක නිරතව සිටි අරගලකරුවන්ට ම්ලේච්ඡ ලෙස පොලුවලින් පහර දෙන තුරු නීතිය ක්‍රියාත්මක නොකළ බවත් ජනතාව ප්‍රකෝප වූ පසු ඔවුනට එරෙහිව පොලිස් ඇඳිරිනීතිය පැනවූ බවත් සමරසිංහ මහතා කීය. හරිනම් මහින්ද රාජපක්‍ෂ අත්අඩංගුවට ගතයුතු බවද ඒ මහතා පෙන්වා දුන්නේය.

එනිසා අද (10 වැනිදා) වැඩබිම් ඉදිරිපිට උද්ඝෝෂණ සංවිධානය කරමින් කොළඹදී දැවැන්ත විරෝධතාවක් පළ කිරීමට ද වෘත්තීය සමිති තීරණයක් ගෙන ඇත.

පාර්ලිමේන්තුව රැස්කර හෝ ජනතාවට කැමති පාලනයක් සඳහා දැන්වත් ඉඩදී ගෝඨාභයත්, මහින්දත් සමස්ත ආණ්ඩුවමත් ඉවත්ව යන තෙක් සටන නතර නොකරන බවද වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

ශිරාන් රණසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment