වෘත්තීය සමිති එක මිටට අද වැඩ වරති: අපි සූදානම්!

196

ආණ්ඩුවත් වෘත්තීය සමිතිත් කියයි

දුම්රිය සියලුම නිවාඩු අවලංගුයි
තැපෑල අත්‍යවශ්‍ය සේවා ගැසට්ටුවක් එයි
වැටුප් වර්ධක සහ විසිදහසක දීමනාවක් ඉල්ලා ගුරුවරුත් වර්ජනයට

රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තියට ජල විදුලි ගාස්තු බැංකු පොලී ඉහළ දැමීමට එරෙහිව රාජ්‍ය අර්ධ රාජ්‍ය වෘත්තීය සමිති 50කට ආසන්න සංඛ්‍යාවක් ඒකාබද්ධව සිදු කරන දැවැන්ත වැඩ වර්ජනය අද (15 වැනිදා) දීපව්‍යාප්තව පැවැත්වෙන බව ඊයේ (14 දා) නිවේදනය කළේය.

ඒ අනුව වරාය දුම්රිය ඛනිජ තෙල්, බැංකු, තැපැල් පාසල්, විදුලි, ජල සම්පාදන, සෞඛ්‍ය ඇතුළු වෘත්තීය සමිති 50කට ආසන්න සංඛ්‍යාවක් මෙම වර්ජනය සඳහා එක්ව සිටින බව ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි.

මේ අතර සියලුම දුම්රිය සේවකයන්ගේ නිවාඩු අවලංගු කළ බව දුම්රිය සාමාන්‍යාධිකාරිවරයා ඊයේ නිවේදනය කළේය.

මේ අතර තැපැල් අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ගැසට් නිවේදනයක් ද පෙරේදා (13 වැනිදා) රාත්‍රි නිකුත් කළේය.

ජල සම්පාදන වෘත්තීය සමිති සන්ධානය ඊයේ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ අද කාර්යාල සේවා සහ පාරිභෝගික සේවා මගින් ඉවත්ව පොම්පාගාර කටයුතු පමණනක් සිදු කරන බවයි.

බිඳ වැටීම් සහ අලුත්වැඩියා නොකරන බැවින් යම් යම් ස්ථානවල ජල සැපයීම් අඩාල වීමට ඉඩ ඇති බවත් මනු සටහන් ගැනීම බිල්පත් නිකුත් කිරීම නව ජල සම්බන්ධතා ලබාදීම සම්බන්ධතා විසන්ධි කිරීම නොකරන බවද එම සංවිධානය කියා සිටියි.

වර්ජන ක්‍රියාමාර්ගයන්හි ප්‍රධාන ඉල්ලීම් 6ක් ඉදිරිපත් කරන අතර එම ඉල්ලීම් වන්නේ රුපියල් 20,000ක දීමනාවක් ලබාගැනීම, බැංකු පොලී අනුපාත අඩු කිරීම, විදුලි සහ ජල බිල් අඩු කිරීම උපයන විට බද්ධ සංශෝධනය කර ගැනීම, රාජ්‍ය මර්දනය නවතා ප්‍රජාතන්ත්‍රවාදය ආරක්‍ෂා කර ගැනීම යන කරුණු පවතින බවත් ඊට අමරව ඒ ඒ වෘත්තීන්ට අදාළව පැන නැඟී ඇති ගැටලුවලට විසඳුම් ද මෙම වැඩ වර්ජනය මගින් අපේක්‍ෂා කරන බවත් එම වෘත්තීය සමිති සංවිධානය සඳහන් කරයි.

මේ අතර බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඊයේ නිවේදනය කළේ අද (15 වැනිදා) පැවැත්වීමට නියමිත 9, 10, 11 පාසල් වාර විභාගයන්ට අදාළ විෂයන් ලබන 21 සහ 22 දින පැවැත්වීමට කටයුතු කරන බවයි.

බස්නාහිර පළාතේ සියලුම ජලසම්පදාන සේවකයන් රත්මලානේ දී දහවල් 12 ට උද්ඝෝෂණයක යෙදීමට නියමිතය.

එමෙන්ම වෘත්තීය සමිති මට්ටමින් උද්ඝෝෂණ ව්‍යාපාර දීපව්‍යාප්තව වැඩබිම්වල ක්‍රියාත්මක කරන බව සමගි වෘත්තීය සමිත සන්ධානය කැඳවුම්කරු ආනන්ද පාලිත මහතා දිවයිනට ඊයේ කියා සිටියේය.

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිiාල ආචාර්ය වරුන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ රජයේ බදු ප්‍රතිපත්තියට එරෙහිව වෘත්තීය සමිති ගෙනයන සටනට කොන්දේසි විරහිතව සහාය දීමට තීරණය කර ඇති බවයි.

මහාචාර්ය නිලන්ත පී. දිසානායක මහතා විසින් ඒ පිළිබඳව නිවේදනයක් ද නිකුත් කර තිබිණි.

හේමන්ත රන්දුණු අකිත පෙරේරා සුජීව තත්සර සහ චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment