වෘත්තීය සමිති නායකයන්ට වර්ජනයට එන්න තෙල් ටික දෙන්නෙත් රනිල් – වජිර අබේවර්ධන

72

රටේ පැවති පෝලිම් නැතිකර වෘත්තීය සමිති නායකයන්ට වර්ජන කිරීම සඳහා පැමිණීමට ඉන්ධන ටික ලබා දෙන්නේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව අවබෝධ කර ගන්නා ලෙස එක්සත් ජාතික පක්‍ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පැවසීය.

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් මෙන්ම පොහොර නැතිව ගොවියා පාරට බැස රට අරාජිකව තිබූ වකවානුවේ වගකීම් භාර නොගෙන ඇතැමුන් යද්දී ජනාධිපතිවරයා එම අභියෝගය භාරගෙන රට යම් සහනදායී තත්ත්වයකට පත්කර ඇති බවද ඊයේ (28 දා) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී වජිර අබේවර්ධන මහතා කීවේය.

එදා ජනතාව මුහුණ දී සිටි පෙට්‍රල්, ඩීසල්, භූමිතෙල්, ගෑස්, කිරිපිටි ඇතුළු ප්‍රශ්න රැසකට යම්තාක් දුරට විසඳුම් ලබාදුන් බවද තවත් සහන ලබාදීමට ටික කලක් ගතවන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබෙන බවද පැවසූ ඒ මහතා රට යම් දුරකට සාමාන්‍ය වෙමින් තිබෙන කලක පවත්වන මෙවැනි විරෝධතා ජාත්‍යන්තරයට දැක ගැනීමට ලැබෙන බැවින් සංචාරකයන්ගේ පැමිණීම අඩුවන බවද පැවසීය.

මෙවැනි කටයුතු සිදුවන්නේ ජාත්‍යන්තර අවශ්‍යතාව අනුව බව පෙනෙන බවත් ඇතැම් අයගේ පටු අරමුණුවලට හසුනොවන ලෙස ජනාවගෙන් ඉල්ලා සිටින බවත් අබේවර්ධන මහතා කීය.

රට ගොඩනැගීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන වැඩපිළිවෙළ විවේචනය කරනවා නම් ඒ අය රට ගොඩනැගීමට ඇති වෙනත් විකල්ප මාර්ග පෙන්වා දිය යුතු බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment