වෙච්ච දේ වුණාවේ ගොඩ එන හැටියක් බලමු

1427

ජූලි මාසයේදී ජනයාගෙන් වැඩි හරියකට කන්නම නැතිවන බව රනිල් වික්‍රමසිංහ මහතා අගමැති වීමට පෙර පුරෝකථනය කර තිබිණ. මෙය සම්පූර්ණයෙන් ම ඇත්ත වෙමින් පවත්නා බැව් පෙනේ. ඉදිරි යල කන්නය 60% ක් අසාර්ථක වීමට නියමිතය. එනම් දැනට පවතින රසායනික පොහොර හිඟය සහ ඩීසල් හිඟය හේතුවෙන් යල කන්නයේ වී නිෂ්පාදනයෙන් 60% ක් අඩුවීමට නියමිතය. මීට අවුරුදු 60 ක පෙර මේ රටේ ජනයා සරල ග්‍රාමීය රාජ්‍යයක ජීවත් වූ සමයේදී ඩීසල් ගැසූ ට්‍රැක්ටර් යොදා කුඹුරු හෑමක් තිබුණේ නැත. එකල මැහිතෙල් ද නැත. රසායනික පොහොරද නැත. වල් නාශක ද නැත. ජනගහනය විශාල වශයෙන් වර්ධනය වී තිබූ නැති නිසා මහ පරිමාණයෙන් කුඹුරු වගා කිරීමේ වුවමනාවක් තිබුණේ ද නැත. එකල මිනිස්සු වැඩ කළේ අත්තමටය. සිංක්‍ඳප්පුගේ කුඹුරු ඉඩමේ කුඹුරේ වතුර බැඳීමටත්, සී සෑමටත්, පැළ සිටුවීමටත් බුංජප්පු සහ පවුලේ කට්ටිය පැමිණියහ. ඉන් පසු බුංජප්පු කුඹුර කරන විට එහි වැඩට සිංක්‍ඳප්පු ඇතුළු පවුලේ කට්ටිය පැමිණියහ. මෙය ඉතා සරල ලෙස ශ්‍රමය හුවමාරු කර ගැනීමේ වැඩපිළිවෙළකි. එහෙත් අද ඒ සරල ජීවන ක්‍රමය නැත. එම ජීවන ක්‍රමය අතුරුදන්වීම සම්බන්ධයෙන් කවුරුත් වගකිව යුතු ද නැත. ශිෂ්ටාචාරයේ දියුණුව, යන්ත්‍ර සූත්‍රවල වර්ධනය යනාදී කරුණු රැසක් මේ දියුණුවට බලපෑවේය. එය වැළැක්වීමට බැරි වූ දියුණුවකි. මුලදී මේ දියුණුවට සමාන්තරව ජනගහනය වැඩි විය. ඊළඟට දියුණුව පසුකර යමින් ජනගහනය තව තවත් වැඩිවිය. කන්නට ඇති කටවල් ගණන වර්ධනය වීමත් සමඟ වී කරලක වෙනදා තිබූ ඇට දහසක ප්‍රමාණය දෙදහසක් කිරීමේ වගකීම ගොවීන් පිට පැටවිණ. එතැනදී උදව්වට එන්නේ රසායනික පොහොරය. මැහිතෙල් ය. කෘමිනාශකය. මේ තත්ත්වය දිගටම පැවති අතර අදටත් එසේම පවතී. අද වන විට මැහිතෙල් සහ කෘමිනාශක යනු බහුකාර්ය දේවල් ය. පළමුවෙන් ම බණ්ඩි ගොයම උරා බොන මැස්සන්ට ගැසීමටත්, වල් පැළ මැරීමටත් මේ දෙක ප්‍රයෝජනවත් විය. ඊළඟට ගොවි ණය ගෙවා ගැනීමට බැරි වූ විට ගොවීන්ට සියදිවි නසා ගැනීම සඳහා ද මේ දෙක ප්‍රයෝජනවත් විය. කොළඹ හෙට්ටිවීදියේ ද මෙබඳු තත්ත්වයක් පවතී. රත්‍රන් බඩු කර්මාන්තය සඳහා පොටෑසියම් සයනයිඩ් ද්‍රාවණය අත්‍යවශ්‍ය වෙයි. රත්‍රන් බඩු සාප්පුව බංකොලොත් වී ණය තුරුස් ගෙවා ගැනීමට බැරි වූ සැණින් රත්‍රන් බඩු සාප්පුකාරයා හෝ රන්කරුවා කරන්නේ පොටෑසියම් සයනයිඩ් බින්දුවක් පානය කිරීමය. මේ ප්‍රමාණය ආත්ම තුනක පමණ සියදිවි නසාගැනීම්වලට සෑහෙන තරමටම බලගතුය.

නියඟය සහ සාගතය අතර වෙනසක් තිබේ. නියඟය යනු වර්ෂාපතනය අඩුවීමේ හේතුවෙන් ආහාරභෝග විනාශවීමය. එවිට මිනිසුන්ට කන්නට නැත. සාගතය යනු වෙනත් හේතූන් මත හට ගන්නා ආහාර හිඟය ය. සමහර විට සල්ලි නැතිකම, පොහොර නැතිකම, ශ්‍රමය නැතිවීම, ගොවීන්ට වසංගත රෝග බෝවී ඔවුන් මැරී යෑම යනාදී කාරණා සාගතයට හේතුවෙයි. ජූලි මාසයේදී යල කන්නය අසාර්ථක වන්නේ වැස්ස අඩුවීම නිසා නොවේ. පොහොර නැතිවීම සහ ඩීසල් නැතිවීම නිසා ය. මෙහිදී හටගන්නා ආහාර නොමැති තත්ත්වය ස්ථිර වශයෙන් ම සාගතයකි. මේ අවුරුද්දේ ලෝකයේ වෙනත් රටවලද යම් ප්‍රමාණයක ආහාර අර්බුදයක් ඇත. එම ආහාර අර්බුදයේ ප්‍රතිඵලයක් වශයෙන් බොහෝ රටවල් සහල් හෝ තිරිඟු පිටි අපේ රටට අපනයනය කිරීමෙන් වැළකී සිටීමට තීරණය කර තිබේ. එසේම යුක්‍රේනය සහ රුසියාව අතර හටගෙන තිබෙන යුද්ධය ද අප ජීවත්වන කලාපයේ ධාන්‍ය සැපයීම අඩුවීමට හේතුවක් වනවා ඇත. ලෝකයේ විශාලතම තිරිඟු නිෂ්පාදකයා යුක්‍රේනය ය. යුද්ධය නිසා ඔවුන් ස්වකීය අපනයන කටයුතු සියල්ලම නවත්වා තිබේ. එබැවින් දීර්ඝ සාගත තත්ත්වයක් සහ එය දරා ගැනීමට බැරි තත්ත්වයක් ජූලි මාසය අවසානයේ පටන් ගන්නේ නම් අප විසින් දැන්ම ගත යුතු තීන්දුවක් තිබේ. ඒ වූ කලී වඩාත්ම ලාබ මල්ශාලාවක් තෝරාගෙන අපගේ අවසන් කටයුතු සඳහා මුදල් බැඳීමය.

මේ අතර මේ අර්බුදයට තවත් option එකක් තිබේ. එනම් කෙටි කාලීන බෝග වගා ඇති කිරීමය. අඩු ගානේ මේ රටේ තිබෙන මුඩු ඉඩම් සියල්ලෙහිම මක්‍ඳ්fඤාක්කා, බතල සහ එළවළු වර්ග වගා කිරීමෙන් සාගතයට කිසියම් සහනයක් ලබා ගැනීමට පුළුවන. ගෙවතු වගා ආරම්භ කිරීමෙන් ද ඉතා සුළු වශයෙන් සහනයක් ලබාගත හැකිය. එහෙත් තට්ටු නිවාසවල හෝ නාගරික ප්‍රදේශවල පර්චස් දෙකේ ගෙවල් අයිතිකාරයන්ට මේ විකල්ප මාර්ගයන්ට යෑමට නොහැකි ය. ඒ අනුව ආණ්ඩුව අතගගා නොසිට මුඩුබිම් වගා කිරීම සඳහා කිසියම් පියවරක් ගත යුතුය.1970 – 77 සමගි පෙරමුණු රජය පැවති කාලයේදී ශ්‍රී ලංකාව තුළ විශාල වගා ව්‍යාපාරයක් ආරම්භ විය. මෙයට වගා සංග්‍රාමය යන, එහෙම පිටින්ම වැරදි නමක් තබන ලදී. මෙහිදී දේශීය ආහාර වර්ග වගා කිරීම ප්‍රවර්ධනය කරන ලදි. එසේම ආනයන සීමා ද විදේශ විනිමය සීමා ද ප්‍රකාශයට පත්විය. විදේශ විනිමය අවශ්‍ය පුද්ගලයා කළ යුතුව තිබුණේ පිටරටට ගොස් රැකියාවක් කර විදේශ විනිමය උපයා ගැනීමය. ඒ අතර පිටරටින් සහල් ගෙන්වීම සීමා කිරීම සඳහා සතියකට දින කිහිපයක් හෝටල්වල බත් පිසීම තහනම් කරන ලදි. මේ කියන කාලයේදී ශ්‍රී ලංකාවේ තිබුණේ ගැමි ආර්ථිකයකි. මෙකල සීනි රාත්තලක් සත 72 කි. සමුපකාරයෙන් දෙන හාල් සේරුවක් සත 25 කි. කඩේ විකුණන සම්බා සහල් සේරුවක් සත 80 සිට රුපියල දක්වා වූ මුදලකි. අද රුපියල් 40 දක්වා විකිණෙන ගිනි පෙට්ටිය එදා සත 05 කි. එසේම බස් එකේ පළවැනි සෙක්ෂන් එක සත 10 කි. අද රුපියල් 140 ට විකුණන මදුරු කොයිල් පෙට්ටි එදා තිබුණේ ම නැත. එයට හේතුව එදා මේ තරමට මදුරුවන් නොසිටීමය. එමතුද නොව රෑට නිදා ගැනීම සඳහා ෆෑන් එකල පාවිච්චි නොකරන ලදි. එයට හේතුව වූයේ ගෝලීය උණුසුම මේ තරමට වැඩි වී නොතිබීමත් ලංකාවේ දේශගුණය සෞම්‍ය තත්ත්වයක පැවතීමත් ය.

දැන් ඉතින් වෙච්ච දේ වුණාවේ. ගොඩ එන හැටියක් බලමු.

advertistmentadvertistment
advertistmentadvertistment