වෙඩිකින්නරිමලේ පුරාවස්තු හානියට එරෙහිව ගල්ගමුවේ හිමි උසාවියයි

315

පසුගිය අප්‍රේල් 1 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී වඩුන්නාගල හෙවත් වෙඩිකින්නරිමලේ පිහිටි පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයට බරපතළ හානි සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නිසි විමර්ශනයක් සිදුකර නීතිමය පියවර ගැනීමට පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකරුවන්ට නියෝගයක් කරනා ලෙස ඉල්ලා සපුමල්ගස්කන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති ගල්ගමුවේ ශාන්තබෝධි හිමිපාණන් ඇතුළු පිරිසක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහ.

එම පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත භූමියේ ආරක්‍ෂාවට ගතයුතු සියලුම පියවර ගන්නා ලෙසට හා එම ස්ථානයට හානිය සිදුකළ පිරිසගේ පෞද්ගලික මුදලින් නැවත සකස් කිරීමට නියෝගයක් කරනා ලෙසටත් එමගින් ඉල්ලා තිබේ.

අමාත්‍ය ඩග්ලස් දේවානන්දා හා ජීවන් තොණ්ඩමන් ඇතුළු පිරිසක් එම ස්ථානය නිරීක්‍ෂණය කිරීමට පැමිණි අවස්ථාවේදී එහි කඩා වැදුණු පිරිසක් එහි හානිය සිදුකර ඇති බවත් එවැනි හානියක් සිදුකිරීමට ඉඩ ඇති බැවින් එය වැළැක්වීමට අවශ්‍ය පියවර ගන්නැයි අවස්ථා කිහිපයකදී නැදුන්කර්නි පොලිස් ස්ථානාධිපතිවරයා, ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා හා පොලිස්පතිවරයාට පැමිණිළි කළ බවත් නීතීඥ දර්ශන වේරදුවගේ මහතා මගින් ගොනු කළ එම පෙත්සම මගින් පෙත්සම්කරුවන් පෙන්වා දී තිබිණි.

බුද්ධ ශාසන හා ආගමික කටයුතු පිළිබඳ අමාත්‍ය විදුර වික්‍රමනායක, මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස්, පොලිස්පති චන්දන වික්‍රමරත්න ඇතුළු 27 දෙනකු එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment