වෙඩින් රැග් එක දරුණු වී කසාදය ඉවරයි… පියා මනාලිය ගෙදර ගෙනයයි… බිරිඳ රැකගන්න බැරි සැමියන්ට පාඩමක්!

735

 
ගිම්හාන දඹුල්ල ප‍්‍රදේශයේ පදිංචි තරුණයෙකි. වයස අවුරුදු විසි අටකි. පෞද්ගලික අංශයක රැකියාවක් කළ ඔහු පවුලේ බාලයාය. තම අනාගතය ගැන වැඩි තැකීමක් නොකළ ඔහු යහළුවන් සමඟ විනෝදකාමී ජීවිතයක් ගත කළේය.
 
 දෙමව්පියන් කොතරම් අවවාද කළත් ඔහු තමන්ගේ ජීවන රටාව වෙනස් කරගැනීමට කැමති වූයේ නැත. ඔහුගේ ජීවිතයේ ප‍්‍රමුඛ ස්ථානයක් ලබාදී තිබුණේ මිතුරන්ටය. එම මිතුරන් සමඟ විනෝද ගමන් යෑම, මත්පැන් පානය කිරීම ආදී නොයෙක් දෑ ඔහු සිදු කළේය.
 
 ”කොතරම් කිව්වත් මෙයාව හදන්න බෑ. යාළුවෝ නිසා කවදාහරි ලොකු අමාරුවක වැටෙනවා. ඒක නිසා මෙයාට ඉක්මනින් කසාදයක්වත් කරල දෙන්න ඕනා. එතකොටවත් ඔය යාළුවෝ කියන අයගෙන් අයින් වෙලා ඉඳීවි නේ.” අවසානයේ දෙමාපියන් එලෙස සිතා ගිම්හානට විවාහයක් කර දීමට තීරණය කළේය. අකමැත්තෙන් වුවද ගිම්හාන දෙමව්පියන්ගේ එම තීරණයට එකඟ විය. ඒ අනුව ඔවුන් තම පුතුට සුදුසු සහකාරියෙක් සෙව්වේය.
 
 මනාලියන් කීහිපදෙනෙකු බැලීමට ගියත් ගිම්හාන ඒ කිසිවෙකුටත් කැමැති වූයේ නැත. අවසානයේ පොලොන්නරුව නව නගරයේ මනාලියක් බැලීමට ද ඔවුන් ගියේය. ඒ දැනට මාස තුනකට පමණ ඉහතදීය.
 
 එම මනාලිය ගුණ යහපත් ගතිගුණවලින් යුක්ත සරල ජීවිතයක් ගත කළ තැනැත්තියක වූවාය. එමෙන්ම ඇයගේ මුහුණෙන් සිරියාවන්ත පෙනුමක් ද දිස් වූවාය. එම නිසාමදෝ කොහෙද දුටු පළමු දිනයේම ගිම්හාන එම තරුණියට කැමැති වූයේය.
 
 වැදගත් පවුලක හැදී වැඩුණු එම තරුණියගේ නම නිශා වීරසිංහ යි. උසස් අධ්‍යාපනයක් ලද ඇය රාජ්‍ය සේවයේ රැකියාවක ද නිරත වූවාය. එම පවුලේ සිටි එකම දියණිය ද ඇය වූවාය.
 
 මනමාලිය ගැන සහ එම පවුලේ තොරතුරු සොයා බැලූ පසු ගිම්හානගේ පාර්ශ්වයේ උදවිය එක පයින්ම එම විවාහයට කැමති වූහ. නීශාගෙ පවුලේ උදවිය ද මනමාලයා පිළිබඳ තොරතුරු සොයා බලා ඔහුට කැමති විය. අවසානයේ දෙපාර්ශ්වයේ කැමැත්ත මත ගිම්හාන සහ නිශාගේ විවාහයට දින තීන්දු කර ගත්හ.
 
 මංගල උත්සවයේ පළමු දිනය නිශාගේ නිවසේ පසුගිය සතියේ 18 වැනිදා පැවැත්විණි. සීමිත පිරිසකට ආරාධනා කර තිබුණත් ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් කිසිදු අඩුපාඩුවක් නොමැති ව එම උත්සවය පැවැත්වූහ.
 
 දෙවෙනි ගමන යෙදී තිබුණේ විසි එක් වැනි දාය. එම උත්සවය ගිම්හානගේ නිවසේ පැවැත්වීමට තීරණය කර තිබුණි. ගිම්හානගේ මිතුරන් සහ ඥාතීන් එකතු වී එම උත්සවය ඉතාමත් උත්කර්ෂවත් අන්දමින් ගැනීමට සියලූ කටයුතු සූදානම් කර තිබුණි.
 
මධුසමය ගත කළ නව යුවල නිශාගෙ පාර්ශ්වයේ උදවිය සමග දෙවෙනි ගමන බලා යෑමට සූදානම් වූහ. ඒ අනුව නව යුවල ඇතුළු එම පිරිස දඹුල්ලේ පිහිටි ගිම්හානගේ නිවස වෙත පැමිණෙමින් සිටියහ.
 
 එදින මිතුරන් විශාල පිරිසක් ගිම්හානගේ නිවසට පැමිණ සිටියහ. ඒ අතර සිටි පිරිසක් මෙලෙස කතා බස් කළහ.
 
 ”මචං අපි මූට අමතක නොවන රැග් එකක් දෙන්න ඕනා.”
 
 ”ඔව් ඔව් අනිවාර්යෙන්ම.”
 
 ”මොකක්ද අපි කරන්නේ.”
 
 ”හන්දියේ ඉඳන් විල්බැරෝ එකක කපල් එක එක්කන් එමු. හොඳ කුණුහරුප ටිකක් බෝඞ් එකක ලියලා ඒක දෙමු මනමාලිට අල්ලගන්න කියලා.”
 
 ”ඒ විතරක් මදි. තව මොනවා හරි කරන්න ඕනා.”
 
 ”එහෙනම් ඉඳුල් වතුරවලිනුත් නාවමු කපල් එක.”
 
 ”ඒක හරි නැහැ නේ බං. ගඳ ගගහා කොහොමද ඉන්නේ.”
 
 ”අනේ නිකන් හිටපං. පොඞ්ඩක් ගඳ ගැහුවහම මොකද? ඒක රැග් එකනේ.”
 
 ”ඒ ටික මදි. තව මොනවා හරි කරන්න ඕනා.”
 
 ”ඔව් නිකං අත අරින්න හොඳ නැහැ. දෙන එක දෙන්න ඕන හොඳටම. නැත්නම් ආයි කවදා දෙන්න ද?.”
 
 එම කතාව අතරතුර ගිම්හානගේ මස්සිනා කෙනෙක් එම ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු ද පැවසුවේ අමතක නොවන රැග් එකක් නව යුවලට දිය යුතු බවයි.
 
wedding2


පරුෂ වචන ලියපු නාම පුවරුවක්, විල්බැරෝවක්, ටින්වලින් හදපු මාලයක්, පොල් කටු මාලයක්, ඉඳුල් වතුර පිරවූ භාජනයක් සහ තවත් සැරසිලි කිහිපයක් රැගෙන ගිම්හානගේ මස්සිනා ඇතුළු මිතුරන් පිරිස හන්දියට පැමිණියහ. ඒ නව යුවලට රැග් එක දීම සඳහාය.
 
 පැය බාගයකට පමණ පසු නව යුවල රැගත් මෝටර් රථය පැමිණෙන අයුරු එම පිරිස දුටුහ. ඒ අනුව එම පිරිස මාර්ගයට පැන බලහත්කාරයෙන් මෝටර් රථය නතර කර ගත්තේය. එලෙස නතර කරගෙන ඔවුන් මෙලෙස පැවසුවේය.
 
 ”මෙතන ඉඳන් නව යුවලට යන්න වෙන්නේ අපි කියන විදිහට. ඒකට අකමැති උනොත් කරන්න ඕන දේත් අපි දන්නවා. එක නිසා වැඩිය සද්ද නොකර ඉක්මනින් බහින්න.”
 
 එම කතාවට සහ ඔවුන් ළඟ තිබුණ දේවල් දැකීමෙන් මනාලිය ඉතාමත් ලැජ්ජාවට සහ බියට පත් වූවාය. එම නිසා ඇය තම ස්වාමි පුරුෂයාට පැවසුවේ මෝටර් රථයෙන් නොබැස ඉමු කියාය.
 
 ”පිස්සුද ඔයාට. ඒ මගේ යාළුවෝ. අපි ඒගොල්ලෝ කියන එකට කැමති වෙමු.”
 
 ”අනේ මට බැහැ. බලන්න අර බෝඞ් එකේ ලියල තියෙන ඒවා. ලැජ්ජාවෙ බෑ.”
 
 ”පිස්සු කරන්න එපා. කොහොමත් අපිට ඒ රැග් එක කන්න වෙනවා. නැත්නම් මොනවා කරයිද දන්නේ නැහැ.”
 
 ”අනේ එහෙම කියන්න එපා. අපි බහින් නැතුව ඉමු. අනේ මට නම් බැහැ. අර බලන්න ඒගොල්ලන්ගේ අතේ තියෙන දේවල්.”
 
 ”ඒක නං කොහොමත් කරන්න බැහැ. මට බැහැ යාළුවො තරහා කරගන්න.”
 
 ”අනේ එහෙම කියන්න එපා. ඒගොල්ලො තරහ වෙන එකක් නැහැ.”
 
 ”නැත්තෙ මොකද මමනේ දන්නේ යාළුවන්ගෙ හැටි.”
 
 නව යුවළ එලෙස කතා කරන අතර මෝටර් රථය වට කරමින් සිටි පිරිස කෑකෝ ගසමින් පැවසුවේ ඉක්මනින් එළියට පැමිණෙන ලෙසයි.
 
 මනමාලයා මෝටර් රථයෙන් එළියට බැස්සේය. ඒ බසිනවාත් සමඟම ඉඳුල් වතුර ප‍්‍රහාරයක් ඔහුට එල්ල කළේය. එම ප‍්‍රහාරයෙන් ඔහුගේ මුළු ශරීරයම තෙමී ගියේය. එ විතරක් නොව මස් කෑලි ආදි ඉඳුල් රොඩු ද ඔහුගේ ශරීරයේ තැන් තැන්වල තිබුණි.
 
 ඒ සමඟම මනමාලයාගේ මස්සිනා යයි කියා ගත් පුද්ගලයෙක් ”මාව අඳුරනවනෙ. මම තමයි මෙයාගේ මස්සිනා. ඒක නිසා ඉක්මනට කාර් එකෙන් බහින්න නංගි” කියා පැවැසුවේය. එම ප‍්‍රකාශයත් සමග ඇය තවත් බියට පත් වූවාය. අවසානයේ කරන්නම දෙයක් නැති තැන ඇය මෝටර් රථයෙන් බැස්සාය. එලෙස බැසගත් ඇය තම ස්වාමිපුරුෂයාට යළි යළිත් පැවසුවේ මෝටර් රථයට නගින ලෙසයි. එහෙත් ඔහු එය ගණන් ගත්තේ නැත.
 
 ගිම්හානගේ මිතුරන් මනමාලියට ද රැග් කිරීමට සැරසුණේය. ඒ සමඟම පිටුපස වෑන් රථයේ සිටි මනමාලියගේ පියා එම ස්ථානයට පැමිණියේය. එලෙස පැමිණි ඔහු ගිම්හානට මෙලෙස පැවසුවේය.
 
 ”පුතේ මොකක්ද මේ කරන වැඬේ. මේ කට්ටියට යන්න කියන්න.”
 
 ”අනේ බැහැ අංකල් ඒ මගේ යාළුවො.”
 
 ”යාළුවෝ බව ඇත්ත. ඒත් මේ වගේ පහත් වැඩ කරනවද? බලන්න අර ලියලා තියෙන කුණුහරුප විතරක්.”
 
 ”ඒක ලොකු වරදක් නොවේ අංකල්. අද කාලේ මේ වගේ දේවල් වෙනවා.”
 
 ”ඔයාට පිස්සුද පුතා. බලන්න දැන් ඔයා දිහා. ඉඳුල් වතුර ගහලා. කොහොමද ඔයා ඔය ඇඳුම් ඇඳගෙන ඉන්නේ.”
 
 ”කමක් නැහැ යාළුවෝ විහිළුවට කළේ.”
 
 ”එහෙම හරියන්නේ නැහැ. මගේ දුවට මොනවා කරයිද දන්නේ නැහැ. එයාට නම් කිසිම දෙයක් කරන්න ඉඩ දෙන්නෙ නැහැ මම.”
 
 ”මොකුත් කරදරයක් කරන එකක් නැහැ. ඒ ගොල්ලො කියන දේ ඇහුවා නම් හරි. පොඩි රැග් එකක් දෙයි. එච්චරයි.”
 
 ”එහෙම බැහැ. ඔයා කියන්න ඒගොල්ලොන්ට කිසි දෙයක් කරන්න එපා කියලා. මේ වගේ හොඳ දවසක ඔය වගේ රැග් දෙනවද.”
 
 ”මට කියන්න බැහැ යාළුවන්ට.”
 
 wedding3”ඇයි තමන්ගේ බිරිඳ වෙනුවෙන් කියන්න බැරි. බලන්න දුව කොච්චර බය වෙලාද ඉන්නේ කියලා. එයාට මේ වගේ වැඩ පුරුදු නැහැ.”
 
 ”බයවෙන්න දෙයක් නැහැ. ඒගොල්ලො රැග් එකක් විතරයි දෙන්නේ.”
 
 ”මේවට කියන්නේ රැග් නොවෙයි. අශීලාචාර මිනිසුන්ගේ පහත් වැඩ කියලා. ඒක නිසා වහාම මේක නවත්තන්න.”
 
 ”මට නම් එක කරන්න බැහැ.”
 
 ”එතකොට ඔයාගේ බිරිඳ කියන දේ කරන්න බැරිද ඔයාට. නරක දෙයක් නොවෙයිනේ එයා කියන්නේ. ඇත්තටම එයා බය වෙලා ඉන්නේ. බලන්න අර බෝඞ්වල තියෙන නරක වචන.”
 
 ” ඕක නවත්තන්න කිව්වොත් යාළුවෝ ටික තරහ වෙනවා.”
 
 ”යාළුවන්වද බිරිඳ ද වටින්නේ.”
 
 ”බිරිඳත් ඕනා. යාළුවන්ව තරහ කරගෙනත් බැහැ.”
 
 ”යාළුවො තරහා කරගන්න දෙයක් නැහැ. පැහැදිලි කරලා දෙන්න. බිරිඳ මේ වැඬේට කැමති නැහැ කියලා.”
 
 ”ඒක කරන්න බැහැ මට.”
 
 ”ඒ කියන්නේ ඔයාට මගේ දුවව පරිස්සං කරන්න බැහැ කියන එකනේ.”
 
 ”එහෙම දෙයක් නැහැ. මම පරිස්සම් කර ගන්නම්.”
 
 ”පේනවා පරිස්සම් කරගන්න හැටි. බලන්න දුව කොච්චර බය වෙලාද ඉන්නේ. ඔයාට ගාණක්වත් නැහැ. කොන්ද පණ තියෙනවා නං ඔයා මේ යාළුවන්ට යන්න කියලා කියනවා. එහෙම කළේ නැහැනේ. ඒ කියන්නේ ඔයාට මගේ දුව පරිස්සම් කරගන්න බැහැ. ඒක නිසා මම දුවව ආපසු එක්කන් යනවා. සත්තු වගේ මිනිස්සු ඉන්න පරිසරයක මගේ දුවව තියලා යන්න බැහැ. මේ මිනිස්සු තව මොනවා කරයිද දන්නේ නෑ. දැක්කනෙ දැනටමත් කරන්න හදපු දේවල්. අඩු ගාණේ කතා කරන්නවත් දන්නෙ නැහැ. ඔයාට මගේ දුවව ඕන නම් අපේ ගෙදර එන්න. ඒක තමයි මගේ අවසාන තීරණය.”
 
 එලෙස පැවසූ මනමාලිගේ පියා දුව ද රැගෙන ආපසු තම නිවස වෙත පැමිණියේය.
 
 එම සිදුවීම වන අවස්ථාවේ මනමාලයාගෙ මිතුරන් කිසිවකුත් එම සිද්ධිය සමථයකට පත් කිරීමට ඉදිරිපත් වූයේ නැත. ඔවුන් එකහෙළාම පැවසුවේ අනිවාර්යයෙන්ම රැග් එක දිය යුතු බවයි. එසේ නොවුණහොත් කිසි කෙනෙක් එම විවාහ උත්සවයට සහභාගි නොවන බවත් පැවසීය. මනමාලිගේ පියා සහ මනමාලිය දිගින් දිගටම එසේ නොකරන ලෙස තම මිතුරන්ට පවසන ලෙස පැවසුවත් ඔහු එසේ සිදු කළේ නැත. අවසානයේ ඔහු ද ඇහුම්කන් දුන්නේ මිතුරන්ගෙ කීමටයි. එහි ප‍්‍රතිඵලය වූයේ තම බිරිඳ ද ඔහුට අහිමි වීමයි.
 
 මංගල උත්සවවලදී මෙවැනි තකතීරු, අශෝභන ක‍්‍රියා සිදු කරමින් මනමාලයා සහ මනමාලිය මියගිය අවස්ථා සහ ආබාධිත වූ අවස්ථා ද වාර්තා විය. එපමණක් නොව මෙවැනිම ආකාරයේ වෙන් වීම් ද සිදුවිය. විවාහ උත්සවවලදී දරාගැනීමට නොහැකි මෙවැනි ආකාරයේ රැග් දෙනු ලබන්නේ මොළය කළඳක්වත් නැති ඉතාමත් අශිෂ්ට සම්පන්න අශීලාචාර මිනිසුන්ය. එම නිසා ඔබත් එවැනි පුද්ගලයකු නොවන්න. මනමාලියට සහ මනමාලයාට නිදහසේ තම ජීවිතයේ සුන්දරම දවස ගතකිරීමට ඉඩ දෙන්න. ඕනම නම් නව යුවලට දරා ගැනීමට හැකි සුන්දර විහිළුවක් සිදු කරන්න.

– ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment