වෙඩි තියන්න නියෝග දුන්නේ එස්එස්පී

698

රඹුක්කන ප්‍රදේශයේ පසුගියදා පැවති විරෝධතාවය අතරතුර ඇති වූ නොසන්සුන්තාවය පාලනය කිරීම සඳහා වෙඩි තැබීමට නියෝග කර ඇත්තේ කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බී. කීර්තිරත්න මහතා බව කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයේදී ඊයේ (22 දා) අනාවරණය විය.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත් කරන ලද කමිටුව කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය වෙත විමර්ශන වාර්තාවක් ඉදිරිපත් කරමින් කියා සිටියේ එම නොසන්සුන්තාවය පාලනය කිරීමට පොලිස් කැරලි මර්දන කණ්ඩායම් ටී. – 56 ගිනි අවි 4ක් සහ ජීව උණ්ඩ 35ක් භාවිතා කර ඇති බවය.

ඉන්ධන ඉල්ලා සහ ඉන්ධන මිල ඉහළ යෑම සම්බන්ධයෙන් පසුගිය 19 වැනිදා රඹුක්කන ප්‍රදේශයේ පැවති විරෝධතාවය පාලනය කිරීමට පොලිසිය කළ වෙඩි තැබීමක් අතරතුර පුද්ගලයෙක් ජීවිතක්‍ෂයට පත් විය.

ඒ සම්බන්ධයෙන් වූ නඩුව ඊයේ (22 දා) තෙවැනි දිනටත් කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය හමුවේ කැඳවනු ලැබීය.

එහිදී සිදුවීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පොලිස්පතිවරයා විසින් පත් කරන ලද සීතාවකපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතාගේ මූලිකත්වයෙන් යුත් කමිටුව වැඩිදුර විමර්ශන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළේය.

අදාළ සිදුවීමේදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන්ගෙන් මෙන්ම සිවිල් වැසියන් 51 දෙනකුගෙන් සිදුවීම සම්බන්ධයෙන් මේ වන විට ප්‍රකාශ සටහන් කරගෙන ඇති බව විමර්ශන කණ්ඩායම අධිකරණයට දැන්වීය.

එසේම, නොසන්සුන්තාව ඇති වූ රඹුක්කන සමුපකාර ඉන්ධන පිරවුම්හල අසල සිසීටීවී දර්ශන ද පෙරේදා (21දා) අධිකරණයට භාරදුන් බව විමර්ශන නිලධාරීහු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඇති වූ නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා පොලිස් කැරලි මර්දන කණ්ඩායම් භාවිතර කර ඇත්තේ කෑගල්ල මූලස්ථාන පොලිසිය විසින් නිකුත් කළ අවි පමණක් බව ද ඔවුහු අධිකරණය හමුවේ කියා සිටියහ.

ඒ අනුව උණ්ඩ 30 බැගින් ඇතුළත් ටී. – 56 ගිනි අවි 4ක් සහ පිස්තෝල 3ක් කැරලි මර්දන කණ්ඩායම් වෙත නිකුත් කර තිබේ.

නොසන්සුන්තාව පාලනය කිරීම සඳහා ටී – 56 උණ්ඩ 35ක් භාවිතා කර ඇති බවත් පෙන්වා දුන් පොලිස් විමර්ශකයන් ඒවා නඩු භාණ්ඩ ලෙස ඊයේ අධිකරණයට ඉදිරිපත් කළේය.

විරෝධතාවය අතරතුර විරෝධතාකරුවන් එම ස්ථානයේ නවතා තිබූ බවුසරයට ගිනි තැබීමට උත්සාහ දරා ඇති බවත්, ඒ හේතුවෙන් නොසන්සුන්තාවය පාලනය කිරීමට අහසට වෙඩි තැබුවද විරෝධතාකරුවන් විසිර නොගිය බැවින් පැහැදිලි නියෝගයක් මත ටී 56 ගිනිඅවිවලින් දණහිසෙන් පහළට වෙඩි තබා ඇති බවත්, අධිකරණය හමුවේ සිද්ධිමය කරුණු දක්වමින් විමර්ශකයෝ අධිකරණයට පැවසූහ.

ඒ අනුව අදාළ සිදුවීම සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ සාක්‍ෂි ලබාදීම සඳහා වෙඩි තැබීමට නියෝග දුන් කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ වෙඩි තැබීම සිදුකළ අය ඇතුළු තවත් පොලිස් නිලධාරීන් කීපදෙනෙකුගේ නම් ඇතුළත් ලැයිස්තුවක් විමර්ශකයන් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මියගිය චමින්ද ලක්‍ෂාන් නමැත්තාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා තමන් වෙත ලැබී ඇති බවත්, ගිනිඅවියකින් සිදු වූ වෙඩි තැබීමක් හේතුවෙන් වූ අධික රුධිර වහනය මරණයට හේතු වී ඇති බවත් පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාවේ දැක්වෙන බවත් විමර්ශකයෝ පැවසූහ.

නඩුව යළි මේ මස 27 වැනිදා කැඳවීමට නියමිතය.

වසන්න සමරවර්ධන, බුලත්කොහුපිටිය සහ
ඇම්. බී. පහලවත්ත – කෑගල්ල

advertistmentadvertistment
advertistmentadvertistment