වෙඩි තියා ගත්තා කියූ එස්.අයිගේ මරණය සැකයි – බිරිඳ ඇතුළු ඥාතීහු උසාවියට කියති

77

පොලිස් පොතේ සටහන් මියගිය අයගේ නොවෙයි

පසුගිය දෙසැම්බර් 6 වැනිදා කොළඹ කටුනායක අධිවේගී මාර්ගයේ පෑලියගොඩ පිවිසුම් දොරටුවේ රාජකාරි කරමින් සිටියදී රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන මියගියේ යැයි කියන උප පොලිස් පරික්ෂකවරයාගේ මරණය සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සමීප ඥාතීන්ට සාධාරණ සැකයක් මතු වී ඇතැයි අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා ඊයේ (12 දා) පස්වරුවේ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය හමුවේදී ප්‍රකාශ කළේය.

ගිනි අවි රැගත් ජිප් රථයක් පැමිණෙන බවට 118 හදිසි ඇමතුම් අංශයෙන් ලැබුණ තොරතුරක් අනුව පෑලියගොඩ අධිවේගී මාර්ගයේ අන්තර් හුවමාරුවේදී එම ජිප් රථය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම මරණය සිදුවී ඇති බවත් මියගිය අය එකී ප්‍රභු ජිප් රථය පරීක්ෂා කිරීමට අදාළව තබා ඇතැයි කියන සටහනේ අත් අකුරු ඔහුගේ අත්අකුරු නොවන බව පෙනී යෑම ඇතුළු සුවිශේෂී කරුණු කිහිපයක් නිසා එම සැකය මතු වී ඇති බවත් නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා අධිකරණයට පැවසීය.

එම ජිප් රථය පැමිණීමෙන් පසුව තමා ඒ බව පෑලියගොඩ පොලිසියේ වැඩබලන ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට දැන්වූ බවත් ඒ අනුව එම නිලධාරියා අදාළ ස්ථානයට පැමිණ මෙම වාහනය පරීක්ෂා නොකරන ලෙස පොලිස් කොට්ඨාශ අධ්‍යක්ෂවරයාගෙන් නියෝගයක් ඇති බව මියගිය නිලධාරියාට කියා ඇති බවත් ඔහු එම විස්තර ඔහුගේ බිරිඳට පවසා ඇති බවත් නීතිඥවරයා අධිකරණයට පැවසීය.

එසේ නමුත් තමා එම රථය පරීක්ෂා කර බලා පිටත් කළ බවට වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් තොරතුරු සටහන් පොතේ සටහනක් තබා ඇති බව ද මරණකරු සිය බිරිඳට පවසා ඇති බැවින් එම අත්අකුරු සම්බන්ධයෙන් රජයේ අත්අකුරු පරීක්ෂකවරයා වෙත යොමු කර එකී අත්අකුරු හා එම සටහන් පොතේ වර්තමාන ස්වභාවය පිළිබඳව විශේෂඥ වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙසට ද නීතිඥ අමිල

එගොඩමහවත්ත මහතා අතිරේක මහෙස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය.

එකී ජිප් රථය පෑලියගොඩ අධිවේගී මාර්ගයේ නැවැත්වීමෙන් පසුව ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් යැයි සැක කළ හැකි නිලධාරීන් දෙදෙනකු ජිප් රථයෙන් බැස එන අයුරු සහ එහි එක්තරා ප්‍රභූ කාන්තාවක් සිටින බවට ඉදිරිපත් වූ සී. සී. ටී. වී. දර්ශන අනුව පැහැදිලි වන නමුත් මරණකරු එම ජීප් රථය පරීක්ෂා කරන බවක් එමගින් පෙන්නුම් නොකරන බවත් අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට පැවසීය. එම සිද්ධිය මුල් කරගෙන ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු පිරිසකගෙන් දුරකථන ඇමතුම් විශාල ප්‍රමාණයක් මරණකරුට, වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ නිලධාරියාට ලැබී ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් එම වකවානුවේ එම නිලධාරීන් දෙදෙනාගේ හා ජීප් රථයේ ගමන් කර ඇති ප්‍රභූ කාන්තාවගේ දුරකථනයට ලැබී ඇති ඇමතුම් පිළිබඳ වාර්තා කැඳවන ලෙසට ද නීතිඥ අමිල එගොඩමහවත්ත මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම පොලිස් නිලධාරියා රාජකාරි නිමකර විවේකය වාර්තා කර සිටියදී දෙසැම්බර් 6 වැනිදා ඔහුගේ රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කර ගත් බව පැවසුවත් මෘත දේහය වැටී තිබූ ආකාරය හා එම ගිනි අවිය වැටී තිබූ ස්ථානය මෙන්ම උණ්ඩය ගමන් කර ඇති ආකාරයත් එම මරණය සිදුවූ අවස්ථාවේදී යම්කිසි නිලධාරියකු විසින් පටිගත කර ඇති වීඩියෝ දර්ශන අනුවත් බලවත් සැකයක් පවතින බවත් නීතිඥවරයා අධිකරණයට පැවසීය. එබැවින් එම මරණය සිදුවන අවස්ථාවේදී එම ස්ථානයේ රාජකාරි කළ නිලධාරීන්ගේ තොරතුරු වීඩියෝ දර්ශන ද අධිකරණයට කැඳවන ලෙසත් නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

අගතියට පත් පාර්ශ්වයේ නීතිඥවරයා කළ සියලු කරුණු සම්බන්ධයෙන් විමර්ශන නිලධාරීන් මේ වනවිටත් කටයුතු කර ඇති බව පෑලියගොඩ පොලිසිය වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයන්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. විමර්ශනවල ප්‍රගතිය හා වැඩිදුර මහෙස්ත්‍රාත් පරීක්ෂණ සාක්ෂි කැඳවීම ලබන මාර්තු 15 වැනිදා දක්වා කල්තැබීමට අතිරේක මහෙස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එකී ප්‍රභූ වාහනය සම්බන්ධයෙන් ලැබී තිබූ 118 හදිසි දුරකථන ඇමතුමට අදාළව මීගමුව කොට්ඨාශ කාර්යාලය විසින් 2023/12/06 වන දින ප්‍රකාශ ලබා ගැනීමට මරණකරු කැඳවා තිබියදී එම වෙඩි තබා ගැනීම සිදු වී ඇතැයි ද අධිකරණය හමුවේදී අනාවරණය විය.

වසර 34 ක සේවයකින් පසුව විශ්‍රාම යෑමට මාස හයක් වැනි සුළු කාලයක් තිබියදී මෙම මරණය සිදු වී ඇතැයි ද අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරයා අධිකරණයට පැවසීය.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment