වෙඩි ශබ්ද ඇසුණෙත් නෑ සාද දන්නෙත් නෑ

159

මන්ත්‍රීවරුන් වෙනුවෙන් වෙන් කර ඇති නුවරඑළිය සෙන්පති මන්දිරයේ පසුගියදා තමන් සිටියදී රාත්‍රී වෙඩි ශබ්දයක් හෝ සාදයක ශබ්දයක් තමාට නම් ඇසුණේ නැතැයි මන්ත්‍රී නිමල් පියතිස්ස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (09 දා) පැවසීය.

එහෙත් එවැනි සිද්ධියක් වූ බවට කියමින් ප්‍රබන්ධයක් ගෙතූ ස්ථාන භාරකරු යැයි කියනා පුද්ගලයා මෙන්ම එම ප්‍රවෘත්තිය ජාතික පුවත්පතක ලියූ මාධ්‍යවේදියා ද වරප්‍රසාද කමිටුව හමුවට පමුණුවන ලෙස ඉල්ලා සිටින්නේ යැයි ද මන්ත්‍රීවරයා ඊයේ වරප්‍රසාද ප්‍රශ්නයක් නගමින් පැවසීය.

එහිදී නිමල් පියතිස්ස මහතා මෙසේද කීය.

පෙබරවාරි 07දා එත්කරා ජාතික පුවත්පතක මුල් පිටුවේ ‘නුවරඑළිය සෙන්පති මන්දිරයේ මන්ත්‍රී සාදයේ වෙඩි ශබ්දයක්’ යනුවෙන් පුවතක් පළවුණා. මම එදින රාත්‍රී 08ට පමණ සෙන්පති මැඳුරට ගිය බව ඇත්ත. නමුත් ඇතුළට ගියාට පස්සේ මම එළියටවත් ගියේ නෑ. එළියේ වෙන්නේ මොකක්ද කියලාත් මම දන්නේ නෑ. මම රාත්‍රී 10ට පමණ රාත්‍රී ආහාරය අරගෙන නැවතත් මගේ කාමරයට ගියා. මම පසුදා රැස්වීමකට අදාළ ලියකියවිලි වගයක් අධ්‍යනය කරමින් රාත්‍රී 12.30 වනතුරු පමණ අවදියෙන් සිටියා. ඒ වනතෙක් කිසිදු වෙඩි ශබ්දයක් ඇහුණෙත් නෑ. කිසිම සාදයක ශබ්දයක් මට ඇහුණෙත් නෑ. එහෙම සාදයක් එළියේ පැවැත්වුණාද කියලා මම දන්නෙත් නෑ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකු සහ තවත් ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුත් සෙන්පති මැඳුරේ සාදයක් පැවැත්වුවා කියලා කියනවා. මට එවැනි මන්ත්‍රීවරයෙක් හමුවුණෙත් නෑ. මම මේ ප්‍රවෘත්තිය ගැන පසුව සෙන්පති මැඳුරේ සේවකයකුගෙනුත් ඇසුවා. ඒ අය කිව්වෙත් ඒ අයටවත් එවැනි ශබ්දයක් ඇහුණේ නෑ කියලායි. මෙවැනි සිද්ධියකට මගේ නම ගෑවුණු එක ගැනත් ඒ අය කනගාටු වන බව මට දැන්වුවා. මේ පැමිණිල්ල කර ඇත්තේ එදා රාජකාරි සේවයේ නොසිටි සෙන්පති මැඳුරේ භාරකරු යැයි කියා ගන්නා පුද්ගලයෙක්. ඔහු තමයි මේ පොලිසියට පැමිණිල්ල කර තිබෙන්නේ. මේ පැමිණිල්ල ප්‍රබන්ධයක්. මේ පැමිණිල්ල නිසා මා දැඩි අපහසුතාවකට පත්වුණා. මා කළහ කරන, සාදවලට නොයන මන්ත්‍රීවරයෙක් බව කවුරුත් දන්නවා. ඒත් මාගේ කීර්තිනාමයට හානි වන විදිහට තමයි මේ පැමිණිල්ල කර තිබෙන්නේ. ඒ නිසා මේ ගැන වරප්‍රසාද කමිටුවට කැඳවා ඒ ගැන පරීක්ෂණයක් කරන්න කියලා මම ඉල්ලනවා. මේ වගේ අපරාධයක් කරපු අයට එරෙහිව උපරිම විනය ක්‍රියාමාර්ග ගන්න. එවැනි ප්‍රබන්ධ නිර්මාණය කරන අය සේවයෙන් ඉවත් කරන්න කියලා ඉල්ලනවා.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment