වෙනත් විනිසුරු මඬුල්ලක් හමුවේ ලයිට් කපන්නෑ කියූ ප්‍රතිඥාව අස්කර ගනී

288

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් විදුලිය විසන්ධි කිරීමට එරෙහිව ගොනුකර ඇති නඩුව සලකා බැලීම අවසන් වන තුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා (2 දා) ලබාදුන් ප්‍රතිඥාව ඉවත් කරගන්නා බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (3 දා) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.

එම නඩුව ඊයේ ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ඒ බව අධිකරණයට දනුම් දුන්නේය. එකී නඩුව සලකා බැලීම අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීමක් සිදුනොකරන බවට පෙරදින වගඋත්තරකාර ලංකා විදුලිබල මණ්ඩලය ලබාදුන් ප්‍රතිඥාව ඒකමතිකව ඉවත්කර ගැනීම සම්බන්ධයෙන් දැඩි විරුද්ධත්වයක් දැක්වූ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා එසේ නම් අපොස උසස් පෙළ භාගය අවසන් වනතුරු විසන්ධි කිරීම වළක්වන අතුරු තහනම් නියෝගයක් නිකුත්කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප කළ විනිසුරු මඬුල්ල නඩුව සලකා බැලීම ලබන 7 වැනිදා පස්වරු 1.30 දක්වා කල් තැබීමට නියෝග කළේය.

රටේ ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය වනවිට ඒවා ආරක්‍ෂා කිරීමේ වගකීම පැවැරී ඇති ස්වාධීන කොමිෂන් සභාවක් වන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එය වෙත පවරාදී ඇති බලතල හා වගකීම අනුව මෙවර අපොස උසස් පෙළ විභාගය අවසන් වන තුරු විදුලිය විසන්ධි නොකරන ලෙසට ලබාදුන් නිර්දේශ හා ඇති කරගත් එකඟතා උල්ලංඝනය කරමින් දිගින් දිගටම විදුලිය කප්පාදු සිදුකිරීම ඉතා බරපතළ වරදක් වන බැවින් ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට දඬුවම් නොකිරීමට හේතු දක්වන ලෙස දන්වා නොතිසි නිකුත්කරන ලෙසත් ඔහුට චෝදනා පත්‍රයක් කෙටුම්පත් කිරීමට නියෝගයක් කරන ලෙසත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මෙම අවස්ථාවේදී අධිකරණය ප්‍රධාන වශයෙන් සලකා බැලිය යුත්තේ කුමන වගඋත්තරකරුට අධිකරණයට අපහාස කිරීම සාධාරණ දැයි යන කරුණට වඩා විදුලි කප්පාදුව නිසා අසාධාරණයට ලක්වන අහිංසක සිසු දරු දැරියන් කෙරෙහි වන්නේ යැයිද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා අධිකරණයට පැවසීය. එබැවින් එම නඩුව විභාග කිරීම සඳහා පූර්ණ විනිසුරු මඬුල්ලක් පත්කරන ලෙසටද උපුල් ජයසූරිය මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. විටෙන් විට විදුලිය විසන්ධි කිරීම සම්බන්ධයෙන් පැවැති සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාටද පැමිණෙන ලෙසට ලිඛිතව දැනුම්දී තිබියදීත් ඔහු නොපැමිණ ඔහු වෙනුවෙන් තීරණ ගැනීමේ බලය පැවැරූ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් තිදෙනකු යොමුකර තිබූ බවත් එහිදී ඇති කරගත් එකඟතාවයට එම නිලධාරීන් තිදෙනා ද අත්සන් කර ඇති බවත් ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා විනිසුරු මඬුල්ලට පැවසීය. එබැවින් එකී එකඟතාවය උල්ලංඝනය කිරීමේ වගකීම විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා භාරගත යුතු බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට පැවසීය. පෙරකී සාකච්ඡාවට ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයා සහභාගි වී නොතිබියදීත් ඔහුට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ නඩුව ඉදිරිට පවත්වාගෙන යා හැකි දැයි විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා ලෙස කටයුතු කළ විනිසුරු ගාමිණී අමරසේකර මහතා විමසූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය මහතා ඒ බව පැවසීය.

ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ලබාදුන් නිර්දේශ සිය සේවාදයකයා උල්ලංඝනය කළ බවට සහතිකයක් ඉදිරිපත් කර නොමැති බැවින් ඔහුට එරෙහි නෛසිසයි ආඥාවක් නිකුත් කරන්නේ කෙලෙස දැයි විමසූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපතිවරයාව එම චෝදනාවෙන් මුදාහරින ලෙසට අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

මහජන උපයෝගීතා කොමිෂන් සභාව වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නිරන්ජන් අරුල්ප්‍රගාසම්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන යන මහත්වරු ද එහිදී දීර්ඝ ලෙස කරුණු දැක් වූහ.

නීතිඥ සනත් විජේවර්ධන මහතාගේ උපදෙස් මත ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා, ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා යන මහත්වරු ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටියහ.

එම නඩුව පෙරේදා (2 දා) ප්‍රීති පද්මන් සූර්සේන, යසන්ත කෝදාගොඩ සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවූ අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉහළහේවා මහතා නඩුව සලකා බැලීම අවසන් වනතුරු විදුලිය විසන්ධි කිරීමක් සිදු නොකරන බවට ප්‍රතිඥාවක් ලබාදී තිබිණි.

ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment