වෙනස් කළත් බද්ද එහෙමමයි

123

පහත වැටී ඇති බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජය පසුගිය කාලයේ බොහෝ බදු වෙනස්කම් සිදු කළේය. මේ නිසා පොදුවේ සියලුම මහජනයා වෙත මේ වන විට වැඩි බදු බරක් පැටවී ඇත. බද්දක් පැනවීමේ දී පැවතිය යුතු මූලිකම මූලධර්මයක් වන්නේ එය සාධාරණ විය යුතු බවයි. එනම් එය බදු ගෙවන්නාට ගෙවිය හැකි මට්ටමේ එකක් විය යුතුය. එහෙත් රජයේ බදු ප්‍රතිපත්තිය අසාධාරණ බවට චෝදනා මතුව ඇත. එනම් විශේෂයෙන් උපයන විට ගෙවීමේ බද්ද ඇතුළු රජයේ බදු ප්‍රතිසංස්කරණවලට බොහෝ පාර්ශ්වයන්ගේ විරෝධය පළව තිබේ. මෙය වඩාත්ම මතුව ඇත්තේ රාජ්‍ය සහ පෞද්ගලික නිලධාරීන්ගේ උපයන විට ගෙවීම් බද්ද මූල්‍යමය නොවන නොයෙකුත් දීමනා සඳහා ද අය කිරීම සම්බන්ධයෙනි. එහිදී ඇතැම් නිලධාරීන්ගේ වැටුපෙන් දැරීමට අපහසු පරිදි විශාල බදු මුදලක් කැපෙන තත්ත්වයක් උදා වී ඇත. මේ නිසා ඉකුත් පෙබරවාරි 08 වැනිදා මේ සම්බන්ධයෙන් විවිධ වෘත්තීය සමිති රැසක් දැවැන්ත විරෝධතා දක්වන ලදී. එසේම එදින එක්දින වෘත්තීය ක්‍රියාමාර්ග ද පැවැත්විණි. එදිනම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ද ඉදිරිපත් කළේය. එහිදී ජනාධිපතිවරයා බදු ආදායම් වැඩි කරගැනීමේ අවශ්‍යතාව නැවතත් අවධාරණය කළේය.

ජනාධිපතිවරයා නව වන පාර්ලිමේන්තුවේ හතර වැනි සැසිවාරය විවෘත කරමින් සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරමින් පහත සඳහන් කරුණු ඉදිරිපත් කර ඇත.

● අනතුරුදායක වැල් පාලමේ ශ්‍රී ලංකා මාතාව සෑහෙන දුරක් ආරක්ෂිතව රැගෙන එන්නට අපට පුළුවන් වෙලා තිබෙනවා. අප ඒ ආවේ ලේසි පහසු ගමනක් නෙවෙයි. හැබැයි ගමන තවම ඉවර නෑ.

● බිඳ වැටීමට ඔන්න මෙන්න කියා තිබුණු රාජ්‍ය මූල්‍ය පද්ධතිය සුරක්ෂිත කරන්න කැප වුණා. රජයේ වියදම් පාලනය කළා. බදු ආදායම් වැඩි කර ගැනීමට පියවර ගත්තා.

● පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ව්‍යාපාර, සමාගම් සහ පුද්ගලයන් ලක්ෂ 16ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර් වෙද්දි බදු ගෙවන ප්‍රමාණය ලක්ෂ 5ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමටම පහළ වැටුණා.

● මේ නිසා රටේ ආර්ථිකයට සිදු වන විනාශය වටහා ගත් බොහෝ ආයතන සහ සංවිධාන, යළිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයටම යන ලෙස ඉල්ලා සිටියා.

● මතක තබා ගන්න. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටී ඇති අර්බුදකාරී තත්ත්වයෙන් යළි ගොඩනංවන්නයි. ඔව්. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනකුට අවබෝධ වේවි.

● බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව තවත් සමහරු කියනවා. අප මේ බදු පැනවූයේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනංවන්න බැහැ. අකැමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි.

● උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ.

● වර්තමානයේ අපේ රටේ වැඩිපුර බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සෘජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසා සියලු ශ්‍රී ලාංකිකයින් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණක් ගෙවනවා. බදු ගෙවීමට අවශ්‍යතාවක් නැති විශාල ප්‍රමාණයක් නොදැනීම බදු ගෙවනවා.

● 2021 දී අපේ රටේ සෘජු බදු සියයට 21 යි. වක්‍ර බදු සියයට 79 යි. ඒ නිසා මේ බදු විෂමතාව නිවැරදි කරගැනීමට අප කටයුතු කළ යුතුයි. එවිට පොදුවේ සමස්ත ජනතාව වෙත පැටවී ඇති බදු බර අඩු වෙනවා.

ජනාධිපතිවරයාගේ මේ කතාවෙන් පැහැදිලි වන්නේ අප තවමත් ඔහු සඳහන් කරන අනතුරුදායක වැල් පාලමේ ගමන් කරමින් සිටින බවයි. වක්‍ර බදු සහ සෘජු අතර පවතින විශාල පරතරය ද අවම කර ගැනීමට කටයුතු කළ යුතුව ඇත. මෙය දීර්ඝ කාලයක් තිස්සේ අප කතා කරමින් සිටින කරුණක් වුවත් එහි තවමත් ප්‍රමාණවත් වෙනසක් සිදුව නැත. මේ නිසා ඒ දිශාවට ද බදු ප්‍රතිපත්තිය මගින් ගමන් කිරීමට සිදු වේ. භාණ්ඩ හා සේවා මත වක්‍ර බදු වැඩි වැඩියෙන් පනවන විට ඒ බදු බර පැටවෙන්නේ අතිමහත් බහුතර සාමාන්‍ය ජනයා මතයි. ඒ නිසා බදු ගෙවීමට හැකියාව සහ ශක්තිය ඇති අයගෙන් සෘජු බදු වැඩියෙන් එකතු කර ගනිමින් ක්‍රමයෙන් මේ බදු වර්ග අතර පරතරය අවම කර
ගන්නා දිශාවට ගමන් කිරීමට රජයට සිදුවනු ඇත. සමස්ත ජනයා මත පැටවෙන බදු බර අඩු වනු ඇත්තේ එවිටය. ජනාධිපතිවරයා කියන පරිදිම සියලු ශ්‍රී ලාංකිකයන් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණක් ගෙවීමට සිදුව ඇත්තේ සෘජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසාය. එහෙත් ඒ සම්පූර්ණ වෙනස එකවර කිරීමට අපහසු නිසා මේ ගමන යෑමට සිදුවනු ඇත්තේ ක්‍රමානුකූලවය. පියවරින් පියවර වක්‍ර බදු සහ ඍජු බදු අතර පරතරය අවම වන ලෙසය.

එහෙත් ඇතැම් නිලධාරීන් පවසන්නේ මේ සංශෝධන මගින් සැලකිය යුතු මට්ටමේ වරප්‍රසාද ලබන ඉහළම මට්ටමේ නිලධාරීන්ට හැර පොදුවේ බහුතර නිලධාරී ප්‍රජාවට සහන සැලසී නැති බවයි. මෙසේ සිදුකරන ලද බදු වෙනස්කම්වල ප්‍රමාණවත්භාවය ගැන ප්‍රශ්න තිබිය හැකිය. කෙසේ හෝ රජය යම් බදු වෙනස්කමක් සිදුකර තිබේ. මේ අනුව නිවාස, වාහන, දුරකථන සහ සහනදායී ණය පොලී යන කරුණුවලට අදාළව මේ වෙනස්කම් සිදුකර තිබේ. අදාළ සංශෝධන සිදුකර ඇති ආකාරය මෙසේය.

නිවාස සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස මෙසේය. දැනට රුපියල් ලක්ෂ දෙකට අඩු ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් 20,000ක් හෝ මුළු වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සහ රුපියල් ලක්ෂ දෙකට වඩා ආදායම් ලබා ගන්නා පුද්ගලයන්ගෙන් රුපියල් 40,000ක් හෝ වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සැලකූ ප්‍රතිලාභය මූලික වැටුපෙන් සියයට 12.5 ක් ලෙස සංශෝධනය කර තිබේ.

ගෘහ භාණ්ඩ වෙනුවෙන් වූ රුපියල් 5,000 හෝ වැටුපෙන් සියයට 2.5 ක ප්‍රතිලාභය චක්‍රලේඛය මගින් ඉවත් කර ඇත.

වාහන සම්බන්ධයෙන් සිදුව ඇති වෙනස මෙසේය. එන්ජින් ධාරිතාව ඝන සෙන්ටිමීටර් 1800ට අඩු සහ ඝන සෙන්ටිමීටර් 1800ට වැඩි ලෙස පිළිවෙළින් රුපියල් 50,000ක් සහ 75,000ක් ලෙස සැලකූ ප්‍රතිලාභය වාහනය සඳහා රුපියල් 20,000ක්, රියැදුරු සඳහා රුපියල් 10,000ක් සහ ඉන්ධන සඳහා රුපියල් 20,000ක් ලෙස වෙනස් කර ඇත. ඉන්ධන දීමනාව සියයට 100 ක් ලෙස බද්දට යටත් වූ අතර එය සියයට 25 ක් දක්වා අඩු කර තිබේ.

මීට අමතරව ක්ෂේත්‍ර රාජකාරී සඳහා ලබා දී ඇති වාහන පෞද්ගලික භාවිතයේ දී සීමා රහිතව කිලෝ මීටරයකට රුපියල් 25ක් ලෙස සලකන ලද ප්‍රතිලාභය කිලෝමීටරයකට රුපියල් 25ක් හෝ රියැදුරු සහිතව රුපියල් 20,000ක් සහ රියැදුරු සහිතව රුපියල් 30,000ක් යන දෙකෙන් අඩුම ප්‍රමාණය ලෙස සංශෝධනය කර ඇත.

දුරකථන සම්බන්ධයෙන් වී ඇත්තේ සියයට 100 ක් බද්දට යටත් වූ දුරකතන දීමනාවෙන් සියයට 25 ක් පමණක් ප්‍රතිලාභ ලෙස නව සංශෝධනය මගින් සලකනු ලැබීමයි.

එසේම සේවා යෝජකයන් විසින් සහන පොලී මත දී ඇති ණය සඳහා වන පොලී ප්‍රතිලාභය නව සංශෝධනයෙන් බදු සඳහා සලකා නොබලයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නව චක්‍රලේඛයෙන් සිදුව ඇති වෙනස්කම් මේවාය. මේ සහනවල ප්‍රමාණාත්මකභාවය සම්බන්ධයෙන් ප්‍රශ්න තිබිය හැකිය. මේ පිළිබඳ දැනටමත් නොයෙක් අදහස් පළව තිබේ. ඒ පිළිබඳ ප්‍රතිචාර ඉදිරියේ දී තවදුරටත් දැකබලා ගත හැකිය. බදු සංශෝධන සිදු කළ යුතු ආකාරය සම්බන්ධයෙන් නොයෙකුත් විකල්ප අදහස් තිබිය හැකිය. සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ද මේ සම්බන්ධයෙන් අදහස් දක්වා තිබිණි. කෙසේ වෙතත් සියලු දෙනා සතුටු කළ හැකි ආකාරයේ බදු වෙනස්කම් සිදු කළ හැකිවනු ඇතැයි ද අපට සිතිය නොහැකිය. එසේම බදු ගෙවීමට බදු ගෙවන්නාට තිබෙන ශක්තිය නොසලකා අධික බදු පැනවීමට ගියහොත් එම පාර්ශ්වයන් අසහනයට සහ පීඩාවට පත් වීම ද සිදු වේ. මේ නිසා රජයක් බදු අය කළ යුතු වන්නේ මල නොතලා රොන් ගන්නා බඹරෙකු පරිද්දෙනි. අනිත් අතට මෙය ආර්ථිකය සංකෝචනය වන, ආර්ථික කටයුතු අඩුවෙන කාලයක් බව ද අපට අමතක කළ නොහැකිය. ආර්ථික ක්‍රියාකාරිත්වය වැඩි නම් ඒ මත වැඩි බදු ආදායමක් උපයා ගැනීමට ද රජයට හැකි වේ. එහෙත් ආර්ථික කටයුතු හැකිලෙන විට රජයකට අයකරගත හැකි බදු ආදායම ද අඩු වේ. ගිය වසරේ (2022) සියයට අටකින් පමණ පසුබෑමට ලක් වූ ආර්ථිකය මේ වසරේ (2023 ) දී සියයට් 3.5 කින් හෝ හතරකින් පමණ පසුබෑමට ලක්වෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙවන් තත්ත්වයක දී රජයේ බදු ආදායම් ඉලක්ක ඒ ආකාරයෙන්ම සපුරාගත හැකි වනු ඇති ද යන ප්‍රශ්නය ද තිබේ.

රජයේ බදු ප්‍රතිපත්තිය ගැන විවිධ මතවාද තිබේ. විවිධ අය සතුව හොඳ විකල්ප යෝජනා ද තිබිය හැකිය. ඒවා ද ඉදිරිපත් විය යුතු අතර රජය ඒ ගැන ද සැලකිල්ලක් දක්වා කළ යුතු සුදුසු සහ ප්‍රශස්ත වෙනස්කම් කිරීමට නම්‍යශීලී විය යුතු වේ.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ලංකා වාණිජ මණ්ඩලයේ පැවති සාකච්ඡාවලදී සමගි ජන බලවේගයත්, ජාතික ජන බලවේගයත් වත්මන් බදු ප්‍රතිපත්තිය වෙනුවට විකල්පයක් ඉදිරිපත් නොකළ බව එහි උප සභාපති දුමින්ද හුලංගමුව මහතා පවසා තිබේ. අද දෙරණ ‘බිග් ෆෝකස්‘ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කර තිබිණි. ඔහු එහිදී මෙසේ පවසා තිබිණි.

“වාණිජ මණ්ඩලය පසුගිය මාස 8 ඇතුළත තිබුණු සාකච්ඡා මගේ අවුරුදු 20ක කාලය තුළ වාණිජ මණ්ඩලයේ තිබිලා නැහැ. වැඩියෙන්ම සාකච්ඡා කරලා තියෙන්නේ ජාතික ජනබලවේගයයි සහ සමගි ජනබලවේගයයි. මට පේන්නේ ඒ කතා කරන කාගෙවත් අභ්‍යන්තරයේ වෙනසක් නැහැ. ඒ සියලු දෙනාම කියන්නේ මේකට තියෙන්නේ එක මාර්ගයයි. ඒ මාර්ගය මේ දැන් අපි යන මාර්ගය. මොකද අපි ඒ අයගෙන් අහපුවාමත්… මොකක්ද වෙන මාර්ගය කියලා…මට ඒ අයගෙන් සතුටුදායක ආරංචියක් ලැබිලා නැහැ. ඒ කියන්නේ ඔක්කොම කියන්නේ මේක තමයි තියෙන මාර්ගය… කියලයි මට පේන්නේ. නැත්තම් ඒ අය කියන්න ඕනේ මොකක්ද මාර්ගය කියලා.”

මේ අතර අයිඑම්එෆ් මූල්‍ය පහසුකම සම්බන්ධයෙන් අප තවමත් අපේක්ෂාවෙන් සිටිමු. එහෙත් ඒ සඳහා අපට ප්‍රමාණවත් මූල්‍ය සහතික වීම් අදාළ ණය හිමි පාර්ශ්වයන්ගෙන් ලැබිය යුතු වේ. මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රකාශකයෙකු අදහස් දක්වා තිබේ. එනම් ණය සහන සම්බන්ධයෙන් ද්විපාර්ශ්වික ණය හිමියන් ලබාදෙන එකඟතාවන් මත ශ්‍රී ලංකාවට ලබාදීමට නියමිත ඩොලර් බිලියන 2.9ක විස්තීරණ මූල්‍ය පහසුකමක් පිළිබඳ තීරණය රඳා පවතින බවයි. මේ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසන්නේ අපගේ මූල්‍ය පහසුකම අනුමත කර ගැනීම සඳහා අයිඑම්එෆ් විධායක සභාව හමුවට යෑමට නම් අපට ප්‍රමාණවත් මූල්‍ය සහතික වීම් අවශ්‍ය වන බවයි. ණය හිමියන්ගෙන් අදාළ එකඟතාවන් ලැබුණු විගස විස්තීරණ මූල්‍ය පහසුකම පිළිබඳ කාර්යමණ්ඩල එකඟතාව අනුමැතිය සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලයට ඉදිරිපත් කරන බව එම අරමුදලේ නිලධාරියා පවසා ඇත. එමගින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍යව පවතින බාහිර මූල්‍ය පහසුකම් ලබාගත හැකිවන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එම නිලධාරියා පවසා ඇත. එසේ නම් ඒ සඳහා චීනයෙන් ප්‍රමාණවත් මූල්‍ය සහතික වීමක් අපට තවදුරටත් අවශ්‍ය වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment