වෙන්නප්පු පොලිසියේ දෙදෙනා ජීවිත පරදුවට තබා ගිං ඔයේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගනිති

1096

පොලිස් නිලධාරීන්ට වැඳ තරුණිය පිටවෙයි…
පොලිස් නිලධාරියකුගේ ජංගම දුරකථනයටත් වතුර ගිහින්…

සිය ජීවිතය පරදුවට තබා දියේ ගිලෙමින් සිටි තරුණියක බේරා ගැනීමට වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ පොලිස් නිලධාරීහු දෙදෙනෙක් සමත් වූහ.

මෙසේ දියේ ගිලෙමින් සිට ඇත්තේ 22 හැවිරිදි බොරලැස්ස ප්‍රදේශයේ පදිංචි තරුණියකි.

ඊයේ (16 දා) දින පෙරවරු 11.00ට පමණ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ හනතොටුපොළ මංසන්ධියේ සිට බොරලැස්ස ප්‍රදේශයට ගමන් ගන්නා අතුරු මාර්ගයේ ගිං ඔය හරහා ඉදිකර ඇති පාලම අසල මෙම තරුණිය ගිලෙමින් සිට තිබේ.

වෙන්නප්පුව පොලිසියේ රථවාහන අංශයේ සේවයේ නියුතු කොස්තාපල්වරුන් වන (77156) ප්‍රසාද් කුමාර සහ (68337) ජීවන් ප්‍රනාන්දු යන අය වෙන්නප්පුව පොලිසියේ සිට රාජකාරි කටයුත්තක් සඳහා බොරලැස්ස ප්‍රදේශයට ගමන් කරන අතරතුර ගිං ඔය පාලම අසල මෙම තරුණිය ගිලෙමින් සිටින අයුරු දැක තිබේ.

වෙන්නප්පු පොලිසියේ දෙදෙනා ජීවිත පරදුවට තබා ගිං ඔයේ ගිලෙමින් සිටි තරුණිය බේරා ගනිති

අනතුරුව එකවරම යතුරුපැදිය නවතා (68337) ජීවන් ප්‍රනාන්දු යන කොස්තාපල්වරයා දියට පැන ඇයගේ කොණ්ඩෙන් අල්ලා ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදී 1990 ගිලන් රථ සේවයට දන්වා ඇය මාරවිල මහ රෝහල වෙත රැගෙන යෑමට කටයුතු කර ඇත.

ඇය සිහිමුර්ජා වී සිටි තිබේ. අනතුරුව මාර්ගයේ ගමන් ගන්නා කාන්තාවන් කීපදෙනකුට කතා කර ඇත. එහෙත් ඔවුන් එම ස්ථානයට පැමිණීම ප්‍රතික්ෂේප කළ හෙයින් පෙවී තිබුණු ජලය ඉවත් කර ප්‍රථමාධාර දීමට කටයුතු කළ බව ජීවන් ප්‍රනාන්දු කොස්තාපල්වරයා පැවසීය.

මාරවිල මූලික රෝහලේ පැය කීපයක් ප්‍රතිකාර ලැබීමෙන් ලැබූ පසු ඇයගේ තත්ත්වය බරපතළ නොවන හෙයින් වෛද්‍ය නිර්දේශ මත රෝහලෙන් පිටත් කර යවා තිබේ.

ජීවිතේ ගැන කලකිරී ඇති බව පවසා ලිපියක් ද ඇයගේ බෑගය තුළ තිබී පොලිසිය විසින් සොයා ගෙන තිබේ.

පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ දෙපා වැඳ සිය ජීවිතය නැවත ලබාදීමට කටයුතු කිරීම ගැන ඇය ඔවුනට ස්තුති කළාය.

මෙහිදී පොලිස් නිලධාරියකුගේ රුපියල් විසිපන්දහසක් වටිනා ජංගම දුරකථනය ද ජලයට වැටී විනාශ වී තිබේ.

වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක තිලිණ හෙට්ටිආරච්චි මහතාගේ උපදෙස් මත සිද්ධිය සම්බන්ධව පරීක්ෂණ කටයුතු සිදු කෙරේ.

අමරනන්ද විජේසේකර- මහවැව

advertistmentadvertistment
advertistmentadvertistment