වෙන්ව වැනසෙමුද? එක්ව ගොඩයමුද?

98

අප දන්නාවූ ඉතිහාසය තුළ ඉතා වේදනාකාරී මොහොතකට රටක් ලෙස අපි අද මුහුණදී සිටිමු. නිදහස ලබා දශක හතකට වඩා කාලයක් අප පසුකර ඇත. ඉන් දශක පහක පමණ කාලයක් අපි ප‍්‍රචණ්ඩත්වයත් සමග කල් ගෙවා ඇත.

අප නිදහස ලබාගත්තේ අරගල කිහිපයකටම පසුය. එදා කුඩහපොල හිමියන් අධිරාජ්‍යවාදීන්ගේ ධජය පහත හෙළා අපේ ධජය ඉහළට ඔසවා, පළමු වෙඩි මුරය නිකුත් කළ දිනය, රට නිදහස් කර ගැන්මේ අරගලය ඇරඹුණු දිනයයි.

නිදහස් අරගලයේ අවසන් අදියර බුද්ධියෙන් කළ අරගලයක්ම විය. ඒ සඳහා තම දේපළ කැප කරමින්, සිරබත් කමින්, නායකත්වය දුන් එෆ්. ආර්. සේනානායක, ඞී. බී. ජයතිලක, ඞී. එස්. සේනානායක මෙන්ම ඊ. ඩබ්ලිව්. පෙරේරා, පොන්නම්බලම් රාමනාදන්, ටී. බී. ජායා ඇතුළු සිංහල, දෙමළ, මුස්ලිම්, බෞද්ධ, හින්දු, කතෝලික නායකයන් මගේ සිහියට නැඟේ.

එදා දුෂ්කරතාවන් මැද දිනාගත් නිදහස විසින්, අපට දායාද කර ඇති නියෝජන ප‍්‍රජාතන්ත‍්‍රවාදය ගැන සමාජයේ විශ්වාසය සුන්වන තත්ත්වයකට අද අප මුහුණ දී සිටිමු. මේ තත්ත්වය භයානකය.

අද අප මුහුණ දෙන මේ ආර්ථික අර්බුදය, රටේ දේශපාලන ක‍්‍රමය අපයෝජනය කිරීමේ ප‍්‍රතිඵලයයි. විපාකයයි. අපි අද දකිමින් සිටින්නේ එයයි. පාට කණ්ණාඩි ගලවා දමා, අප කාගේත් හෘද සාක්ෂිය අවදි කළහොත්, මේ යථාර්ථය කාහට වුවද තේරුම් ගත හැකිවනු ඇත.

පසුගිය බදාදා දින, ආසියානු සංවර්ධන බැංකුව විසින් නිකුත් කර තිබූ වාර්තාවක් ජාත්‍යන්තර ප‍්‍රවෘත්ති වෙතින් මම දුටුවෙමි. එහි සිරස්තලය වූයේ ”ආසියාවේ ආර්ථික වර්ධනය අනපේක්ෂිත ලෙසින් වර්ධනය වෙලා.” යන්නය. 2022 වන විට, ආසියාවේ සංවර්ධනය වෙමින් පවතින ආර්ථිකයන්, 5.2% ක ආර්ථික වර්ධනයක් ලබාගැන්මට අපේක්ෂිත බව එම වාර්තාවේ සඳහන් වී ඇත. එම වාර්තාවට අනුව අපේ රට ඇතුළත් දකුණු ආසියාව,

නැගෙනහිර ආසියාව සහ අග්නිදිග ආසියාව යන කලාප තුනම කොවිඞ්වලට පෙර තිබූ ආර්ථික වර්ධන වේගයට යළි පැමිණ ඇති බව පැහැදිලිය. එහෙත් එම ආසියානු සංවර්ධන බැංකු වාර්තාවට අනුව ශ‍්‍රී ලංකාවේ 2022 අපේක්ෂිත ආර්ථික වර්ධන වේගය 2.4% කි.

එසේ නම් අපේ රට පමණක් මේ තත්ත්වයට, මේ ව්‍යසනයට පත්වන්නට හේතුවූ කාරණා මොනවාද යන්න අපි අපෙන්ම විමසිය යුතුවෙමු. පටු දේශපාලන කෝණවලින් නොබලා, යථාර්ථය අවබෝධ කරගත යුතුවෙමු. රෝග නිධානය වටහා ගෙන, එයට විසඳුම් දිය යුතුව ඇත. අද අප මුහුණ දී ඇත්තේ අප දන්නාවූ ඉතිහාසයේ දරුණුම ව්‍යසනයටයි.

අද ප‍්‍රමුඛව සිදුවිය යුතු වැදගත්ම කරුණ වන්නේ රට තුළ ආර්ථික ස්ථාවරත්වය ගොඩනඟා ගැන්මයි. රට මුහුණ දී ඇති මේ අවාසනාවන්ත මොහොතේ පයුලෙසින් තනතුරු දිනාගන්නට හෝ දේශාපාලන පැවැත්ම රැකගන්නට හෝ කටයුතු කරන්නට යෑම රටට කරන අසාධාරණයකි. හුදු ජනතාව රවටන හැඟීම් අවුස්සන කතාවන්ගේ හෝ තමන් අයත් දේශපාලන කඳවුරුවල න්‍යායන්හි අනම්‍යව සිටිමින් පවත්නා දේශන හෝ සටන් පාඨයන් හෝ නොව, රටේ අනාගතය යහපත් කර ගැන්මට උචිත, ප‍්‍රායෝගික ගමන් මාර්ග ගැන අප සද් භාවයෙන් සිතිය යුතුව තිබෙනවා.

මෙවන් අර්බුදවලට මුහුණ දුන් ජැමෙයිකාව, ආජන්ටිනාව, මැලේසියාව, ඉන්දුනීසියාව මෙන්ම දකුණු කොරියාව වැනි රටවල අත්දැකීම්හි ධන, සෘණ පැතිවලින් අපට බොහෝ පාඩම් උගත හැකිව තිබෙනවා.

නුදුරු අනාගතයේදී අප ගෙවිය යුතුව තිබෙන, ණය සහ පොලී ප‍්‍රමාණයන් ගෙවීම් ගැන සාකච්ඡා කර, එම ගෙවීම් කල්දමා ගැනීමකට හෝ හැකි තරමින් ඒවා අඩුකර ගැන්මක් සඳහා එකඟතාවක් ඇතිකර ගැන්මට කටයුතු කරගත යුතුව තිබෙනවා. අනවශ්‍ය ලෙසින් මේ ක‍්‍රියාදාමයන් ප‍්‍රමාදවන්නට ඉඩදී තිබීම හේතුවෙන් දැනටමත් රටට විශාල වන්දියක් ගෙවීමට සිදුව තිබීම පිළිගත යුතු කරුණකි. ජාත්‍යන්තර මූල්‍ය වෙළෙඳපොළේ ලංකාවේ ආර්ථිකය පිළිබඳව විශ්වසනීය තත්ත්වයක් ඇතිකර
ගැනීම සඳහා, විශ්වසනීය ලෙස ණය ප‍්‍රතිව්‍යූහගත කිරීමේ ක‍්‍රියාදාමයක අප‍්‍රමාදව නිරතවීම අත්‍යවශ්‍ය වී ඇත.

පසුගිය වසර දෙක තුළ කඩා වැටුණු මූල්‍ය කළමනාකරණය, රටේ අනාගතය උදෙසා වඩා හොඳින් කළමනාකරණය කරගැනීමේ අභියෝගය රටක් ලෙස අප ඉදිරියේ පවතී. රටට ගැළපෙන බදු ක‍්‍රමයක් අහෝසි කර දමා, සීමිත සමාගම් සහ පුද්ගලයන් පිරිසකට වාසි ලබාදෙන තීන්දු තීරණවලට යෑම හේතුවෙන් බිලියන 600 ක් පමණ ආදායමක් රටට අහිමිවීම සිදුවිණ. මේ අලාභ මකා ගැනීමට වක‍්‍ර බදු පමණක් පැනවීම තුළින් සිදුවන්නේ, පොදු මහජනතාව මත බර වැඩිකිරීම බව ඕනෑම අයකුට තේරුම්ගත හැකි කරුණකි.

මෙවැනි ගජමිතුරු ධනවාදයකට යොමුවෙමින් ගත් තීන්දු තීරණයනට අමතරව, රජයේ ආදායම් බොහෝදුරට නැතිකළ නාස්තිය, දූෂිත ගනුදෙනු සහ වංචනික ක‍්‍රියාදාමයන් නතර කිරීම සඳහා යහපත් මූල්‍ය කළමනාකරණයක් සිදුවිය යුතුව ඇත. මෙවැනි කටයුතු හේතුවෙන් බිඳවැටී ඇති අප රටේ කීර්ති නාමය යළි ගොඩනඟා ගැනීම රට ඉදිරියේ ඇති තවත් ප‍්‍රධාන අභියෝගයක්මය.

අද අප මුහුණ දෙන මේ ව්‍යසනයෙන් ගොඩ ඒමට, ලංකාවේ අපනයන සංයුතිය මෙයට වඩා පුළුල් කිරීමකට ප‍්‍රවේශ විය යුතුව ඇත. ඒ සඳහා විප්ලවීය ක‍්‍රියාදාමයකට යා යුතුමය. එදා පැවති තේ, පොල්, රබර් අපනයන ආදායම් අභිබවා යමින්, සංචාරක, ඇඟලූම් ආර්ථිකයන් මෙන්ම විදේශ රැකියා වෙළෙඳපොළට ප‍්‍රබල ලෙසින් ප‍්‍රවේශ වීමට කටයුතු කිරීම ආදිය මගින් අපේ අපනයන ආදායම් විශාල ලෙසින් ඉහළ නංවා ගැනීමට එදා ශ‍්‍රී ලංකාව සමත් විණ. මේ ව්‍යසනයෙන් අප ගොඩ එන්නට නම්, එය සිදුවිය හැක්කේ ප‍්‍රධාන වශයෙන් අපනයනය මුල්කොට ගෙනය, යන කරුණ අප රටක් ලෙසින් අවබෝධ කරගත යුතුය.

දෙවන ලෝක යුද්ධයේදී අලූ දූවිලි බවට පත්වූ ජපානය, බටහිර ජර්මනිය වැනි රටවල් එම අලූ දූවිලි ගසා දමා, නැඟී සිටියේ, ආර්ථික අතින් පෙළහැර පෑවේ කෙසේද යන්න තුළින් අප පාඩම් උගත යුතුව ඇත්තෙමු.

අද මුළු රටම පක්ෂ, පාට, පන්ති, ජාති, ආගම්, කුල භේදවලින් තොරව වීදි බැස තිබීම අපි දකින්නෙමු. දේශපාලන ක‍්‍රමය අවභාවිතා කිරීම තුළින් සිදුව ඇති ඛේදවාචකය අද මුළු රටම එකමුතු කර ඇත. දේශපාලන පැවැත්ම සඳහා ආගම, ජාතිය, කුලය, පංතිය පදනම් කරගෙන අපේ සමාජය තුළ ඇතිකළ බෙදීම්වල පටුබව මෙන්ම විනාශකාරී බව අද අපේ සමාජය තේරුම්ගෙන ඇති බව විශේෂයෙන් සමාජ ජාලා වෙතින් පුරවැසියන්ට ලැබී ඇති අවකාශය ඔවුන් භාවිතා කරන අන්දම තුළින් මොනවට පැහැදිලිය.

රටම වැළඳගන්නා වූ ලෙසින් සිදුවෙමින් පවතින මේ වීදි බැසීම් තුළින්, ජනතාවගේ දුක, වේදනාව, කලකිරීම සහ විරෝධය මෙන්ම, ජනතාව තමන්ගේ අනාගතය පිළිබඳව තීන්දු තීරණ ගැන්ම ඡන්දයෙන් පත්කළ නියෝජිතයනට භාරදී තවදුරටත් මුනිවත රකින්නට සූදානම් නැති බවට වන පණිවිඩයද සන්නිවේදනය කරමින් සිටී. ඔවුන්ගේ මෙම අවදිවීම, සහභාගිත්වය ප‍්‍රජාතන්ත‍්‍රවාදී ප‍්‍රචාරයකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී පාලනයකට මේ හඬට තවදුරටත් සවන් නොදී සිටිය නොහැක.

පවතින ක‍්‍රමය තුළ සිදුව ඇති දූෂිත බව, උද්දච්ඡ බව, ගෝත‍්‍රික බව හේතුවෙන්, මෙම ක‍්‍රමය වඩාත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී වීම සඳහා මෙරට සිවිල් සංවිධාන නැ`ගූ හඬත් සමගින් අද රටේ බහුතර ජනතාවද එක්ව පෙළගැසීම මේ වීදි බැසීම් තුළින් දැකිය හැක.

නැවත අපේ මාතෘභූමිය මෙවැනි ව්‍යසනකාරී තත්ත්වයනට ඇද දැමීමට කිසිවකුට නොහැකි වන අයුරින්, වඩාත් අර්ථාන්විත වෙනස්කම් පාලන තන්ත‍්‍රය තුළ ඇතිකිරීම උදෙසා ජනතාව නඟන මේ හඬට පාලකයන් අවනත විය යුතුව ඇත. ඒ වෙනුවට වෙනත් උප්පරවැට්ටි වලින්, තම පැවැත්ම උදෙසා පැලැස්තර ඇලවීම් වලින්, ජනතාව රැවටීම තවදුරටත් සිදුකළ නොහැකිවනු ඇත.

ඉම්තියාස් බාකීර් මාකාර්

advertistmentadvertistment
advertistmentadvertistment