වෙනිසියුලානු අර්බුදය ගැන හෙළිකරන පොත

601

විලියම් නියුමන්, වෙනිසියුලාවේ නිව්යෝර්ක් ටයිම්ස් වාර්තාකරු කටයුතු කළේ 2012 සිට 2016 කාලය තුළය. ඒ කාලය වෙනිසියුලානු අර්බුදයේ උච්චතම අවස්ථාව විය. කරාකස් නුවර සිට වාර්තා සැපයූ ඔහු වෙනිසියුලානු දේශපාලන හා ආර්ථික බිඳවැටීම පිලිබඳව ලියූ ග්‍රන්ථය Things Are Never So Bad That They Can’t Get Worse: Inside the Collapse of Venezuela මැයෙන් නිකුත්ව ඇත. වෙනිසියුලාව එරටින් තෙල් සම්පත සොයාගත්තේ 1914 දීය. 1928 වන විට වෙනිසියුලාව එක්සත් ජනපදයට පසුව ලෝකයේ ඉහළම තෙල් අපනයනකරු සහ දෙවන විශාලතම තෙල් නිෂ්පාදකයා විය.

එතැන් පටන් වෙනිසියුලානුවන් තෙල්වලින් ලැබුණු ආදායමෙන් ජීවත් වූ අතර අනෙකුත් සම්පත්වලින් ප්‍රයෝජන ගැනීම නොසලකා හැර තිබිණි. රටේ සාරවත් ඉඩම්, ඛනිජ සම්පත්, ජල විදුලි විභවය, සුන්දර වෙරළ තීරයන් සහ ප්‍රසන්න දේශගුණයක් අනුව ඔවුන්ට තෙල් නොමැතිව වුවද සමෘද්ධිමත් ජාතියක් වීමට හැකියාව තිබිණි. නමුත් තෙල්වලින් පහසු මුදල් ලැබීමට පටන් ගත් විට, වෙනිසියුලානුවන් අනෙකුත් සියලු සම්පත් අතහැර තෙල් ආදායමෙන් පමණක් ජීවත් වීමට පටන් ගත්හ. ඉහළ තෙල් මිල ගණන්වලදී, මධ්‍යම පාන්තික වෙනිසියුලානු ජාතිකයන් මියාමි වෙත සාප්පු සවාරි යෑමට සහ සුඛෝපභෝගී භාණ්ඩ මිලදී ගැනීමට කටයුතු කළහ. මේ කතාව මේ පොතේ ලියවී ඇත.

එහෙත් තෙල් මිල පහත වැටුණු විට, කරාකස් ආණ්ඩුව විදේශ ණය ගෙවීමට, සංවර්ධන සහ සුබසාධන වියදම් කපා හැරීමට කටයුතු කළ විට ජනතාව අරගල කළහ. මෙම අවස්ථාවන්හිදී මැතිවරණ හෝ කුමන්ත්‍රණ මගින් ආණ්ඩු වෙනස් කරන ලදී. හියුගෝ චාවේස් පවා මෙම චක්‍රයම පුනරුච්චාරණය කර රට විශාල චීන ණය උගුලකට ඇද දැමීය. චාවේස්ගේ අනුප්‍රාප්තිකයා වූ නිකොලස් මදුරෝ ආර්ථිකය වැරදි ලෙස කළමනාකරණය කළ අතර, අධි උද්ධමනය, මුදල් වෙනස්වීම් සහ විනිමය අගය ක්ෂයවීම් සමඟ රට අවුලට පත්විය.

විලියම් නියුමන් වෙනිසියුලාවේ බොහෝ ප්‍රදේශවලට ගොස් විවිධ තරාතිරම්වල සාමාන්‍ය වෙනිසියුලානු ජාතිකයන් සමඟ සම්මුඛ සාකච්ඡා කර මේ ග්‍රන්ථයට ඔවුන්ගේ අත්දැකීම් එක්කර ඇත. දුක්ඛිත කතන්දර සහ දුප්පත්කම, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟය, විදුලිය විසන්ධි වීම වැනි දුක්ඛිත කතා වලින්, අපරාධ, ප්‍රචණ්ඩත්වය ගැන තොරතුරු එහි ඇතුළත්ය.

මේ කතුවරයා ඇමෙරිකානු සහ වෙනිසියුලානු විපක්ෂ නායකයන් සමඟ සම්මුඛ සාකච්ඡා කර ඇති අතර ජනාධිපති මදුරෝ පෙරළා දැමීමේ ආක්‍රමණ උත්සාහය පිළිබඳ විස්තර ගෙන එයි. ඔහුට අනුව, කුමන්ත්‍රණ නායකයන් වෙනිසියුලාව ආක්‍රමණය කිරීම සඳහා කොන්ත්‍රාත්තුවක් අත්සන් කළේ 2019 ඔක්තෝබර් 16 වැනිදාය. මෙම කොන්ත්‍රාත්තුවට අනුව, ඇමරිකානු ආරක්ෂක සමාගමක් වන Silvercorp වෙත “නිකොලස් මදුරෝ අල්ලා ගැනීමට / රඳවා තබා ගැනීමට / ඉවත් කිරීමට” ඩොලර් මිලියන 213 ක් ගෙවා තිබේ. මදුරෝ වෙනුවට ජුවාන් ගුවයිඩෝ පත්කිරීමේ සැලසුම එවකට රහසිගතව තබා ඇත.

චාවේස් පිළිකාවකින් මිය ගිය මදුරෝ ජනපති විය. කියුබානු පාලනය චාවේස්ට බලකර තිබුණේ මදුරෝ ජනාධිපති ලෙස පත් කිරීමටය. තරුණ කාලයේ කියුබාවේ දේශපාලන පුහුණුව ලැබූ මදුරෝ කියුබානුවන් විසින් පාලනය කළ හැකි වත්කමක් ලෙස හඳුනාගෙන තිබිණි. මදුරෝට බිම් මට්ටමේ සහයෝගයක් තිබුණේ නැත. වඩා බලවත් වූ හමුදා කණ්ඩායම් පාලනය කිරීමට ඔහුට නොහැකි විය. එබැවින් ඔහුට තීරණ ගැනීමට හෝ කිසිදු ප්‍රතිපත්තියක් ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට නොහැකි විය. මෙය අධි උද්ධමනය සහ මුදල් අවප්‍රමාණය වීම සමඟ ආර්ථික ව්‍යසනයකට පත්විය.

ජනපති මදුරෝට එරෙහිව කටයුතු කළ ජුවාන් ගුවයිඩෝගේ දැන් විශ්වසනීයත්වය නැති වී ඇත. වෙනිසියුලාවේ වැඩ බලන ජනපති ලෙස ඇමෙරිකානු උවමනා අනුව කටයුතු කළ ඔහු අසාර්ථක විය. කරාකස් පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා සිදුකළ ඇමරිකානු උත්සාහයන් සම්පූර්ණයෙන්ම අසාර්ථක වී ඇත. ඇමෙරිකාවේ අනුකම්පා විරහිත ආර්ථික සම්බාධක හේතුවෙන් වෙනිසියුලානු ජනතාවගේ දුක් වේදනා වඩාත් නරක අතට හැරී ඇත. නමුත් කියුබානුවන් යැංකි සම්බාධක සහ හුදෙකලා කිරීම සහ සීඅයිඒ කුමන්ත්‍රණ ප්‍රයත්නයන්ගෙන් බේරෙන්නේ කෙසේද යන්න පිළිබඳව වෙනිසියුලානුවන්ට පුහුණු කර උපකාර කර ඇත. සමහර බටහිර ආණ්ඩු මදුරෝ රජය සමඟ ගනුදෙනු නැවත ආරම්භ කර තිබෙන අයුරුත් විලියම් නියුමන් ගේ ග්‍රන්ථයේ විස්තර කර ඇත. මේ කුමන්ත්‍රණ වෙනස් ආකාරයෙන් ලංකාවේද ක්‍රියාත්මකය. මෙරට ආර්ථික අවුල ජනපති ගෙදර යවා බේරාගත නොහැකිය. එය වෙනම දේශපාලන ආගමික කුමන්ත්‍රණයකි. ලෝගුකාරයන් වැඩියෙන් ගාළු මුවදොර සක්මන් කරන්නේ එනිසාය. පෙරටුගාමින්ගේ පෙළපාලිවල කන්‍යා සොහොයුරියන් ඇත්තේ කුමන හේතුවකටද?

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment