වෙබ් අඩවි වලට නඩු බෑ

170

මෙරට සංස්කෘතික පදනම මුල්කරගෙන බිහිවූ බුදු දහම සහ දේශීය සංස්කෘතිය සහජීවනයට එරෙහිව විවිධ පාර්ශ්වයන් උපහාසාත්මක ප්‍රකාශයන් සහ ප්‍රහසනයන් ඉදිරිපත් කිරීම වර්තමානයේ රැල්ලක් බවට පත්වෙමින් තිබේ.

එහි දී ඔවුන් භික්ෂූන් වහන්සේ, සමාජයේ උගත් යැයි පිළිගත් ජනප්‍රිය පුද්ගලයින්, තරුණ කොටස් ආකර්ශනය කර ගතහැකි පිරිස් ඒ සඳහා භාවිත කරමින් අසභ්‍ය වචන භාවිත කරමින් සහ පදනම් විරහිත ලෙස උපහාසාත්මක විවේචන කරමින් සමාජය තුළ චරිත බවට පත්වීමට උත්සාහ කරති. මෙලෙස සාමාන්‍ය ජනතාවට ඇති භාෂණයේ නිදහස හෙවත් අදහස් ප්‍රකාශ කිරීමේ මූලික අයිතිවාසිකම භාවිත කරමින් සිදුකරන අනීතික ක්‍රියාවනට එරෙහිව පියවර ගත නොහැකිදැයි මේ වනවිට සමාජයේ බොහෝ දෙනා විමසන්නට පටන්ගෙන ඇත.

ඒ සම්බන්ධව ජ්‍යෙෂ්ඨ නීතිඥවරියක වන ඉවෝන් නිරාෂා මෙසේ පැහැදිලි කිරීමක් කළා ය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට එහි මූලික අයිතිවාසිකම් හඳුන්වාදී ඇත. ඒ යටතේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස හෙවත් භාෂණයේ නිදහස යටතේ ආගමක් ඇදහීම කථා කිරීමේ අයිතිය සහ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළත් කර ඇත. එහිදී ජනතාවට තම අදහස් විවෘතව ප්‍රකාශ කිරීමේ අයිතිය හිමිකර දී ඇත. ඡන්දය ප්‍රකාශ කිරීම ද භාෂණයේ නිදහසකි. ඉන් තමා කැමැති පුද්ගලයා සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමක් ලෙස ඡන්ද අයිතිය අර්ථ දක්වා තිබේ.

ආගමික නිදහස යටතේ ද ඕනෑම පුද්ගලයකුට තමා කැමැති ආගමක් ඇදහීමට අවසරය ලබාදී ඇත. එම ආගමට අනුව කටයුතු කිරීම සහ එහි ඇති දේශනාවන් සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීම ද භාෂණයේ නිදහස ලෙස හඳුන්වයි.

නමුත් මෙම නිදහස රටේ පවතින නීතියට යටත්ය. සමාජය තුළ ගැටුම් ඇතිවිය හැකි, වෛරයක් මතුවිය හැකි, සංස්කෘතියට සහ සභ්‍යත්වයට හානියක් වියහැකි ආකාරයෙන් යම් පුද්ගලයෙක් හෝ පිරිසක් කටයුතු කරන්නේ නම් පවතින නීතිරීති යටතේ ක්‍රියාකිරීමට නීතිය ආරක්ෂා කරන පුද්ගලයිනට හැකියාව තිබේ.

මෑතක දී අසීමාන්තිකව බුදු දහමට එරෙහිව විවිධ පුද්ගලයින් ප්‍රකාශ සිදු කරන්නට පටන් ගෙන ඇති බවක් දැකිය හැකිය. මෙය වර්තමානයේ දී පමණක් නොව 1905 වසරේ දී ද සිදුවූ බව අපගේ ඉතිහාසයේ සඳහන් කර ඇත. එනම් බුදු දහම සහ ඊට සම්බන්ධව බැඳුණු සංස්කෘතියට එරෙහිව අන්‍යාගමික බලවේග කටයුතු කරද්දී ඊට එරෙහිව නැඟී සිටි උපරිම අවස්ථාවක් ලෙස පානදුරාවාදය හැඳින්විය හැකිය.

එනිසා අප රට තුළ බුදු දහමට එරෙහිව අපහාස උපහාස කිරීම ආරම්භවූයේ මෑතක සිට නොව මීට වසර සියයකට පමණ පෙර සිට බව සඳහන්වේ.

මෙවැනි ක්‍රියාවන්ට එරෙහිව ගතහැකි නීතිමය පියවර මොනවා ද?

මෙවැනි අපහාස කිරීමට එරෙහිව ක්‍රියාකළ හැක්කේ දණ්ඩනීති සංග්‍රහයේ සිවිල් නීතිය යටතේ පමණි. මීට පෙර ඒ සම්බන්ධව අපරාධ නීතිය යටතේ ක්‍රියාකිරීමට හැකියාව තිබුණා. නමුත් එය මේ වනවිට ඉවත්කර ඇත. ඊට හේතුවී ඇත්තේ මෙවැනි අපහාස කිරීම් සම්බන්ධව තොරතුරු ජනතාවට වාර්තා කරන මාධ්‍ය රැකගැනීම සඳහා ය. එසේ නොවුණා නම් මෙම අපහාස සිද්ධීන් වාර්තා කරන මාධ්‍ය ආයතනවලට අපරාධ නීතිය යටතේ දඬුවම් කළ හැකිය.

වර්තමානයේ පවතින නීතිය යටතේ මෙවැනි අපහාස කරන පුද්ගලයින් සිවිල් නීතිය යටතේ අත්අඩංගුවට ගැනීමට පොලිසියට සහ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්ට බලය තිබේ. එහිදී පැමිණිල්ලක් ඇතිව හෝ නැතිව එම පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ හැකියි. එසේම මෙවැනි පුද්ගලයින් රටින් පිටව යනවිට අත්අඩංගුවට ගැනීමට ආගමන විගමන නිලධාරීන්ට ද නීතිමය බලයක් ඇත.

එසේ අත්අඩංගුවට ගත් පුද්ගලයින්ට ද ඇප ලබාගත හැක්කේ මහාධිකරණයෙනි.

මෙහිදී වන්දි ලබාගැනීම සම්බන්ධව අවධානය යොමු නොකරන්නේ ආගමකට එරෙහිව අපහාස කළවිට වන්දි ලබාදෙන්නේ කා සඳහා දැයි කියා තීරණය කළ නොහැකි නිසාය. අපහාසය සිදුවන්නේ එම ආගම් නිර්මාතෘවරයාටය. නමුත් මේ වනවිට එම නිර්මාතෘවරයා නොමැති නිසා වන්දි ලබාගැනීම සම්බන්ධව අවධානයක් යොමු නොවේ. නමුත් මෙසේ අපහාස කරන පුද්ගලයින්ට වැරැදිකරුවන් වුවහොත් අපරාධ නීතිය යටතේ ඔවුන්ට සිර දඬුවම් ලබාදිය හැකියි.

වෙබ් අඩවි වලට නඩු බෑ

එසේම පවතින නීතිය යටතේ මෙවැනි ප්‍රකාශ ප්‍රචාරය කරන වෙබ් අඩවිවලට එරෙහිව කටයුතු කිරීමට නීතියේ බලයක් නැත. නමුත් මෙවැනි ප්‍රකාශ ප්‍රචාරය කරන මුද්‍රිත මාධ්‍ය සහ විiුත් මාධ්‍යවලට එරෙහිව නීතිමය පියවර ගත හැකියි. ඒ සම්බන්ධව ක්‍රියාකිරීමට පැමිණිල්ලක් අවශ්‍ය නැත. බොහෝවිට මෙවැනි සිද්ධීන්

ගැන පැමිණිලි කිරීමට ඇතැම් දෙනා මැලිකමක් දක්වන්නේ ඉන්පසු ඔවුනට එරෙහිව එන බලවේගවලට මුහුණදීම සඳහා නීතිමය රැකවරණයක් නැතැයි කියා ඇති බිය නිසාය. නමුත් එවැනි පැමිණිලිකරුවන් රැක ගැනීමට නීතියේ රැකවරණ පවතී. ඒ සඳහා නීති ආධාර ලබාදීමට ද සංවිධාන අප රට තුළ ක්‍රියාත්මක වේ. එසේම පැමිණිල්ල පොලිසියට ඉදිරිපත් කළවිට ඒ සම්බන්ධව කටයුතු කරන්නේ පොලිසිය බැවින් පැමිණිලිකරුට පොලිසියේ ද රැකවරණයක් ලැබේ. එනිසා මෙවැනි අපහාසවලට එරෙහිව නැඟී සිටීමට කිසිදු පුද්ගලයෙක් අනිසි බියක් ඇතිකරගත යුතු නැත. ඔවුන් ආරක්ෂා කිරීමට ද නීතිමය ප්‍රතිපාදන පවතී.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment