වෙරි සිඳුණු පසු (1)

1161

රට තවත් දෙසතියකට ලොක්ඩවුන් කරන බව ප‍්‍රකාශයට පත්කෙරුණු ඉකුත් සිකුරාදා දවල් සිට ලංකාවේ සියලූ ලිකර් ෂොප් අරින ලදී. එකී බාර් ඉදිරිපිට තිබූ පෝලිම ගැන මේ රටේ දේශපාලනඥයෝ පුදුමය පළ කරති. ඔවුන්ගෙන් කෙනෙක් කියන්නේ මිනිසුන් අතේ සතේ නැති බව කීවාට බාර් ඇරිය විට පෝලිමේ සිට එක පොදියට අරක්කු මිලට ගන්නා බවයි. මෙය තර්කයක් වශයෙන් හොඳ කතාවක් වුවද ප‍්‍රායෝගිකව ගත්කල ගොන් කතාවකි. බාර් එකක් ඉදිරිපිට මිනිසුන් රැස්වූ පමණින් ජනතාව අත මුදල් තිබේ ද යන්න තක්සේරු කළ නොහැක. අරක්කු කාලේ බෝතලය රුපියල් 420 ටත් තිබේ. එබැවින් පෝලිමේ ඉන්න එකා සමහරවිට වියදම් කරනවා ඇත්තේ තමන් සතු අන්තිම රුපියල් 420 ය. අරක්කු බීමට පුරුදු වූ බේබද්දා අරක්කු නැතිවිට කට්ට කරපට් වී කසිප්පු බීමට පෙළඹේ. අරක්කු පමණක් බී පුරුදු එකාට දිගු කාලයක් කසිප්පු බීමට නොහැක. එබැවින් බාර් එක ඇරිය විට තමන් සතුව තිබෙන අවසාන මුදලින් අරක්කු ගැනීමට හෙතෙම පෙළඹේ.

ඒ අනුව බාර් එකක් ඉදිරිපිට පෝලිමක් තිබීමෙන් රටේ ආර්ථිකයට අර්ථකථනයක් සැපයිය නොහැක. කෙසේ හෝ වේවා අප මේ කතු වැකියට දමා ඇති ශීර්ෂ පාඨය දෙස බලන්න. එයින් කියවෙන්නේ අපේ වෙරි හිඳී ඇති බවකි. හිඳෙන්නටවත් අපට වෙරි වුණේ කොහොමද? ඒ මෙහෙමය. රට තවදුරටත් ලොක්ඩවුන් කරන ලද සැනින් බාර් ඇරීමට බලය දුන්නේ කවරෙක්දැයි අදටත් සොයාගැනීමට බැරිය. සුරාබදු කොමසාරිස් බාර් අරින බව දැන සිටියේ නැත. හමුදාපතිත් ඒ බවක් නොදත්තේය. රටේ මහජන මන්ත‍්‍රීවරුන්ගේ නියෝජනයක් වූ නාමල් රාජපක්ෂ, බාර් ඇරීමට බලය දුන්නේ කවරෙක්දැයි ජනතාවගෙන් ඇසීය. ඔහුගේ ඊළඟ අදහස වන්නේ මෙය කිසියම් නියෝගයක් වරදවා වටහා ගැනීමක් ලෙසය. සමහරවිට තවත් දින 14 ට බාර් වහන්නැයි ආණ්ඩුව දුන් නියෝගය වරදවා වටහාගත් බාර්කාරයින් ආණ්ඩුව බාර් අරින්නැයි කීවා සේ සලකා බාර් අරින්නට ඇති. මේ ආකාරයෙන් වැරදි වැටහීම් ඇතිකර ගැනීම Miscommunication ලෙස හඳුන්වනු ලැබේ.

මේ ආකාරයෙන් කවර වෙලාවක හෝ මිස් කමියුනිකේෂන් එකක් සිදුවී ගෙවල් පිටිපස්සේ කසිප්පු පෙරීම නීත්‍යානුකූල බව කියවුණොත් මේ රට කසිප්පුවලින් ස්වයංපෝෂිත වූයේ යැයි සිතමින් අපට හිත හදාගත හැක. කෙසේ හෝ වේවා ලොක්ඩවුන් අස්සේ බාර් ඇරීමට උපදෙස් දුන් එකා කවරෙක්ද යන්න අදටත් රාජ්‍ය රහසකි. රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම රාජ්‍ය ද්‍රෝහීත්වය සේ සලකා දඬුවම් ලැබිය හැකි වරදකි.

ශ‍්‍රී ලංකාවේ මද්‍යපාන ඉතිහාසය අවුරුදු 2500 ට වඩා පැරණිය. ඒ කාලයේදී ආසවනය හෙවත් Distillation ගැන ජනයා දැන නොසිටි බැවින් ෂුවර් එකටම බොන්නට ඇත්තේ පොල් රා, කිතුල් රා, තල් රා යනාදී ගහේ බඩුය. 15 වෙනි ශත වර්ෂයේදී පෘතුගීසි ආක‍්‍රමණිකයන් ස්වකීය දූෂිත දෙපා ශ‍්‍රී ලංකා භූමිය මත තැබීමත් සමගම ගහේ බඩු සංස්කෘතිය වෙනස් වී ගහේ නොවන බඩු සංස්කෘතියක් ඇතිවිය. පෘතුගීසීන් බහුලව ගැවසුණු කොළඹ, මීගමුව සහ ගාල්ල ප‍්‍රදේශවල ජනයා පෘතුගීසිකාරයන්ට විවිධ බඩු සප්ලයි කර (මෙහිදී Miscommunication තත්ත්වයක් ඇතිකර නොගත යුතුය. බඩු යනුවෙන් හඳුන්වන ලද්දේ කෑමබීම යනාදියයි.) ඒ වෙනුවට වයින් හා බ‍්‍රැන්ඩි ලබාගත් බව දැනගන්නට තිබේ. සුද්දා මේ රටේ මුහුදු බඩ ප‍්‍රදේශ අල්ලා ගැනීමත් සමගම කළේ කන්ද උඩරට රාජධානියේ රජවරුන්ට බ‍්‍රැන්ඩි බීමට පුරුදු කිරීමය. ඔවුහු සූක්‍ෂම ලෙස තම තානාපතිවරුන් හරහා බ‍්‍රැන්ඩි බූලි පිටින් රජුන්ට තෑගි කළහ. හින්දු ආගම හොරෙන් ද බුද්ධාගම ප‍්‍රසිද්ධියේ ද ඇදහූ ලංකාවේ අවසන් රජතුමා වූ ඉන්දියානු වඩුග ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ සිය අවසාන කාලයේදී නිතරම සිටියේ බ‍්‍රැන්ඩි ගසා කට් වී ඔළුව සාක්කුවේ දමාගෙනය.

මේ නිසා ඔහු වටා සිටි පල් හොර අධිකාරම් හැතිකරය සහ රටේ මහත්තයා හැතිකරය වෙරි වූ රජු නොමග යවමින් වැරදි තීරණ ගැනීමට ඔහු පොලඹවා ඔහු ගැන සාවද්‍ය ආරංචි පතුරුවන්නට විය. මද්දුම බණ්ඩාරගේ බාල නැගණිය ඔහුගේ මව වූ ඇහැලේපොළ කුමාරිහාමි ලවා වංගෙඩියක දමා කෙටවීය යන පුවත මෙසේ පතුරුවා හරින ලද සාවද්‍ය කතන්දරයක් යයි කියනු ලැබේ. මේ නිසා රජු කෙරෙහි මිනිස්සු වෛර කරන්නට වූහ. එය සුද්දන්ට කන්ද උඩරට අල්ලා ගැනීමට මහඟු වාසියක් ද විය. බ‍්‍රැන්ඩි වීදුරුවේ පතුල ලෙව කමින් ඩෝප් මරගාතෙන් සිටි රජතුමාට මේ කිසිවක් තේරුණේ නැත. අන්තිමට ඉංග‍්‍රීසීන් පැමිණ අත්අඩංගුවට ගෙන සිංහල අධිකාරම්ලාගෙන් කනේ පහර කන තුරු ශ‍්‍රී වික‍්‍රම රාජසිංහ රජු කිසිම දෙයක් ගැන දැන සිටියේ නැත. ඒ වූකලී මද්‍යපාන නිසා රටට කෙලවුණු ආකාරයයි. බාර් අරින්නැයි කී එකා සොයා ගැනීමට නොහැකි වූ නිසා අප තුළ ද වෙරි මතක් ඇති විය. ඒ මානසික වෙරිය යම් තරමකින් සිඳී ගොස් ඇති බැවින් අපට මේ ප‍්‍රශ්නය සාකච්ඡුා කිරීමට සිදුව ඇත්තේ ප‍්‍රමාද වෙලාය. සමහරවිට මෙහි හොඳම හරිය ලියැවෙනු ඇත්තේ හෙටය.

(ඉතිරි කොටස හෙට)

advertistmentadvertistment
advertistmentadvertistment