වෙල්ලස්සේ ඉඩම් තාමත් වෙන්දේසියේ

329

‘‘බහු ජාතික සමාගම්වලට මේ පොළව පවරා දීලා ආණ්ඩුව මේ කරන්න හදන්නෙ ඓතිහාසික වැරැද්දක්. මේ උක් වගා ව්‍යාපෘතියෙන් වෙන්නෙ සුද්දො වෙල්ලස්සට කළ හානියට වඩා බරපතළ හානියක්. ඒක කරල ජනතාවගේ වෛරයට පාත‍්‍ර වෙන්න එපා.’’

මේ හඬ නැගෙන්නේ වෙල්ලස්සෙනි. බිබිල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි දොඩම්ගොල්ලේ සෝරත හිමියන්ගෙනි. රිදිමාලියද්ද ගොවීන්ට හඬක් වෙමින් සෝරත හිමියන් මෙසේ හඬ නගන්නේ දෙහිගම ඇතියන්කුඹුරු යෝජිත උක්වගා ව්‍යාපෘතියෙන් මකර කටට යන ගොවීන්ගේ පාරම්පරික ඉඩම් අයිතිය වෙනුවෙනි. ඌව වෙල්ලස්ස බිම්තැන්නේ අක්කර 62500 ක භූමියක උක් වගා කර සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට රජය ගන්නා උත්සාහය පසෙකට තල්ලූ කර තිබෙන්නේ මේ විරෝධයේ හඬයි. දැන් වෙල්ලස්ස පමණක් නොව රටටම කතා කිරීමට මාතෘකාවක් හදා තිබෙන වෙල්ලස්සේ සීනි ව්‍යාපෘතිය හෙවත් බිබිලේ සීනි කම්හලට මෙතරම් විරෝධයක් නැගෙන්නේ ඇයි.

‘‘උක් වගා ව්‍යාපෘතිය නිසා අතිශය සංවේදී ඌව පහත් බිම් ජෛව කලාපය විනාශ වෙනවා. අපි විරුද්ධ ඒකයි’’ පරිසර සංවිධාන කියති.

 වෙල්ලස්සේ ඉඩම් තාමත් වෙන්දේසියේ
දොඩම්ගොල්ලේ සෝරත හිමි

‘‘උක් වගා කරන්න හදන්නෙ අපේ උරුමය සැ`ගවුණු බිම්වල.’’ එම චෝදනාව එන්නේ රතුගල ආදීවාසීන්ගෙනි.

‘‘සංරක්ෂණය නොකළ පුරා විද්‍යා ස්ථාන ගණනාවක් මේ උක් වවන්න හදන භූමියේ තිබෙනවා. මේ ව්‍යාපෘතියට අපි විරුද්ධ වෙන්නෙ ඒ නිසයි.’’ පුරාවිද්‍යඥයන් සඳහන් කරති.

‘‘මේ උක් වවන්න හදන්නෙ අපේ පාරම්පරික හේන් ගොවි වගා බිම්වල’’ ගොවීහු අඳෝනා නගති.

‘‘නෑ .. මේ මහවැලියට අයිති ඉඩම්’‘ මහවැලි අධිකාරිය ඊට එරෙහිව පිළිතුරු බඳිති.

එවැනි තර්ක විතර්ක මැද වෙල්ලසස්සේ ගොවීන් පාරට බැස සටන් කරන, මේ උක් වගා ව්‍යාපෘතියේ ශේෂ පත‍්‍රය ඇත්තෙන්ම රටට ජනතාවට හානිකරද.. ඇත්තෙන්ම රිදීමාලියද්දේ සිදුවන්නේ කමක්ද. අප මේ ගැන අවබෝධ කර

ගැනීමට බිබිලේ සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමට ගන්නා වර්තමාන කතාව පමණක් නොව එහි අතීත කතාව දැන ගැනීමද වැදගත්ය.

වෙල්ලස්සට සීනි කර්මාන්ත ශාලාවක් යන යෝජනාව මුල්වරට පැමිණියේ 2006 වසරේය. එවකට මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් මේ සඳහා ඉඩම් අක්කර හැට පන්දහසක් වෙන් කිරීමේ කැබිනට් පත‍්‍රිකාවක් ඉදිරිපත් විය. ඊට අවශ්‍ය ඉඩම් අම්පාරේ මහඔය සහ පදියතලාවෙනුත් බදුල්ලෙන් රිදීමාලියද්ද, මහියංගනය, කන්දෙකැටිය, මීගහපුර සහ ලූණුගලත්, මොණරාගලින් බිබිල, මැදගම, මඩුල්ල සහ බඩල්කුඹුර නමැති ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලිනුත් ලබා ගැනීමට එම කැබිනට් පත‍්‍රිකාව මගින් යෝජනා කර තිබිණ. මෙම ආයෝජනය සඳහා පැමිණි බහු ජාතික සමාගම වූයේ බුකර් ටේට් නමැති බි‍්‍රතාන්‍ය සමාගමය. පැල්වත්ත සීනි සමාගම ආරම්භක ආයෝජකයන් වන්නේද එකී බහු ජාතික සමාගමය. එම සමාගම එදා මෙලෙසම ව්‍යාපෘතිය සඳහා අදාළ ඉඩම් සංවර්ධනය කිරීමට සැරසෙද්දී එය හකුළා ගැනීමට සිදුවූයේ මාදුරුඔය රක්ෂිතයේ පේ‍්‍රරණ කලාපයන්ට අයත් සහ ගොවීන් අනවසරයෙන් මුත් පරම්පරා ගණනාවක් තිස්සේ බුක්ති විඳි ඉඩම් මෙම ව්‍යාපෘතියෙන් අහිමිවීම නිසා පැන නැගි දැවැන්ත විරෝධය නිසාය. එදා මෙම විරෝධයේ පෙර ගමන් කරුවන් වූයේ, ගොවීන්ගේ ඉඩම් රක්ෂා කරගැනීම සඳහා පිහිටුවාගත් ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයයි. ඔවුන් සමග බහුජන සංවිධාන එක්ව කළ නොනිමි අරගලයක ප‍්‍රතිඵලය වූයේ මුඩු ඉඩම් යන ලේබලයට මුවා වී අත්පත් කරගැනීමට සැරසුණු හේන් වගා සහිත ගොවි බිම් තවත් කාලයක් යන තෙක් රක්ෂා වීමය.

එම නිහැඬියාව බිඳිමින් යහපාලන රජය පැවති කාලයේ නැවතත් බිබිලේ සීනි කතාන්දරය කරලියට ආවේය. එවර ආයෝජකයන් වූයේ චීනයෙන් පැමිණි යුවාන් බොන්ඩි නමැති සමාගමය. ඔවුන්ටද සිය ව්‍යාපෘතිය හකුළාගෙන යන්නට සිදුවූයේ යළිත් ඊට විරුද්ධව අවදි වූ ජනතා හ`ඩ නිසාය. එපරිද්දෙන් 2006 වසරේ සිට පැවති සෑම රජයක්ම මෙන් වෙල්ලස්සේ සීනි කර්මාන්ත ශාලාවක් පිහිටුවීමේ සිහිනය දුටුවෝය.

දැන් අප සිටින්නේ එහි වර්තමාන කතාවේය. මෙවර වෙල්ලස්සේ ඉඩම් අත්පත් කරගෙන උක් වගා කිරීමට සැරසෙන්නේ චීනුන්ට නෑකම් කියන

සිංගප්පූරු ජාතිකයන්ය. ඔවුන්ට අයත් සමාගම වන්නේ ගසල් වෙන්ටස් ය.

සිංගප්පූරුවේ ගසල් වෙන්චස් සමාගම සමග අත්වැල් බැඳගත් දේශීය සමාගමක් ද මෙම ව්‍යාපෘතියේ සමාන භූමිකාවක් රඟදක්වන්නේය. එතුළ පසුගියදා සිට ඇතිවුණ සිදුවීම් සහ එකී ව්‍යාපෘතිය යෝජිත භූමියට නොගැළපෙන්නේ ඇයිද යන්න කීවේ ඌව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ සංවිධානයේ සභාපති පළාත් සභා මන්ත‍්‍රී සමන්ත විද්‍යාරත්නය.

‘‘දැන් ඇවිත් ඉන්නවා මේ ඉඩම් අක්කර හැට පන්දහස ගන්න ගැසල් වෙන්චස් කියන බහු ජාතික සමාගම. මේ ඉඩම් අක්කර හැට පන්දාහක් කියන්නෙ සිංගප්පූරුවට ටිකයි අඩු. අපිට ඉඩමක් වුණාට උන්ට රටක් වගේ තැනක් මේක. අපි මේකට විරුද්ධ වෙන්නෙ හේතු ඇතිව. මේකෙන් බරපතළ පාරිසරික හානියක් වෙනවා. අලි ඇත්තු ඉන්න භූමියක් මේ දෙන්න හදන්නෙ. මේ වගේ තැනක අක්කර හැටපන්දහසක සීනි ව්‍යාපෘතියක් දැම්මොත් වනාන්තර හෙළි පෙහෙළි වෙනවා එක්කම ඔය අලි ගම්වදින එක වළක්වන්න බෑ. මේ අවට ගම්මාන වලට විශාල අලි මිනිස් ගැටුමකට මේකෙන් පාර කැපෙනවා. ඊට පස්සෙ මේ ප‍්‍රදේශයේ ජල ප‍්‍රශ්නයට සිදුවෙන හානිය. උක් ගහ කියන්නෙ වතුර ඇදගන්න ගහක්. මේකට මේ අය ලෑස්ති වෙන්නෙ මදුරාඔයෙන් සහ භූගත ජලය පාවිච්චි කරන්න. ඒක මේ පැත්තෙ ජීවත්වන මිනිස්සු බරපතළ ජල ගැටලූවකට ඇද දැමීමක්. මේ කර්මාන්ත ශාලා භූමියට අක්කර 572 ක් වෙන් කරල තියනවා. මේ අක්කර 572 ඇතුළෙ කටාරම් කොටපු ගල් ලෙන් ස්තූප ගොඩැල්ලක් ඉතිහාසගත වෑකන්දක් වැනි පුරා විද්‍යා ස්ථාන තියනවා. ගොවියන්ගෙ පරම්පරාවෙන් වගා කරගෙන එන ඉඩම් තියෙනවා. ඒවා තමයි මේ ගන්න හදන්නෙ. මේක මේ ගොවි ජනතාවගේ ප‍්‍රශ්නයක් විතරක් නෙවෙයි. මේ දෙන්න හදන්නෙ වටිනා පාරිසරික කලාපයක්. ඒක අපේ විතරක් නෙමෙයි රටෙත් ප‍්‍රශ්නයක්.‘‘

ඔහු තවදුරටත් කීවේ රටේ වැසියාට වැදගත් මෙවැනි ජාතිත සම්පත් කුණු කොල්ලයට විකිණීමට විරුද්ධව කවුරුත් හඬ අවධි කළ යුතු බවය.

දෙහිගම සංජීව යනු ආයෝජන කරුට ලබාදීමට යෝජිත මේ ඉඩම්වල පාරම්පරිකව හේන් ගොවිතැන කරන ගොවියෙක්ය. මහවැලි අධිකාරියේ නිලධාරීන් කිසිදු සොයා බැලීමකින් තොරව තමන් ඇතුළු ගොවීන්ට නඩු දැමූ බව කී ඔහුගේ කතාවෙන් කියැවෙන්නේ ගොවීන් පාවිච්චි කරන මේ ඉඩම් ජනසවිය ව්‍යාපෘතියෙන් ලැබූ බවය.

‘‘මේ ඉඩම් අපි පරම්පරා ගාණක් හේන් ගොවිතැන කරපුවා. හැබැයි මේ ඉඩම් ටික අපිට ක‍්‍රමවත්ව ලැබුණේ පේ‍්‍රමදාස මහත්තයාගේ ජනසවිය ව්‍යාපෘතියෙන්. ජනසවි කාර්ය සාධක ඉඩම් කියලයි මේවා දුන්නෙ. එදා ඉඩම් ටික මැනල වෙන් කරල වගා කරන්න කියල දුන්නට, එක ගොවියෙක්ටවත් ඔප්පුවක් ලබා දුන්නෙ නෑ. හැබැයි 2017 වෙද්දි මේක මහවැලියේ ඉඩමක් කියල ප‍්‍රචාරය කරල පස්සෙ අයි. එස්. හෝල්ඩින් සමාගම සතු ඉඩමක් කියල බෝඞ් එකක් වැදුණා. හැබැයි ගොවියෝ එහෙම වුණා කියල වගාව අත හැරියෙ නෑ. මේ සැරේ ආව පොහොර ප‍්‍රශ්නය නිසා සියයට සීයයක් වගා නොකළට සියයට අනූවක් විතර බඩ ඉරි`ගු වගා කරල තියනවා. එම අස්වැන්න නෙළා ගන්නවත් දෙන්නෙ නැතිව තමයි මහවැලියේ ඩෝසර් ඇවිත් වගාව සුද්ද කරල දාන්න හැදුවෙ. මහවැලිය හදන්නෙ අපිව ඉඩම් වලින් නෙරපන්න. හැබැයි 2020 ජූලි මාසේ ජනාධිපතිතුමා මුලින්ම හල්දුම්මුල්ලෙ ගම සමග පිළිසඳර කරද්දි අපි අපේ ප‍්‍රශ්නය ඉදිරිපත් කරා. ජනාධිපතිතුමා ඒ වෙලාවෙම මහවැලි අධ්‍යක්ෂ ජෙනරාල්ට කතා කරල අපිට කිව්වා දැන් කිසි ගැටලූවක් නෑ ඉඩමෙ වගා කටයුතු කරන්න කියල. හැබැයි ඒ වගාකටයුතු කරගෙන ටික දවසක් යනකොට ආයෙත් ඩෝසරයක් ඇවිත් වගාව ඩෝසර් කරන්න හැදුවා. දැන් මේ හදන්නෙ ආයෙත් ඒ දේම කරන්න. මහවැලියෙන් මේ නඩු දාල තියෙන්නෙ ඇත්තටම ගොවියගෙ ඉඩමේ හතරමායිමක් වත් දන්නෙ නැතිව. මගේ ඉඩමට නඩු දාල තියනවනම් මහවැලිය ඇවිත් මේ ඊයේ පෙරේදා ඩොසර් කරල තියෙන්නෙ අල්ලපු ඉඩම. අපි හදාගත්ත අස්වැන්නවත් ගන්න දෙන්නෙ නැති තරමට දැන් මේ අය පහතට වැටිල.’’

උක් වගා කිරීමේ ව්‍යාපෘතියට අයත් වන මෙකී ප‍්‍රශ්නගත ඉඩම්වල ගොවීන් 163 දෙනෙක් වගා කටයුතු කරගෙන යන බව සංජීව ගොවි මහතා සඳහන් කරන්නේය. ගොවියන්ගේ පැත්තෙන් එවැනි විරෝධයක් එල්ල වද්දි බිබිලේ සීනි කර්මාන්ත ශාලා ව්‍යාපෘතියට ප‍්‍රබලම විරෝධය එන්නෙ පරිසර සංවිධාන වලින්ය. මේ උක් වගා ව්‍යාපෘතියට යෝජිත ඉඩම ලංකාවේ අතිශය සංවේදී ජෛව විවිධත්ව කලාප පහෙන් එකක් වන ඌව පහත් බිම් ජෛව විවිධත්ව කලාපයට අයත් වන්නේය. මාදුරු ඔය නිල්ගල පුවක් කැලේ වනාන්තර පද්ධතිය සමග මෙම ඉඩම් බැඳී තිබෙන නිසා එවා දැඩි සංවර්ධන ක‍්‍රියාවලියකට යොමු කිරීම විශාල පාරිසරික

ගැටලූ ඇති කරන බව ඔවුන්ගේ චෝදනාවය. විශේෂයෙන් මාදුරුඔය වනෝද්‍යානයේ සිට ගල්ඔය දෙසට ගමන් කරන අලි මංකඩ තිබෙන්නේ සීනි කම්හල ඉදිකිරීමට යෝජිත භූමියේ වීම අලි මිනිස් ගැටුම තවත් උස්සන්න කිරීමට හේතුවක්ය. එවැනි ගැටලූ තිබියදී ව්‍යාපෘතිය සිදු කිරීම සඳහා ලබාගෙන තිබෙන පාරිසරික ඇගයීම් වාර්තාවද යල් පැන ගිය එකක්ය.

එහෙත් මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති එස්. සමරසිංහ මහතා මේ සම්බන්ධව මාධ්‍යට මෙසේ ප‍්‍රකාශයක් කර තිබිණ.

‘‘මේ ඉඩම් දැන් අයිති වෙන්නෙ මහවැලියට. ඒ නිසා මහවැලියෙන් ඉල්ලීම් ලැබෙන තුරු අපට අවසර ලබාදෙන්න බෑ. මහවැලිය අවසර ඉල්ලූවාම දෙනවා. මොකද එම ඉඩම් ලබාදීමේදී පරිසර ප‍්‍රශ්නයක් නෑ.’’

කරුණු එසේ වුවද මධ්‍යම පරිසර අධිකාරිය 2017 වර්ෂයේ ජුනි 29 බිබිල සීනි සමාගම දැනුවත් කර ඇත්තේ වසර තුනක් ඇතුළත එහි ඉදිකිරීම අවසන් කළ යුතුය කියාය. අවසරය වලංගු වන්නේ එකී කාලයට පමණක් වන අතර ඉන්පසුව මෙම අවසරය වලංගු නොවන මධ්‍යම පරිසර අධිකාරිය පැහැදිලිව සඳහන් කර ඇත. බිබිල සීනි සමාගම සිය ඉදිකිරීම් සඳහා පරිසර වාර්තාවක් සමග මධ්‍යම පරිසර අධිකාරියෙන් අවසර ඉල්ලා තිබෙන්නේ 2013 වසරේය. ඒ අනුව මෙම අවසරය වලංගු වන්නේ 2013 වසරේ පරිසර තක්සේරු වාර්තාව කල වසරේ සිට වසර තුනක් නම් එම අවසරය 2016 වසරේ අවසන් වන්නේය. එසේත් නොමැති නම් 2017 වසරේ මධ්‍යම පරිසර අධිකාරිය බිබිල සීනි සමාගමට ලිපිය ඉදිරිපත් කළ දිනයේ සිට නම් එසේ වුවද එම අවසරය 2020 වසරේදී අවසන් වන්නේය. ඒ අනුව මේ සිදුවන්නේ ජාතික පාරිසරික පනතද උල්ලංඝනය කරමින් බහු ජාතික සමාගම්වල පදේට නටා අනාගතයේ විසඳුම් නොමැති ගැටලූ රාශියන් බලෙන් කැන්දා ගැනීමය.

තිස්ස ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment