වෙලාවට ගුවන් ටිකට් නැහැ.. – යොවුන් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක දිනය ශ්‍රී ලංකාවට මගහැරෙයි?

253

ගුවන් ටිකට්පත් නිසි වේලාවට ලබා දීමට නිලධාරීන් අපොහොසත් වීම හේතුවෙන් අද (01 වැනිදා) ආරම්භ වන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනකුට අහිමිවීමේ අවදානමක් මතුව තිබේ. පසුගිය 29 වැනිදා මෙරටින් පිටත්ව යෑමට නියමිව තිබූ ශ්‍රී ලංකා කනිෂ්ඨ මලල ක්‍රීඩා කණ්ඩායම ගුවන් ප්‍රවේශ පත් නොමැති කමින් ඊයේ (31 වැනිදා) දක්වා ප්‍රමාද වීම හේතුවෙන් මේ තත්ත්වය උද්ගතවී තිබේ.

කොලොම්බියාවේ පැවැත්වෙන අදාළ තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් 7 දෙනකු සුදුසුකම් ලබා තිබිණි. ඒ අනුව තරගාවලිය සඳහා පිටත්ව යන ක්‍රීඩකයන් හට ගුවන් ප්‍රවේශ පත් ලබා දීමට ක්‍රීඩා අමාත්‍යාංශයෙන් අදාළ මුදල් වෙන් කර තිබුණද පිටත්ව යෑමට නියමිත දිනය වූ පසුගිය 29 වැනිදා දක්වාත් ප්‍රවේශපත් ලබා දීමට නිලධාරීන් අපොහොසත් වී තිබිණි.

කෙසේ වෙතත් පසුගිය 29 වැනිදා සිට මලල ක්‍රීඩා සංගමය ඉදිරිපිට සිට ගුවන් ප්‍රවේශ පත් ලබා ගැනීමට  රැය පහන් කළ මලල ක්‍රීඩකයන්ගේ බලාපොරොත්තු ඉටුකරමින් මේ පිළිබඳ අවධානය යොමුකළ ජනාධිපතිවරයා සහ ක්‍රීඩා ආමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ක්‍රීඩකයන් තිදෙනකුට සහ පුහුණුකරුවකුට පෙරේදා (30 වැනිදා) කොලොම්බියාව බලා පිටත්ව යෑමට අවස්ථාව උදාවිය. අනෙක් ක්‍රීඩකයන් සිව් දෙනා සහ පුහුණුකරු ඊයේ දිනයේදී තරගාවලිය සඳහා පිටත්ව යෑමට නියමිතව තිබිණි. ඒ අනුව තරුෂි කරුණාරත්න, හිරුෂ හෂේන් සහ නදුන් කවීශ පෙරේදා පිටත්ව යෑමට නියමිතව තිබුණද තරුෂි කරුණාරත්නට එහිදී එම අවස්ථාව මග හැරිණි. ඒ අනුව ඊයේ පිටත්ව යෑමට නියමිතව සිටි ක්‍රීඩකයන් සිව් දෙනා වන රුමේෂ් තරංග, අමේෂා හෙට්ටිආරච්චි, පසිඳු මල්ෂාන්, ධනුක දර්ශන  සමගින් තරුෂි කරුණාරත්න ඊයේ කොලොම්බියාව බලා පිටත්ව යෑමට නියමිතව සිටියේය.

කරුණු එසේ වුවද අදාළ තරගාවලිය අද ආරම්භ කෙරෙන අතර පැය 29කට ආසන්න ගුවන් ගමනකින් අනතුරුව ඊයේ පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට අද දිනයේ පැවැත්වෙන තරග කිහිපයක් මග හැරීමට බොහෝදුරට ඉඩ ඇතැයි වාර්තා වේ. මීටර් 800 ඉසව්ව නියෝජනය කරන තරුෂි කරුණාරත්නට එම අවස්ථාව අහිමිවන අතර අනෙකුත් ක්‍රීඩකයන් හට විවේකයකින් තොරව පිටියට අවතීරණ වීමට සිදුව තිබේ.

කසුන් රණවීර
 

advertistmentadvertistment
advertistmentadvertistment