වේට්ටියකින් සැරසුණු චීන තානාපති නල්ලූර් කෝවිලේ

556

උතුරු පළාත් තුන් දින සංචාරයක නිරතවූ චීන තානාපතිවරයා පසුගිය සිකුරාදා දිනයේ මන්නාරමේ ආදම්ගේ පාලම ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ පිහිටි දූපත් ආශ‍්‍රිතව සංචාරයක නිරත විය. ඔහු මේ ගමන ආරම්භ කළේ පසුගිය බදාදා දිනයේය. කොළඹ චීන තානාපති කී. සෙන්හොං ගේ පළමු උතුරු සංචාරය මෙය වූ අතර එය යාපනය මහජන පුස්තකාලයෙන් ආරම්භ කෙරිණි

 2021 වසරේ මුල් භාගයේදී ඩෙල්ෆ්, නාගදීපය, සහ අනලතිව් දූපත්වල පුනර්ජනනීය බලශක්ති බලාගාර ඉදිකිරීම සඳහා වන ටෙන්ඩරය චීන සමාගමකට ලබාදීමට එරෙහිව ඉන්දියාව, ශ‍්‍රී ලංකාවට දැඩි විරෝධයක් පළ කර තිබිණි. මෙම කොන්ත‍්‍රාත්තුව ලංකා විදුලිබල මණ්ඩලය විසින් ක‍්‍රියාත්මක කෙරෙන, ආසියානු සංවර්ධන බැංකුව විසින් අරමුදල් සැපයෙන ආධාරක විදුලි සැපයුම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ කොටසකි. කෙසේ නමුත් පසුගිය දෙසැම්බර් 01 වැනිදා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කොළඹ චීන තානාපති කාර්යාලය ප‍්‍රකාශ කළේ ඩෙල්ෆ්, නයිනතිව්, අනලතිව් දූපත්වල ක‍්‍රියාත්මක කිරීමට සූදානම් වූ චීන දෙමුහුන් විදුලිය ව්‍යාපෘති අත්හිටුවීමට තීරණය කළ බවයි. ‘‘තුන්වන පාර්ශ්වයකින් ඉදිරිපත් වූ ‘ආරක්ෂාව පිළිබඳ ගැටලූ’ හේතුවෙන්” එම පියවර ගත් බව එම නිවේදනය සඳහන් විය. තුන්වන පාර්ශ්වය අන්කවරෙක්වත් නොව ඉන්දියාව බව පැහැදිලිය. ‘‘සයිනෝ සෝ හයිබි‍්‍රඞ් ටෙක්නොලොජි” සමාගම ශ‍්‍රී ලංකාව අතහැර මාලදිවයින් දූපත්වල සූර්ය බලාගාර 12ක් පිහිටුවීම සඳහා නොවැම්බර් 29 වැනිදා මාලේ ආණ්ඩුව සමග ගිවිසුමකට අත්සන් කර තිබිණි. ශ‍්‍රී ලංකාව සම්බන්ධව ඉන්දියාව සහ චීනය රාජ්‍යතාන්ත‍්‍රික බල අරගලයක නිතර වෙමින් පවතින පසුබිමක කොළඹ චීන තානාපති කී. සෙන්හොංග් මේවන විට ශ‍්‍රී ලංකාවේ උතුරේ සංචාරයක නිරතව වීම බොහෝ දෙනකුගේ අවධානයට යොමු විය. ඉන්දියන් එක්ස්ප‍්‍රස් පුවත්පතට ලිපියක් ලියන නිරුපමා සුබ‍්‍රමනියම් චීන තානාපතිගේ යාපන ගමන ගැන මෙසේ සඳහන් කර තිබිණි. ‘‘කමිස ගලවා සාම්ප‍්‍රදායික සුදු වස්ත‍්‍ර හැඳ, උඩුකය නිරුවත් මිනිස්සු පලතුරු හා පූජා භාණ්ඩ සහිත තැටි රැුගෙන කෝවිලට ඇතුළු වෙති. ශ‍්‍රී ලංකාවේ යාපනයට නුදුරින් පිහිටි නල්ලූර් කන්දස්වාමි කෝවිලේ එය සිදු වන නිසා අසාමාන්‍ය දෙයක් නැත. නමුත් පසුගිය බ‍්‍රහස්පතින්දා බැතිමතෙකු ලෙස සැරසී අනෙක් අය සමග කෝවිලට ගෙන ගිය පුද්ගලයා කැපී පෙනුණි. ඒ ශ‍්‍රී ලංකාවේ චීන තානාපති කී. සෙන්හොංග් වේ. උතුරේ යුද්ධය අවසන් වී වසර 12ක් පිරෙද්දී චීන තානාපතිගේ උතුරු ගමන විශේෂ වැදගත්කමක් ඇති බව ඉන්දීය මාධ්‍ය ප‍්‍රකාශ කරයි.

 මෙරට ඉතිහාසයේ පළමුවරට චීන තානාපතිවරයෙකු වෙට්ටියකින් සැරසී, නල්ලූර් කෝවිල වැඳ පුදා ගැනීමට පැමිණීම ද සුවිශේෂී අවස්ථාවක් විය. එනිසාම චීන ගමන ගැන ඉන්දියාව බෙහෙවින් කලබල විය. දකුණු ආසියාව තම ‘‘වැයික්කිය” ලෙස සලකන ඉන්දියාව යාපනය තමන්ගේම කොටසක් ලෙස සිතයි. උතුරට පරිප්පු හෙළුවේද එනිසාය.

 උතුරු පළාත් තුන් දින සංචාරයක නිරතවූ චීන තානාපතිවරයා පසුගිය සිකුරාදා දිනයේ මන්නාරමේ ආදම්ගේ පාලම ආශ‍්‍රිත මුහුදු ප‍්‍රදේශයේ පිහිටි දූපත් ආශ‍්‍රිතව සංචාරයක නිරත විය. ඔහු මේ ගමන ආරම්භ කළේ පසුගිය බදාදා දිනයේය. කොළඹ චීන තානාපති කී. සෙන්හොං ගේ පළමු උතුරු සංචාරය මෙය වූ අතර එය යාපනය මහජන පුස්තකාලයෙන් ආරම්භ කෙරිණි. එහිදී ආසියාවේ සුප‍්‍රසිද්ධ පුස්තකාලයට ලැප්ටොප් පරිගණක සහ පොත් ද පරිත්‍යාග කිරීමට චීනය කාරුණික විය. චීන තානාපති ගමනට උපරිම ආරක්ෂාව ලබා දී තිබූ අතර තානාපතිවරයාගේ සමීප ආරක්ෂාවට හමුදා කමාන්ඩෝ භටයින් යොදවා තිබිණි. සංචාරය අතර තුර චීන තානාපති කී. සෙන්හොංග් මාධ්‍යයට අදහස් පළ කරමින් පැවසුවේ, ‘‘ලංකාවත් චීනයත් අපි දෙගොල්ලොටම එකට වැඩ කරලා අනාගතය දීප්තිමත් කරන්න පුළුවන්. මම හිතනවා ඒකට මේක ආරම්භයක් කියලා. ඉදිරියේදී සහයෝගිතාවයෙන් වැඩ කිරීමට අවස්ථා සොයා ගැනීමට අපි බැඳී සිටිනවා,” යනුවෙනි. උතුරු පළාතේ දිස්ත‍්‍රික්ක 5කට චීනයෙන් ROI ජංගම ජල පිරිපහදු 5ක් පරිත්‍යාග කිරීමද චීන තානාපතිවරයාගේ උතුර පළාත් සංචාරයේ ජනතාවට වැදගත් වූ තවත් පියවරකි. යාපනයේ ධීවරයින්ට දැල් ආම්පන්න හා වියළි ආහාර ද්‍රව්‍ය බේදා දීමට ද චීන නියෝජිතයන් එක්විය.

 චීන තානාපති උතුරු පළාත් සංචාරය පිළිබඳ සමාජ මාධ්‍යවල විවිධ ප‍්‍රතිචාර දක්නට ලැබිණි. ඇතැමුන් එය යහපත් පියවරක් ලෙස හඳුන්වා දෙමින් කියා තිබුණේ, ‘‘අඩුම තරමින් දෙමළ සමාජයට චීන ජනතාවගේ හැසිරීම තේරුම් ගත හැකිය, එය ඉන්දියානුවන්ට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් ය” යනුවෙනි. චීන තානාපති වරයා යාපනයේ කළ සංචාරය සංස්කෘතික දූත මෙහෙවරක් ලෙස සැලකිය හැකිය. වෙට්ටියකින් සැරසී ඔහු උතුරේ දෙමළ ජනයාට විශේෂ පණිවුඩයක් ලබා දුන්නේය. අපි උතුරු ප‍්‍රදේශයෙත් ව්‍යාපෘති කරන්න කැමතියි. බිජිං හා යාපනය එක්කරන්න කැමති කියන සුබදායී පණිවිඩයක් ලබා දීමට චීන තානාපති කටයුතු කළ බව පෙනේ. ‘‘මෙතෙක් දෙමළ ජනයා චීන ජාතිකයන් සමඟ එතරම් මිත‍්‍රත්වයක් පවත්වා ගෙන නැහැ මෙම සංචාරය දෙමළ ජනතාව සමඟ සබඳතා වැඩි දියුණු කර ගැනීමට විය හැකියි.” යනුවෙන් යාපනයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සහ හිටපු ප්ලොට් සංවිධානයේ නායක ධර්මලිංගම් සිද්ධාර්තන් ඉන්දියන් එක්ප‍්‍රස් පුවත්පත හා ප‍්‍රකාශ කර තිබිණි. ඊ.පී.ආර්.එල්.එෆ්. සංවිධානයේ හිටපු සාමාජිකයෙකු වන යාපනයේ පදිංචි ශ‍්‍රීතරන් තිරුනාවක්කාරසු පැවසුවේ, චීන රාජ්‍ය තාන්ත‍්‍රිකයෙකු විසින් සිදුකළ මෙම සංචාරය වඩා සුවිශේෂ බවයි

 උතුරේ බලශක්ති ව්‍යාපෘති ඉන්දියාවේ බලවත් ව්‍යාපාරිකයන් වෙත පවරෙද්දී චීන තානාපති යාපනයේ සංචාරය කිරීම දේශපාලනිකව වැදගත්කමක් උසුලයි. කොළඹ වරායේ බටහිර පර්යන්තය සංවර්ධනය කරන අදානි සමූහයේ සභාපති වන, ඉන්දීය ප‍්‍රකෝටිපති ව්‍යාපාරික ගෞතම් අදානි සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් පිරිසක් පසුගිය ඔක්තෝබර් 25 වැනිදා මන්නාරමේ සංචාරයක නිරත විය. මේ පිරිස ඔක්තෝබර් 24 වැනිදා රාත‍්‍රියේ දිවයිනට පැමිණ තිබුණි.

 බටහිර පර්යන්ත ව්‍යාපෘතිය, සහ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත‍්‍ර පිළිබඳව මෙහිදී ඔහු ශ‍්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡුා පවත්වා තිබුණු බව වාර්තා වේ. ජාත්‍යන්තර සබඳතා පිළිබඳ විචාරකයන්ගේ අදහස වන්නේ වත්මන් රජය චීනය, ඉන්දියාව, සහ ඇමෙරිකා එක්සත් ජනපදයට විශේෂ වරප‍්‍රසාද ලබා දෙමින්, විදේශ ප‍්‍රතිපත්තිය දෝලනය කරමින් සිටින නමුත් චීනයට ශ‍්‍රී ලංකාවේ තිබුණු බලය මේ වන විට ගිලිහෙමින් පවතින බව යි. චීන ව්‍යාපෘතිය ඉන්දීය අදානි සමාගම සතුවීම එක්තරා විදිහකට චීනය රාජ්‍යතාන්ත‍්‍රිකව ශ‍්‍රී ලංකාව තුළ පසුබෑමක් ලෙස දැකිය හැකිය. මේ වනවිට චීනය යම්කිසි හිතේ අමාරුවක සිටින බව රහසක් නොවේ. මහජන බැංකුව අසාදු ලේඛනගත කරේ එම නිසාය. චීන පොහොර නැවට වන්දි ගෙවීමට කොළඹ ආණ්ඩුව තීරණය කරන්නේද චීන ආණ්ඩුවේ කනස්සල්ල දුරු කිරීම සඳහාය. චීනය අපට බෙහෙවින් හිතවත් රටකි. එය අමතක කළ යුතු නැත. ලෝක ආර්ථික සමුළුව පවසන පරිදි චීනය විදෙස් රටවල යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා ආයෝජනය කර ඇති මුදල ඇමරිකානු ඩොලර් ටි‍්‍රලියනයකි. ‘එකම තීරයක් – එකම මාවතක්‘ වැඩසටහනට රටවල් හැටකට අධික සංඛ්‍යාවක් සම්බන්ධ වෙයි. ශ‍්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතිය ඇතුළුව පාකිස්තානය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් තුළ චීනය විසින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කොට තිබේ. 2015 ආණ්ඩු වෙනසින් පසුව වරාය නගරයේ ඉදිකිරීම් නවත්වා දැමුවද වසරකින් පසුව යළි එහි ඉදිකිරීම ආරම්භ විය. ඉන්දියාව නම් වරාය නගරයට කොහෙත්ම කැමති නැත. 2015 ආණ්ඩු වෙනසට වරාය නගර ව්‍යාපෘතියද බලපෑ බව ප‍්‍රකට රහසකි.

 මේ අතර කොළඹ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් හමුවී සාකච්ඡුාවක නිරත වූයේ පසුගිය බ‍්‍රහස්පතින්දා දිනයේය. ඉන්දීය මහ කොමසාරිස්වරයා සහ විදේශ අමාත්‍යවරයා අතර මෙම හමුව සිදුවූයේ චීන තානාපතිවරයා උතුරේ සංචාරයක යෙදෙන අතරවාරයේ වීම විශේෂත්වයකි. ඉන්දියාව හා ශ‍්‍රී ලංකාව අතර ක‍්‍රියාත්මක වෙමින් පවතින ද්වීපාර්ශ්වික කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව මෙම හමුවේදී සාකච්ඡුා වූ බව විදේශ අමාත්‍යාංශය නිවේදනය කර තිබිණි. මේ අතර දිල්ලි ආණ්ඩුව දෙමළ සන්ධාන නායකයන්ට එරටට පැමිණෙන ලෙස ආරාධනා කර ඇත. පළාත් සභා ඡුන්දය තවදුරටත් කල් යෑම ගැන ඉන්දියාව සිටින්නේ සතුටින් නම් නොවේ. එහෙත් ඉන්දියාවට අවශ්‍ය ලෙස මෙහේ මැතිවරණ තබන්නට නොහැකිය.

 * චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment