වේයන්ගොඩ අසරණ පවුලක් දිවි ගෙවූ කුඩා නිවස ගිනිගෙන වැනසෙයි

414

ප්‍රදේශවාසීන්ගේ පිහිටෙන් දරුවන් සිව් දෙනාගේ හා මිත්තණියගේ දිවි බේරෙයි
දරුවන් සිව් දෙනාම අවු. 11ට අඩුයි
මව සහ පියා කුළී වැඩක් සොයා ගිය අතරේ
පොත්පත් පිළිස්සීමෙන් දරුවන්ගේ පාසල් ගමනත් නැවතිලා
සියලුම බඩු මුට්ටු පිච්චිලා
අසරණ දරු පවුලට සරණක් වුණොත් ලොකු පිනක්

වේයන්ගොඩ අසරණ පවුලක් දිවි ගෙවූ කුඩා නිවස ගිනිගෙන වැනසෙයි

වයස අවුරුදු 11 න් පහළ දරුවන් සිව්දෙනෙකු සහ ඔවුන්ගේ මිත්තණිය පමණක් නිවසේ සිටින අවස්ථාවේදී වේයන්ගොඩ කුරීකොටු ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉකුත් 25 වන දා පස්වරුවේ ගිනිගෙන ඇත. මෙම පවුලේ කුඩාම දරුවා වයස අවුරුදු තුනහමාරක් වන අතර එම දරුවා රෝගී තත්ත්වයෙන් පසුවේ.

ගින්න හටගත් අවස්ථාවේ දී දරුවන්ගේ මව සහ පියා කුලී රැකියාව සඳහා නිවසෙන් පිටත්ව ගොස් සිටි අතර ප්‍රදේශවාසීන් වහා ක්‍රියාත්මක වී දරුවන් සිව්දෙනා සහ අසනීප තත්ත්වයේ පසුවන වයෝවෘද්ධ මිත්තණියගේ දිවි බේරා ගැනීමටත් ගින්න පැතිර යාම වළක්වා ගැනීමටත් සමත්ව ඇත.

වේයන්ගොඩ අසරණ පවුලක් දිවි ගෙවූ කුඩා නිවස ගිනිගෙන වැනසෙයි

වයස අවුරුදු 11 ක් වූ පිරිමි දරුවා විසින් හඳුන්කූරක් පත්තු කිරීමට ගිය අවස්ථාවේ මෙම ගින්න හටගෙන ඇති බව නිවෙස් හිමියන් සහ ප්‍රදේශවාසීහු පවසති.

මෙම කුඩා දරුවන්ගේ පාසල් පොත් බෑග් සපත්තු ඇතුළු බොහෝ දෑ මෙන්ම නිවසේ දොර ජනෙල් සහ වහලයට ගින්නෙන් දැඩිව හානි සිදුවී ඇත. ඉතා අඩු පහසුකම් සහිත මෙම නිවස 2002 වර්ෂයේදී සමෘද්ධි අරමුදල් මගින් ඉදිකර දුන් එකක් වේ.

දරුවන්ගේ ඇඳුම් පැළඳුම් පවා ගින්නෙන් විනාශ වී වීම හේතුවෙන් මේ වන විට ඔවුන්ට දැන් ඉතිරිව ඇත්තේ ඇඳි වත පමණි. රාත්‍රියේදී නිදා ගැනීම සඳහා ඇඳක්වත් නොමැත. පාසල් පොත් සහ සපත්තු ද ගින්නෙන් විනාශ වී ඇති බැවින් මේ වන විට දරුවන්ට පාසල් යාමට ද නොහැකි තත්ත්වයක් උදාවී ඇත.

පාසල් වයසේ පසුවන මෙම අසරණ දරු පවුලට යම් උපකාරයක් කිරීමට කැමැති අයෙක් වේ නම් එය මහඟු‍ උපකාරයක් වනු නොවනුමානය.
වේයන්ගොඩ ඉන්දික තුෂාර

advertistmentadvertistment
advertistmentadvertistment