වේ ගඟේ මැණික් වෙන්දේසිය පිටුපස දේශපාලන අතක්

194

රත්නපුර වේ ගඟ මැණික් ඉඩම් වෙන්දේසිය අත්හිටුවීම පිටුපස ඉන් ප‍්‍රතිලාභ ලබන ප‍්‍රාදේශීය දේශපාලනඥයකු සිටින බව ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට වාර්තා වෙයි.

එම දේශපාලනඥයා අනවසර මැණික් ගරන්නන් වෙත එම කටයුතු කරගෙන යෑම සඳහා දේශපාලන බලය භාවිතා කරමින් ඉඩ ලබා දෙන බවත් ඒ හරහා ඔහු ලක්ෂ ගණනක ආදායම් උපයමින් පවතින බවත් හෙළිවී ඇත.

මෙම ඉඩම් වෙන්දේසි අත්හිටුවීම හේතුවෙන් රජයට විශාල මුදලක් අහිමි වී යන බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ නිලධාරියෙක් ‘දිවයින ඉරිදා සංග‍්‍රහය’ට පැවසීය.

කෙසේ වෙතත් මෙම වෙන්දේසි කිරීම පිටුපස විශාල ගැටලූ සහගත තත්ත්වයන් පවතින බවත් මේ හරහා ප‍්‍රදේශයේ මැණික් සම්පත ජාවාරම්කරුවන් කිහිපදෙනකු වෙත යන බවටත් රත්නපුර ප‍්‍රදේශයේ පතල්කරුවන්ගේ එකමුතුව චෝදනා කරයි. එසේම මේ පිටුපස විෂය භාර ඇමැතිවරයා, ප‍්‍රබල දේශපාලනඥයකුගේ පුත‍්‍රයකු, ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ ඉහළ නිලධාරීන් සිටින බව ද එම සංවිධානය සඳහන් කරයි.

රත්නපුර දිස්ත‍්‍රික්කයේ නිවිතිගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඇල්ල සිට හල්දොල එරබද්ද දක්වා වන කොටස මැණික් ගැරීම සඳහා වෙන්දේසි කිරීමට ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කටයුතු යොදා තිබූ අතර ඒ සඳහා මිල ගණන් කැඳවීම ඔක්තෝබර් 26 වැනිදාට යෙදී තිබිණි. නමුත් මෙය රජයේ ඉහළ නියෝගයක් මත පසුගිය 21 වැනිදා අත්හිටුවා ඇත.

සිරිමන්ත රත්නසේකර

advertistmentadvertistment
advertistmentadvertistment