වෛද්‍යවරුන්ගේ නව වෘත්තිය සමිති සන්ධානය වෛද්‍ය හා සිවිල් අයිතීන් රැක දීමට කැප වෙනවා – වෛද්‍ය ජයරුවන් බණ්ඩාර හා චමල් සංජීව

388

අද වන විට රටේ වෛද්‍යවරුන් ඒකපුද්ගල න්‍යායපත‍්‍ර අනුව කටයුතු කිරීම නිසා වෛද්‍ය ක්‍ෂේත‍්‍රය පහළට ඇද වැටී ඇති බවත් තම වෘත්තීය සමිති සන්ධානය වෛද්‍යවරුන්ගේ වෘත්තීය හා සිවිල් අයිතිවාසිකම් මෙන්ම පොදු ජනතාවගේ සෞඛ්‍ය හා සිවිල් අයිතීන් වෙනුවෙන්ද කටයුතු කරන බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය ජී. ජී. චමල් සංජීව හා ලේකම් වෛද්‍ය ජයරුවන් බණ්ඩාර යන මහත්වරු සඳහන් කළහ.

වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය (MCPA) වෛද්‍යවරුන්ගේ පවතින වෘත්තීය හා සුබසාධක ගැටලු සම්බන්ධයෙන් ද සිවිල් අයිතිවාසිකම් කඩවීම සම්බන්ධයෙන් ද කටයුතු කරන අතරම වෛද්‍ය සේවයෙහි ප‍්‍රගමනය වෙනුවෙන් අනෙක් වෘත්තීය සමිති සමග ඒකාබද්ධව කටයුතු කිරීමට සූදානම් බවත් ඔව්හු කීහ.

එසේම ප‍්‍රාදේශීය රෝහල්වල සිටින බොහෝ විශේෂඥ වෛද්‍යවරු සඳහා පවතින සුබ සාධක පහසුකම් ඉතා අඩු මට්ටමක පවතින බවත් විශේෂයෙන්ම නේවාසිකාගාර පහසුකම් සහ තම දරුවන් සඳහා පාසල් ලබා ගැනීමේදී ඇති වන ගැටලු ආදියට විසඳුම් ලබාදීමට කටයුතු කරන බවත් පැවසීය. දැනට අපේ රටට ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ලැබී ඇති අවස්ථාවකදී එකී තත්ත්වයන් වැඩි දියුණු කිරීම සඳහා ප‍්‍රතිපත්ති සකසමින් කටයුතු කළ යුතු අවශ්‍යතාවයක් ඇති අතර බොහෝ දියුණු රටවල් මෙන් දේශපාලන න්‍යායපත‍්‍ර සමග රැඳී නොසිට දිගුකාලීන ප‍්‍රතිපත්ති සකස් කරමින් මානව සම්පත සහ භෞතික සම්පත් දැනුම කුසලතා හා ආකල්ප වැඩි දියුණු කිරීමට කටයුතු කළ යුතු බව ඒ මහතා පැවැසීය.

මේ අවස්ථාවට වැඩමකළ ඇඹිලිපිටිය බෝධිරාජාරාම විහාරස්ථානයේ විහාරාධිපති අතිපූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් අදහස් දක්වමින් ප‍්‍රකාශ කළේ අද වන විට මෙරට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර සම්බන්ධයෙන් මහජනතාවගේ දැඩි කලකිරීමක් නිර්මාණය වී පවතින පසුබිමක වෛද්‍යවරුන් සහ ජනතාව යන කණ්ඩායම් දෙකම ඉලක්ක කොට නව වෘත්තීය සමිති ව්‍යාපාරයක් දේශපාලනමය පදනමකින් තොරව ආරම්භ වීම ඉතා සුබදායක ලකුණක් බවයි. මෙම අවස්ථාවට වැඩමකළ අතිපූජ්‍ය පාහියංගල ආනන්ද සාගර හිමියන් පැවසුවේ මේ වන විට මෙරට වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති ව්‍යාපාර දේශපාලනීකරණයට ලක්වීම නිසා ඉතා කනගාටුදායක පසුබිමක් නිර්මාණය වී පවතින බවත් පොදු අරමුණකින් කටයුතු කළ බොහෝ වෘත්තීය සමිති ව්‍යාපාර තම පෞද්ගලික අරමුණු වෙනුවෙන් වෛද්‍යවරුන්ගේ වෘත්තීය අභිමානය සහ ජනතාවගේ සිවිල් අයිතිවාසිකම්වලට හානියක් වන ලෙස කටයුතු කිරීම ඉතා කනගාටුදායක බවයි.

advertistmentadvertistment
advertistmentadvertistment