වෛද්‍යවරු – නීතිඥවරු – ඉංජිනේරුවරු – බැංකු ඇතුළු කාණ්ඩ 14ක අයට බදු ගැසට්ටුව එයි

401

ත්‍රිරෝද – යතුරුපැදි – අත් ට්‍රැක්ටර් හැර සෙසු වාහන හිමියන්ටත් ලියාපදිංචිය අනිවාර්යයි

අවුරුදු 18 සපුරන සියල්ලන්ද ‘බදු’ ලියාපදිංචිය කළ යුතුයි

වෛද්‍ය, ඉංජිනේරු, නීතිඥ, ගණකාධිකාරී, බැංකු, වාස්තු විද්‍යාඥ යන වෘත්තීන් ඇතුළු කාණ්ඩ දහහතරක (14) නියැළෙන අය ඊයේ (01දා) සිට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වීම අනිවාර්ය කර ඇත.

මුදල්, ආර්ථික ස්ථායිකරණ ඇමැතිවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ සඳහා වන මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

මේ අනුව එම ගැසට් නිවේදනයේ නියම කර ඇති කාණ්ඩවලට බදු ලියාපදිංචිය අනිවාර්ය වන අතර ඉන්පසු එම ලියාපදිංචි පුද්ගලයන් අතරින් සුසුසු අය සඳහා බදු ලිපිගොනු විවෘත කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් පියවර ගැනීමට නියමිතය.

අදාළ ගැසට් නිවේදනය අනුව මෙලෙස දේශීය ආදායම් කොමසාරිස්වරයා හමුවේ ලියාපදිංචි වීම අනිවාර්ය වන පිරිස වන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වෛද්‍යවරුන්, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ ලියාපදිංචි සාමාජිකයන්, ශ්‍රී ලංකා සහතිකලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනයේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනයේ සාමාජිකයන්, ශ්‍රී ලංකා බැංකුකරුවන්ගේ සංගමයේ සාමාජිකයන්, ශ්‍රී ලංකා වාස්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සාමාජිකයන්, ශ්‍රී ලංකා ප්‍රමාණ සමීක්ෂකයන්ගේ ආයතනයේ සාමාජිකයන්, ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥවරුන්, ප්‍රාදේශීය ලේකම්වරයා යටතේ ව්‍යාපාර ලියාපදිංචි කර ඇති පුද්ගලයන්, මෝටර් රථ දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචි කර ඇති පුද්ගලයන් (ත්‍රිරෝද රථ, මෝටර් බයිසිකල් සහ අත් ට්‍රැක්ටර් හැර), ශ්‍රී ලංකාවේ නිශ්චල දේපළක් මිල දී ගෙන ඇති හෝ අත්පත් කරගෙන ඔප්පුවක් හුවමාරු කර ගෙන ඇති පුද්ගලයින්, මාසිකව සේව්‍ය සේවක දෙපාර්ශ්වයෙන්ම එක්ව රු. 20,000ට වැඩි දායකත්ව මුදලක් ඕනෑම පාරිතෝෂිත අරමුදලකට හිමිකම් කියනු ලබන සේවකයන්, දේශීය අධිකාරීන්ගෙන් ගොඩනැගිලි අනුමත සැලසුමක් ලැබූ ඕනෑම අයකු සහ ශ්‍රී ලංකාව තුළ මාසිකව රු. 100,000 ක් හෝ වාර්ෂිකව රු. 1,200,000 ක ගෙවීමක් ලබන වෙනත් ඕනෑම අයෙකු යන අයයි.

මීට අමතරව 2023 දෙසැම්බර් 31 දිනට වයස අවුරුදු 18 සම්පූර්ණ වී ඇති, හෝ 2024 ජනවාරි 01 දින හෝ ඊට පසු වයස අවුරුදු 18 ට එළඹෙන සියලු තැනැත්තන් ද මෙම නව විධිවිධානයට යටත්වනු ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment