වෛද්‍යවරයකුට බැණ තර්ජනය කිරීම – රිෂාඩ්ගෙන් ප‍්‍රශ්න කිරීමට සිසිඩීයට උසාවියෙන් අවසර

148

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත් අධිකරණයෙන් ඊයේ (23 වැනිදා) අවසර ලබාගෙන ඇත.

ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් රිෂාඞ් බදියුදීන් මහතාගෙන් ඉදිරි දින කීපය තුළදී ප‍්‍රශ්න කිරීමට නියමිතය.

මෙම තර්ජනය සිදු කළ බව කියන අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරි කරමින් සිටි බන්ධනාගාර නියාමකවරුන් දෙදෙනකුගෙන් කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ලබාගෙන තිබිණි.

එමෙන්ම රිෂාඞ් බදියුදීන් මෙම තර්ජනය කළ බව කියන අවස්ථාවේ එම ස්ථානයේ සිටි බන්ධනාගාර රැුඳවියකුගෙන් ද ප‍්‍රශ්න කිරීමට කටයුතු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය පවසයි.

වැලිකඩ බන්ධනාගාර රෝහලේ වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ රාජකාරි කරන වෛද්‍යවරයකු විසින් පෙරේදා (22 වැනිදා) බොරැුල්ල පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් කියා තිබුණේ හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා තමන්ට මරණීය තර්ජන එල්ල කළ බවයි.

මේ සම්බන්ධයෙන් එම වෛද්‍යවරයා විසන් ද බන්ධනාගාර කොමසාරිස්වරයාට ද පැමිණිල්ලක් කර තිබිණි.

එම පැමිණිල්ලේ සඳහන් වන අන්දමට බදියුදීන් මහතා විසින් මෙම තර්ජනය කර ඇත්තේ ඉකුත් 15 වැනිදාය. වෛද්‍යවරයා රෝගියකු පරීක්‍ෂා කරමින් සිටියදී කිසිදු දැනුම්දීමකින් තොරව රිෂාඞ් බදියුදීන් මහතා එම කාමරයට ඇතුළුවී ඇත.

කොවිඞ් වසංගතය නිසා බන්ධනාගාර රෝහලේ ද දැඩි සෞඛ්‍ය නීති පනවා තිබූ අතර වෛද්‍යවරයා විසින් එක් වරකට එක් රෝගියකු පමණක් පරීක්‍ෂා කරනු ලබයි. එවැනි අවස්ථාවක අවසරය කින් තොරව කාමරයට ඇතුළුවීම පිළිබඳව වෛද්‍යවරයා රිෂාඞ් බදියුදීන් මහතාට අවවාද කර ඔහුට කාමරයෙන් ඉවත් වන ලෙස දැනුම් දී තිබේ.

රිෂාඞ් බදියුදීන් මහතා මෙහිදී දැඩි ලෙස කෝපයට පත්ව වෛද්‍යවරයාට බැණවැදී මරණීය තර්ජන එල්ල කර ඇත.

උඹ මහලොකු දොස්තර කෙනෙක්ද? මගේ යාළු දොස්තර කෙනෙක් මේ දැන් කෝල් කරලා මට ගෙන්න ගන්න පුළුවන්. මගේ වැඩ කරගන්න තමුසේ ඕනෙ නැහැ.

තමුසෙ දන්නවද මම මොකක් කරලද මෙතනට ආවෙ කියලා තමුසෙව වෙන ලෝකෙකට අරින්නත් මට පුළුවන්. පැයක් යන්න ඉස්සර ඕනෙ තැනකට මාරු කරලා යවන්නට මට පුළුවන්.

තමුසෙ වැඩිය දැ`ගලූවොත් පාරේ යනකොට තමුසෙයි තමුසෙගෙ කාර් එකයි අළුවෙලා තියෙයි. එතකොට තමුසෙගෙ ගෑණිට මිනිහෙක් ළමයින්ට තාත්තා කෙනෙක් නැතිව යැයි. තමුසෙ දැන ගන්නවා මම රිෂාඞ් බදියුදීන් යැයි කියමින් තර්ජනය කළ බව වෛද්‍යවරයා බොරැුල්ල පොලිසිය වෙත කළ පැමිණිල්ලේ සඳහන් වී ඇත.

මට පාර්ලිමේන්තු මන්ත‍්‍රී වරප‍්‍රසාද තියෙනවා. ආණ්ඩුව වගේම විපක්‍ෂය දෙකම මට සලකනවා. උඹේ ආයුෂ කාලය කෙටියි දොස්තර උඹ පරිස්සම් වෙලා ජීවත් වෙන්න තැනක් සොයා ගනින් යැයි කියමින්ද රිෂාඞ් බදියුදීන් තමාට තර්ජනය කළ බව වෛද්‍යවරයා සිය පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් කර තිබේ.

පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ත‍්‍රස්තවාදීන්ට ආධාර අනුබල දුන් බව කියන චෝදනා හා සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූ හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතා මේ වන විට බන්ධනාගාරගත කර සිටියි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්‍ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක් නන්දන මහතාගේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වාගෙන යයි.

හේමන්ත රන්දුණු

 

advertistmentadvertistment
advertistmentadvertistment