වෛද්‍යවරයාට තර්ජනය කිරීම – බන්ධනාගාරය ඇතුළේම රිෂාඩ්ට නඩු – විශේෂ විනිශ්චය සභාවක් පත් කෙරේ

270

බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරයකුට මරණීය තර්ජන එල්ල කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමැති රිෂාඞ් බදියුදීන් මහතාට එරෙහිව බන්ධනාගාර විශේෂ විනිශ්චය සභාවක් හමුවේ නඩු විභාගයක් පැවැත්වීමට කටයුතු කරන බව බන්ධනාගාර මාධ්‍ය ප‍්‍රකාශක චන්දන ඒකනායක මහතා ‘දිවයින’ට ඊයේ  (25 වැනිදා) පැවසීය.

වෛද්‍යවරයාට අපහාස කිරීම, මරණීය තර්ජන කිරීම, රාජකාරියට බාධා කිරීම යන චෝදනා යටතේ රිෂාඞ් බදියුදීන්ට එරෙහිව නඩු විභාග කිරීමට නියමිත බව ද ඒ මහතා පවසයි.

මෙම විනිශ්චය සභාව කොළඹ මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින මහෙස්ත‍්‍රාත්වරයකුගෙන් සහ බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයින් දෙදෙනකුගෙන් සමන්විත වන බව ද ඒ මහතා කීය.

බන්ධනාගාර නිරීක්ෂණ මණ්ඩලයේ සාමාජිකයන් බන්ධනාගාරය භාර ඇමැතිවරයා විසින් බන්ධනගාරයේ පරිපාලනමය නොවන වෙනස්කම් සිදුකිරීම සඳහා ස්වාධීනව කටයුතු කර නිරීක්ෂණ ඉදිරිපත් කිරීම සඳහා පත්කර සිටින බව ද ඒ මහතා පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා සහකාර බන්ධනාගාර අධිකාරිවරයකුගේ ප‍්‍රධානත්වයෙන් සිදු කළ පරීක්ෂණ වාර්තාවක් සකස් කර ඇති බවත් එහි කරුණු සැලකිල්ලට ගෙන විනිශ්ච සභාව මගින් කටයුතු කරන බවත් ඒකනායක මහතා කීය.

බන්ධනාගාරය තුළදී රැඳවියකු යම් වරදක් කළොත් බන්ධනාගාර ආඥා පනතේ 87/1 වගන්තිය යටතේ බන්ධනාගාර විනිශ්චය සභාවක් හමුවට අදාළ සැකකරු ඉදිරිපත් කිරීමට ලබාදී ඇති ප‍්‍රතිපාදන අනුව රිෂාඞ් බදුයුදීන් මහතා සම්බන්ධයෙන් කටයුතු කරන බව ද ඒ මහතා අවධාරණය කර සිටියේය. රිෂාඞ් බදුයුදීන් මහතා විසින් මැගසින් බන්ධනාගාරය තුළදී අදාළ වෛද්‍යවරයාට තර්ජනය කර තිබූ අතර ඒ සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් බොරැල්ල පොලිසියට ද පැමිණිලි කිරීමෙන් පසු පොලිසිය ද විමර්ශනයක් සිදුකරමින් පවතී.

චමින්ද සිල්වා
 

advertistmentadvertistment
advertistmentadvertistment