වෛද්‍යවරියක් වෙන්න ගිහින් හිරගෙයින් නැවතුන නාවික හමුදා නිලධාරිනිය…

2760

නිම්මි සිල්වා මාතර, පාලටුව ප‍්‍රදේශයේ පදිංචි තරුණියකි. මාතර ප‍්‍රදේශයේ ප‍්‍රසිද්ධ පාසලක අධ්‍යාපනය හැදෑරූ ඇයගේ එකම සිහිනය වූයේ වෛද්‍යවරියක වීමයි. ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හැදෑරූ ඇය දෙවතාවක් විභාගයට පෙනී සිටියද සරසවි වරම් හිමිකර ගැනීමට නොහැකි වූවාය.

‘‘මගේ සිහිනය මම අත්හරින්නේ නෑහ. කොහොමහරි මම වෛද්‍යවරියක් වෙනවා. ඒක කාටවත් වළක්වන්න බැහැ.” නිතරම ඇය එලෙස සිතුවාය. එලෙස සිතු ඇයට නාවික හමුදාවේ වෛද්‍ය බළකායට නිලධාරිනියන් බඳවා ගැනීම යන බව දැනගන්නට ලැබුණි. ඒ තම මිතුරකු මාර්ගයෙනි.

වහාම ඒ පිළිබඳ ඇය සොයා බැලූවාය. එහි දී දැනගන්නට ලැබුනේ නාවික හමුදාවේ වෛද්‍ය බළකායට සුදුසුකම් ලත් තරුණියන් බඳවා ගන්නා බවයි. දෙපාරක් නොසිතා ඇය ඒ සඳහා අයැදුම්පතක් දැමුවාය.

අයැදුම්පතට අනුව නාවික හමුදාවෙන් ඇයට කැඳවීමක් ලැබුණි. ඒ පළමු සම්මුඛ පරීක්ෂණය සඳහාය. ඒ සඳහා සාර්ථකව මුහුණ දුන් ඇය දෙවන සම්මුඛ පරීක්ෂණයට සුදුසුකම් ලැබුවාය. ඉන්පසු පැවැත්වූ දෙවන සහ තුන්වන සම්මුඛ පරීක්ෂණයෙන් ද සමත් වූ ඇය නාවික හමුදාවේ නිලධාරිනියක් ලෙස පුහුණුවට එක් වූවාය.

සාර්ථක පුහුණුවකින් පසු ඇය උපාධියක් සමග නාවික හමුදාවේ නිලධාරිනියක් ලෙස වෛද්‍ය බළකායේ සේවයට එක් වූවාය. වසර කිහිපයක් ඇය එලෙස සේවය කළාය. ඇයගේ එකම අරමුණ වූයේ වෛද්‍යවරියක වීමයි.

නාවික හමුදා සේවයේ යෙදී සිටියදීම 2012 වර්ෂයේදී ඇය කරාපිටිය වෛද්‍ය පීඨයට ඇතුළත් වුණි. ඒ නාවික හමුදාව යටතේය. වසර කීපයක් ඇය එම පීඨයේ අධ්‍යාපනය හැදෑරුවාය. 2015 වර්ෂයේ පැවැති දෙවන විභාගයෙන් ඇය අසමත් වූවාය. ඒ සමගම ඇයගේ වෛද්‍යවරියක වීමේ සිහිනය ද යළි බො`දවී ගියාය.

නැවත වරක් එම වෛද්‍ය විභාගයට පෙනී සිටීමට ඇය අකමැති වූවාය. එහෙත් වෛද්‍යවරියක වීමේ සිහිනය ඇයගේ සිතේ පැලපදියම් වී තිබුණාය.

‘‘මට වෛද්‍යවරියක් වෙන්න ඕනා. ඒත් දුක්විඳලා පාඩම් කරලා ආයි විභාග ලියන්න බැහැ. එ ලිවුවා කියලත් මං පාස් වෙන එකකුත් නැහැ. ඒක නිසා හොරට හරි සහතික හදාගන්න ඕනා.” වරක් නොව දස දහස් වාරයක් ඇය එලෙස සිතුවාය.

අවසානයේ ඇය නාවික හමුදා මූලස්ථානයට ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීමට පෙළඹුණාය. ඒ අනුව කරාපිටිය වෛද්‍ය පීඨයේ දෙවන වසර සමත් වූ බව සහතික කරමින් ඇය ව්‍යාජ සහතිකයක් නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කළාය.

වසර කිහිපයක් එලෙස ගත විය. කිසිදු බාධාවකින් තොරව ඇය තම රැකියාවේ නිරත වූවාය. නාවික හමුදාව 2018 වර්ෂයේදී ඇයව නිලයෙන් උසස් කිරීම සඳහා තීරණය කළහ. ඒ සඳහා අවශ්‍ය සුදුසුකම් ඔහුන් සොයා බැලූවේය.

ඇයගේ සුදුසුකම් පිළිබඳ සොයා බැලූ එම නිලධාරීන්ට දැනගන්න ලැබුණේ 2015 වර්ෂයේ දී කරාපිටිය වෛද්‍ය පීඨයේ දෙවෙනි වසර විභාගයෙන් ඇය අසමත් වී ඇති බවයි. වහාම එම නිලධාරීහු ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එම පරීක්ෂණවල දී අනාවරණය වූයේ එම නිලධාරිනිය ව්‍යාජ අධ්‍යාපන සහතිකයක් ඉදිරිපත් කර ඇති බවයි.

මෙම තොරතුරු හෙළි වීමත් සමග ඇයව නාවික හමුදාවෙන් සහ කරාපිටිය වෛද්‍ය පීඨයෙන් ඉවත් කළාය. ඒ 2018 වර්ෂයේ දීය. ඒ සමගම කරාපිටිය වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරිය මේ පිළිබඳව ගාල්ල මූලස්ථාන පොලිසියේ විශේෂ අපරාධ විමර්ශන අංශයේ පැමිණිල්ලක් දැමුවාය.

පැමිණිල්ලට අනුව ක‍්‍රියාත්මක වූ පොලිස් නිලධාරීහු ඒ පිළිබඳව පරීක්ෂණ පැවැත්වූහ. එම පරීක්ෂණවල දී අනාවරණය වූයේ සැකකාර තරුණිය කරාපිටිය වෛද්‍ය පීඨයේ පීඨාධිපතිගේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියගෙ ව්‍යාජ අත්සන් යොදා එම විභාගය සමත් බවට ව්‍යාජ විභාග ප‍්‍රතිඵල ලේඛනයක් ඉදිරිපත් කර ඇති බවයි.

ඉන් පසුව සැකකාරිය නාවික හමුදා මූලස්ථානයට ඉදිරිපත් කරන ලද එම ව්‍යාජ විභාග ප‍්‍රතිඵල ලේඛන පොලිසිය විසින් අධිකරණ නියෝග මත රජයේ රස පරීක්ෂක වෙත යොමු කරන ලදී. එහිදී රජයේ රස පරීක්ෂකවරයා වාර්තා කර ඇත්තේ එම අත්සන් වෛද්‍ය පීඨයේ පීඨාධිපති නීතියේ සහ නියෝජ්‍ය ලේඛකාධිකාරීවරියගේ නොවන බවයි.

රජයේ රස පරීක්ෂකවරයාගේ එම වාර්තාවට අනුව වසර දෙකහමාරකට පසුව එම සැකකාරියව පසුගිය දහ වැනිදා පොලිස් අත්අඩංගුවට ගැනුණි. එයට අමතරව නාවික හමුදා විසින්ද ඇයට විරුද්ධව පරීක්ෂණයක් සිදු කෙරමින් පවතී.

අවසානයේ ව්‍යාජ ලිපි ලේඛන ඉදිරිපත් කර උසස්වීම් බලාපොරොත්තු වූ එම සැකකාර නාවික හමුදා නිලධාරීනියට සිදු වූයේ රක්ෂිත බන්ධනාගාර ගතවීමටයි.

ගයාන් සමරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment