වෛද්‍ය උපදෙස් නැතිව ඖෂධ ගන්න එපා … ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය; වෛද්‍ය උපදෙස් සඳහා 247 අමතන්න

307

කොරෝනා ආසාදනයට ගොදුරු වූ ඇතැම් රෝගීන් ආසාදනයට ඇති බිය හේතුවෙන් වෛද්‍ය උපදෙස්වලින් තොරව හානිකර විය හැකි බෙහෙත් වර්ගයක් ලබා ගන්නා බවට තොරතුරු ලැබී ඇති බව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ උප සභාපති වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පැවසීය.

 මෙම බෙහෙත් වර්ගය කොරෝනා ආසාදනයේ අවසන් අවස්ථාවේ සිටින රෝගීන්ට ලබාදෙන බෙහෙත් වර්ගයක් බව පවසන වෛද්‍ය සුමනතිලක එය ලබා ගැනීමෙන් දියවැඩියා රෝගයෙන් පෙළෙන අයෙකුගේ රෝග තත්ත්වය උත්සන්න වන බව අවධාරණය කර සිටී.

 කොරෝනා ආසාදනයට ගොදුරු වී නිවෙස්වල ප‍්‍රතිකාර ලබන්නන් වෛද්‍ය උපදෙස්වලින් තොරව කිසිදු බෙහෙත් වර්ගයක් ලබා නොගත යුතු බව කොළඹ ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගම් කාර්යාලයේ පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡාවක් අමතමින් ඔහු පැවසීය.

 මෙහිදී කතා කළ වෛද්‍ය රුවයිස් හනීෆා මහතා, ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමයේ මෙහෙය වීමෙන් කොරෝනා ආසාදනය පිළිබඳව තොරතුරු ලබාදීමට පිහිටුවා ඇති ක්ෂණික දුරකථන අංකය (හොට් ලයින්* සඳහා ඉකුත් සඳුදා (23 දා* රාත‍්‍රියේ පමණක් දුරකථන ඇමතුම් 5000 ක් පමණ ලැබී තිබූ බව පැවසීය.

 මෙරට දුරකතන සමාගම් කිහිපයක් සමග ඒකාබද්ධව ශ‍්‍රී ලංකා වෛද්‍ය සංගමය විසින් ආරම්භ කර ඇති ‘‘ඩොක් කෝල් 247’’ නමැති මෙම ක්ෂණික දුරකථන ඇමතුම් සේවාව යටතේ 247 නමැති දුරකථන අංකයට අමතා කොරෝනා රෝග ලක්ෂණ පවතින ඕනෑම අයකුට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබා ගත හැකි අතර මෙහිදී වෛද්‍ය උපදෙස් ලබාදීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් 89 දෙනෙකු ඇතුළු වෛද්‍යවරු 189 දෙනෙකු සූදානමින් සිටින බව එම සේවාව භාරව සිටින වෛද්‍ය හනීෆා කීවේය.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment