වෝන්ට උපහාර පුදමින් ගාල්ලේ ටෙස්ට් සටන අද ඇරැඹෙයි

333

වසර 6කට පසු ශ්‍රී ලංකා සත්කාරකත්වය යටතේ සංචාරක ඔස්‌ට්‍රේලියානු ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායම අද (29 වැනිදා) ගාල්ලේදී තරග බිමට පිවිසීමට නියමිතව තිබේ. ඒ අනුව ‘වෝන් මුරලිදරන්’ කුසලාන ලෙසින් නම්කර ඇති දෙරට අතර තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් පළමු තරගය අද පෙරවරු 10.00ට ආරම්භ වේ.

අද ආරම්භ කෙරෙන තරගයේදී සුවිශේෂි කටයුත්තක් සිදු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදා තිබේ. ඒ අනුව මීට මාස කිහිපයකට පෙර මියගිය ඔස්‌ට්‍රේලියාවේ හිටපු සුපිරි දඟ පන්දු යැවීමේ ක්‍රීඩක ෂේන් වෝන්ට උපහාර දැක්වීමක් අද තරගය ආරම්භ කිරීමට පෙර සිදු කිරීමට නියමිතව ඇති අතර වෝන්ගේ පවුලේ සාමාජිකයින්, ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකරණ කමිටු සාමාජිකයින් සහ ඔස්‌ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නික් හොක්ලි මහතා ඊට සහභාගි වීමට නියමිතව තිබේ.

අයි.සී.සී. ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලිය යටතේ මෙම තරගාවලිය ක්‍රියාත්මක වේ. ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ මේ වනවිට පළමු ස්ථානයට පත් වන්නට ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම සමත්වී සිටින අතර එහි සිව්වැනි ස්ථානය ශ්‍රී ලංකාවට හිමි වී තිබේ. ටෙස්ට් ලෝක ශූරතා තරගාවලිය යටතේ ඔස්‌ට්‍රේලියාව තරග 8ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 5ක ජය හිමිකර ගනිමින් සහ පරාජයන් 3ක් සමගින් ප්‍රසාද ලකුණු 72ක් ලබා ගැනීමට සමත් වී සිටී. ශ්‍රී ලංකාව තරග 6කදී ජයග්‍රහන 3ක් , පරාජයන් 2ක් සහ එක් තරග සමවීමක් සමගින් ප්‍රසාද ලකුණු 40ක් ලබා ගැනීමට සමත්වී සිටී.

ශ්‍රී ලංකාව සහ ඔස්‌ට්‍රේලියාව අතර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් තරග 31ක් පවත්වා ඇති අතර ඉන් තරග 19ක් ජය ගැනීමට ඔස්‌ට්‍රේලියාව සමත්වී තිබේ. ශ්‍රී ලංකාව තරග 4ක් ජය ගනිද්දී දෙරට අතර තරග 8ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ. කණ්ඩායම් දෙක 2018/19 ශ්‍රී ලංකා – ඔස්‌ට්‍රේලියා සංචාරයේදී අවසන් වරට හමුවූ අතර එම තරගාවලිය 2-0ක් ලෙස ජය හිමිකර ගැනීමට ඔස්‌ට්‍රේලියානු කණ්ඩායම සමත්විය.

තරගාවලියේ තරග දෙකම පැවැත්වෙන ගාල්ල ක්‍රිකට්

ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වැඩි වාසි ගෙන දෙන ක්‍රීඩාංගණයක් වේ. දඟ පන්දු යවන්නන්ට යෝගය ලෙස සකස් කර ඇති ගාල්ල තණ තීරුවේදී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 37ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී තරග 21ක ජය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වී තිබේ. තරග 10ක් පමණක් පරාජයට පත් වී ඇති අතර තරග 6ක් ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වී තිබේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්‌ට්‍රේලියා කණ්ඩායම ගාල්ල තණ තීරුවේදී ටෙස්ට් තරග 4කදී එකිනෙකා හමුවී තිබේ. එහිදී අවස්ථා දෙකකදී ශ්‍රී ලංකාව හමුවේ ජය වාර්තා කිරීමට ඔස්‌ට්‍රේලියානුවෝ සමත්වී ඇති අතර තවත් තරගයක් ජය පරාජයකින් තොරව අවසන් වෙද්දී ශ්‍රී ලංකාව එක් තරගයක් පමණක් ජය ගැනීමට සමත්වී තිබේ. ඔස්‌ට්‍රේලියාව අවසන් වරට ශ්‍රී ලංකාවේ ටෙස්ට් සංචාරයක නිරත වූ 2016 වසරේදී එම ජයග්‍රහණය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්විය.

ශ්‍රී ලංකාව අවසන් වරට 2021දී ගාල්ල තණ තීරුවේදී ටෙස්ට් තරගාවලියක් ක්‍රීඩා කළ අතර බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව පැවැති එම තරගාවලිය 2-0කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබිණි.

ඔස්‌ට්‍රේලියානු කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියෙන් ඇරැඹි අතර එම තරගාවලිය 2-1ක් ලෙස ජය හිමිකර ගැනීමට සංචාරක කණ්ඩායම සමත්විය. අනතුරුව පැවැති තරග 5කින් සමන්විත එක්දින තරගාවලි 3-2ක් ලෙස ජයග්‍රාහිකව නිමාකර ගැනීමට ශ්‍රී ලංකාව සමත්වූ අතර වසර 30කට පසු ඔස්‌ට්‍රේලියානු කණ්ඩායමට එරෙහිව එක්දින තරගාවලියක් මවුබිමේදී ජයගත් පළමු අවස්ථාව ලෙසින් එය සටහන් විය. කෙසේ වෙතත් දෙරට අතර ටෙස්ට් තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුණහොත් ලෝක කුසලාන ටෙස්ට් ක්‍රිකට් ශූරතාවලියේ තෙවැනි ස්ථානය දක්වා ඉහළ නැගීමට ශ්‍රී ලංකා කණ්ඩායමට වැඩි අවස්ථාවක් මේ වනවිට උදා වී තිබේ.

අද තරගයට ක්‍රීඩා කරනු ඇතැයි සිතිය හැකි ශ්‍රී ලංකා කණ්ඩායම – දිමුත් කරුණාරත්න (නායක), පැතුම් නිශ්ශංක, කුසල් මෙන්ඩිස්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, දිනේෂ් චන්දිමාල්, නිරෝෂන් දික්වැල්ල , රමේෂ් මෙන්ඩිස්, ලසිත් ඇඹුල්දෙනිය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත/ජෙෆ්රි වැන්ඩර්සේ

ඕස්ටේ්‍රලියානු කණ්ඩායම – උස්මාන් කවාජා, ඩේවිඩ් වෝනර්, මාර්නස් ලැබුස්චේන්, ස්ටීවන් ස්මිත්, ට්‍රැවිස් හෙඩ් / ග්ලෙන් මැක්ස්වෙල්, කැමරන් ග්‍රීන්, ඇලෙක්ස් කේරි, පැට් කමින්ස්, මිචෙල් ස්ටාක්, නේතන් ලයන්, මිචෙල් ස්වෙප්සන්

කසුන් රණවීර

advertistmentadvertistment
advertistmentadvertistment