ශත සංවත්සර සැමරුම: පළමු දිනයේ 4 දෙනෙක් ශූරයෝ වෙති  

194

ශත සංවත්සර සැමරුම සංකේතවත් කරමින් හෝමාගම දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක‍්‍රීඩාංගණයේ දී ඇරඹි ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක‍්‍රීඩා තරගාවලියේ පළමු දිනය වූ ඊයේ (08) කැපී පෙනෙන දක්ෂතා ප‍්‍රදර්ශනය කිරීමට ඒ.එන්.එල්. ආරියදාස, වී. වැක්සන්, ජී. ඒ. ටී. අබේරත්න, නිසංසලා රත්නසිරි ඩබ්ලිව්. එස්. එම්. ප‍්‍රනාන්දු යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සමත් වූහ.

මෙවර තරගාවලියේ ආරම්භක ඉසව්ව වූ මීටර් 10,000 කාන්තා රන් පදක්කම ඒ.එන්.එල්. ආරියදාස දිනා ගත් අතර මීටර් 5,000 පිරිමි ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට වී. වැක්සන් සමත් විය. මීටර් 1,500 කාන්තා රන් පදක්කම ජී. ඒ. ටී. අබේරත්න ට ද මිටිය විසි කිරීම කාන්තා රන් පදක්කම නිසංසලා රත්නසිරිට ද යගුලිය දැමීම පිරිමි රන් පදක්කම එස්. එම්. ප‍්‍රනාන්දුට ද හිමි විය.

දේශීය මලල ක‍්‍රීඩා කෙළිබිමේ ප‍්‍රමුඛතම හා ප‍්‍රධානතම තරගාවලිය මෙය වන අතර ඒ සඳහා ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පදක්කම් ලාභී ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් 909 දෙනකු තරග වැද සිටිති. මෙම වසරේ චීනයේ දී ක‍්‍රියාත්මක කෙරෙන ආසියානු ක‍්‍රීඩා උළෙලට සහභාගි කරවන ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා කණ්ඩායම නම් කිරීමද මෙම තරගාවලියේ දක්ෂතා ඇසුරින් සිදු කිරීමට ශ‍්‍රී ලංකා ජාතික මලල ක‍්‍රීඩා තේරීම් කමිටුව තීරණය කර තිබීම හේතුවෙන් සෑම ඉසව්වකම තරගකාරීත්වය ඉහළ අගයක් ගෙන තිබීම විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ දෙවන දින තරග අද (09) පැවැත්වෙන අතර එය හෙට (10) දිනයෙන් අවසන් කිරීමට සංවිධායකයන් වන ශ‍්‍රී ලංකා මලල ක‍්‍රීඩා සම්මේලනය පියවර ගෙන තිබේ.

මීටර් 10,000 කාන්තා

  1. ඒ.එන්.එල්. ආරියදාස (ගුවන් හමුදාව) මී 35.01.28
  2. එස්.ඞී. හේරත් (යුද හමුදාව) මී 36.31.77
  3. එම්.එස්.පී.එම්. පෙරේරා (යුද හමුදාව) මී 36.46.98

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment