ශල්‍ය ගෝස් පොල්ල මිලියන 300 ක්

3

මාස හයකට වැඩි කාලයක සිට රෝහල්වලට ශල්‍ය ගෝස් සපයන නිෂ්පාදකයන් සඳහා රුපියල් මිලියන 300 ක පමණ මුදල් ගෙවීම ප්‍රමාදවීම නිසා ශල්‍ය ගෝස් රෝහල්වලට සැපයීමේ හිඟයක් ඇතිවිය හැකි යැයි ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ගේ සංගමය පවසයි. මෙය හදිසි මිලදී ගැනීම් සඳහා යෑමට දරන උත්සාහයක්ද යන්න සැක කරන බවද ඔවුහු කියා සිටිති.

රෝහල්වලට සැපයීම් සිදුකරන නිෂ්පාදකයන්ට ගෙවීම් කිරීම සඳහා මුදල් අමාත්‍යාංශයෙන් වරින්වර මුදල් ලබාදීම් සිදු කළත් වෛද්‍ය සැපයුම් අංශයේ ඇතැම් නිලධාරින් තම හිතවතුන්ට සහ විශාල ලෙස මුදල් ගෙවිය යුතු පිරිසට ප්‍රමුඛතාව දෙමින් ගෙවීම් සිදුකරන බවත් එසේ කරන්නේ කුමන අරමුණකින් ද යන්න පැහැදිලි නැති බවත් එම සංගමයේ නිලධාරියෙක් ‘දිවයින’ ට පැවසීය.

ශල්‍ය ගෝස් නිෂ්පාදකයන් සඳහා මුදල් ගෙවීම් ප්‍රමාදවීම් සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන්, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සහ වෛද්‍ය සැපයුම් අංශයෙන් විමසන අවස්ථාවල තම සංගමයේ සාමාජිකයන් ‘වටේ යවන’ ක්‍රමයක් ක්‍රියාත්මක වන බවත් එම නිලධාරියා කීය.

මෙරට රෝහල් පද්ධතියට වසර 52ක පමණ කාලයක සිට දේශීය වශයෙන් ශල්‍ය ගෝස් සැපයීම මෙරට නිෂ්පාදකයන් විසින් සිදුකරන බවත්, ශල්‍ය ගෝස් නිෂ්පාදකයන්ට යම් ප්‍රමාදයන් යටතේ මුදල් ගෙවීම් සිදු කරමින් සිටියත්, එය 2024 වර්ෂයේ සිට අඩපණව සිදුවන බවත් ඔහු කීය.

ශල්‍ය ගෝස් නිෂ්පාදකයන් රටපුරා 300 ක් පමණ සිටින බවත් රැකියාවල 10,000ක පමණ සහ යැපෙන්නන් ලක්ෂයක් (100,000) පමණ සිටින බවත්, නිෂ්පාදකයන් සඳහා නිසිලෙස මුදල් නොලැබීම නිසා සේවක වැටුප් ගෙවීම, විදුලි, ජල බිල් ගෙවීම් ඇතුළු ගැටලු රැසක් පැනනැගී ඇති බවත් ඇතැම් ආයතනවල පුහුණු ශ්‍රමිකයන් වෙනත් රැකියා සොයාගෙන යෑම ක්ෂේත්‍රයට බරපතළ පහර වැදීමක් බවත් ඔහු කීය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment