‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ – සමස්ත බාලක ශූරතාව වත්තල ලයිසියම්ට  – බාලිකා ශූරතාව වලල ඒ. රත්නායකට

257

සිව් දිනක් පුරා දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු ‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ බාලක සමස්ත ශූරතාව දිනා ගැනීමට වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 128) නියෝජනය කළ ක්‍රීඩකයෝ ඉකුත් සිකුරාදා (16) සමත් වූහ. මෙරට පාසල් බාලක මලල ක්‍රීඩා ක්ෂේත්‍රයේ දිශානතිය වෙනස් කළ අවස්ථාවක් ලෙස මෙම ජයග්‍රහණය මෙය දිස් විය. ඒ අනුව ‘ශ්‍රීමත් ජෝන් ටාබට් කුසලාන’ තහවුරු කරගත් මෙරට ප්‍රථම ජාත්‍යන්තර පාසල ලෙස ‘වත්තල ලයිසියම්’ ඉතිහාසයට එක් විය.

සමස්ත අනුශූරතාව බම්බලපිටිය ශාන්ත පීතර විදුහල (ලකුණු 62) ට හිමි විය. නැවත සංවිධානය වෙමින් මාතර රාහුල විදුහල (ලකුණු 59) සමස්ත තෙවන ස්ථානය දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණේය.

ප්‍රසාද ලකුණු 161 ක් වාර්තා කර ගනිමින් මෙවර බාලිකා සමස්ත ශූරතාව දිනා ගැනීමට වලල ඒ. රත්නායක මධ්‍ය මහා විදුහල සමත් වූයේ තම අපරාජිත බව නැවත සනාථ කර ගනිමින් වීම කැපී පෙණුනි.

මෙවර තරගාවලියේ බාලිකා අනුශූරතාව වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසල (ලකුණු 119) ට හිමි වූ අතර තෙවන ස්ථානය හැටන් අඹගමුව මධ්‍ය මහා විදුහල (ලකුණු 66) සතු විය. ලයිසියම් සහ අඹගමුව ක්‍රීඩිකාවන් ගේ දක්ෂතාව ඒ අතරේ ඉහළින්ම කැපී පෙණුනි.

මෙවර තරගාවලියේ අති ශූරතම මලල ක්‍රීඩකයා ලෙස මතුගම ආනන්ද ශාස්ත්‍රාලය නියෝජනය කළ ඉසුරු කෞෂල්‍ය අභිෂේක ලැබූ අතර බිබිල නන්නපුරාව මහා විදුහල නියෝජනය කළ එච්.එම්.එන්. මධුෂානී හේරත් අති ශූරතම මලල ක්‍රීඩිකාව ලෙස සම්මාන ලැබුවාය.

අවුරුදු 20 න් පහළ මීටර් 400 ඉසව්ව ජය ගනිමින් ප්‍රදර්ශනය කළ තත්. 46.96 දක්ෂතා පදනම් කර ගනිමින් ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන ද අවුරුදු 18 න් පහළ දුර පැනීම ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීම උදෙසා ප්‍රදර්ශනය කළ මීටර් 6.09 ක දක්ෂතාව පදනම් කර ගනිමින් මධුෂානී හේරත් ද දක්ෂතම ක්‍රීඩකයා සහ දක්ෂතම ක්‍රීඩිකාව නම් කිරීමට සංවිධායකයන් වූ ශ්‍රී ලංකා පාසල් මලල ක්‍රීඩා සංගමය පියවර ගත්තේය.

වසරේ දක්ෂතම දුර පැනීම ක්‍රීඩකයා ලෙස වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ යෙෂාන් විශ්මිත් ද දක්ෂතම උස පැනීමේ ක්‍රීඩකයා ලෙස තණමල්විල බෝධාගම විදුහලේ ඊ.එස්.ඩී. අනුහස් ද දක්ෂතම මීටර් 400 ක්‍රීඩකයා ලෙස ඉසුරු කෞෂල්‍ය අබේවර්ධන (මතුගම ආනන්ද ශාස්ත්‍රාලය) ද විශේෂ සම්මාන දිනා ගත්හ.

මෙවර පැවති තරග ආශ්‍රිතව නව තරග වාර්තා 12 ක් පිහිටුවීමට ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වීම කැපී පෙණුනි.

ඒ අතරේ විශේෂ අවධානය දිනා ගනිමින් වලල ඒ. රත්නායක මධ්‍ය මහා විද්‍යාලය බාලක මීටර් 400ං4 සහාය දිවීමේ ඉසව්වේ පැවති වාර්තාව බිඳ හෙළීමට සමත් විය. ඒ මිනිත්තු 3.57.86 ක දක්ෂතාවයක් ප්‍රදර්ශනය කරමිනි.

බාලක අංශයේදී යොෂීඩා ෂෝකන්ජී ජාත්‍යන්තර පාසලේ අෂ්මික කේෂාන් කෝරලගේ, වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ටී. මෙන්ඩිස්, අඹගමුව මධ්‍ය මහා විදුහලේ කේ. එම්. ධනුක දර්ශන, කොළඹ රාජකීය විදුහලේ ඩබ්ලිව්. ජයවීර රන්හිද, පානදුර ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ආර්. කරීම්, මතුගම ආනන්ද ශාස්ත්‍රාලයේ ඉසුරු කෞෂල්‍ය, චාවකච්චේරිය හින්දු විදුහලේ එස්. කල්‍යාණන් මෙන්ම බාලිකා අංශයේ දී එච්.ඒ.එන්.එන්. හෙට්ටිආරච්චි, බිබිල නන්නපුරාව මහා විදුහලේ එන්. මධුශානී හේරත් සහ චාවකච්චේරිය හින්දු විදුහලේ පී. අභිසලිනි, කොළඹ ශාන්ත ලෝරන්ස් කන්‍යාරාමයේ ඔෂිනි කොඩිකාර තම දක්ෂතාවය උපරිමයෙන් ප්‍රයෝජනයට  ගනිමින් නව තරග වාර්තා බිහි කළහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment