ශ්‍රීලනිප එක්වූ නව සන්ධානයේ පළමු රැලිය ඉතාමත්ම සාර්ථකයි – ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බලා ගන්න පුළුවන්

122

ඇමැති මහින්ද අමරවීර සහ ඇමැති සුසිල් ප්‍රේමජයන්ත අම්බලන්තොට ජන රැලියේදී කියති
ජනපතිගේ ගමන වෙනස් කළොත් රට යළි වැටෙනවා
ශ්‍රී ල.නි.ප.ය යුගයේ දැවැන්තම සන්ධානය බිහි කරනවා

මෑත යුගයේ බිහි කළ දැවැන්තම සන්ධානය ශ්‍රී ල.නි.ප.ය ප්‍රධානත්වයෙන් අපි බිහි කරනවා. නව සන්ධාන රැලියට අද අම්බලන්තොටට ආව ජනගඟ අපි ගත්ත තීරණය නිවැරදි බව තහවුරු කර තිබෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා අද රටේ ජනතාවට ජීවත් වෙන්න පුළුවන් විදිහට විශාල වෙනසක් කළා. මේ යන ගමන වෙනස් කළොත් නැවත රට යළි ගොඩගන්න බැරි තැනට වැටෙනවා යැයි ශ්‍රී ල.නි.ප.ය ජ්‍යෙෂ්ඨ උප සභාපති හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා අම්බලන්තොට නගරයේ පැවැති නව සන්ධානයේ ශ්‍රී ල.නි.ප. ප්‍රථම ජනරැලිය අමතමින් පැවැසීය.

දිනුම රටට – එක්ව පෙරට තේමාව යටතේ පැවැති මෙම මහජන රැලියේ විශේෂත්වය වූයේ විවිධ පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 21 දෙනෙක් සහභාගි වී සිටීමයි. එමෙන්ම දැනට විදේශගතව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 05 දෙනෙක් මෙම සන්ධානය සමග ඉදිරියේදී එක්වන බවට දැනුම්දී තිබිණි.

අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා

ශ්‍රීලනිප එක්වූ නව සන්ධානයේ පළමු රැලිය ඉතාමත්ම සාර්ථකයි. අද විශාල ජනකායක් මෙම රැස්වීමට සහභාගි වී සිටිනවා. මෙම රැලිය සංවිධානය කිරීම ගැන මම මහින්ද අමරවීර මහතාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා මෙම කණ්ඩායම පක්ෂයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම වැරදි තීරණයක්. ඒ අය ඉවත් කළේ පොහොට්ටුවෙන් මගේ අත්සනින් පත් කරපු සමහර මන්ත්‍රීවරුන්ගේ උපදෙස් නිසා. ඒ නිසා ඉදිරියේදී හොඳ හොඳ සෙල්ලම් බලා

ගන්න පුළුවන්. ඒ සම්බන්ධව මම තීරණයක් ගන්නවා. දැන් ඒ පුද්ගලයෝ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා කියලා අභියෝග කරනවා. ඉදිරිපත් වෙලා බලන්න කියලා මම ඒ අයට අභියෝග කරනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් දුමින්ද දිසානායක මහතා,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මෙතැන රැස් වෙලා ඉන්න අපි සියලු දෙනාගේ මහ ගෙදරයි. අපි ඔක්කොම ශ්‍රී ලංකාකාරයෝ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පසුගිය කාලයේ ගැටලුකාරී තත්ත්වයක් තිබුණා. දැන් ඒ සියල්ල අවසන්. පොහොට්ටු පක්ෂය තුළ ඉන්නෙත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අය. ඒ නිසා අපි කිසිම කෙනෙකුට අපේ මහගෙදර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අමතක කරන්න බෑ.

ඒ වගේම පසුගිය සියලු ජනාධිපතිවරණවලදී තීරණාත්මක බලවේගය වුණේ අපේ පක්ෂයයි. අපි ඉදිරිපත් කරපු ජනාධිපති අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කළේ. ඒ නිසා ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයේදී අපි සහාය දක්වන ජනාධිපති අපේක්ෂකයා තමයි ජයග්‍රහණය කරන්නේ. ඒ වගේම ඉන්පසුව පැවැත්වෙන මහ මැතිවරණයේදීත් අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට වැඩි ආසන ප්‍රමාණයක් දිනා ගන්නවා. එහි පළමු සටන තමයි අද ඇරඹෙන්නේ.

වරාය හා ගුවන් සේවා අමාත්‍ය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති නිමල් සිරිපාල ද සිල්වා මහතා,

අද ඓතිහාසික දිනයක්. ඒ වගේම අද ආරම්භ කළ මේ නව සන්ධානය ඓතිහාසිකයි. විශේෂයෙන් රටේ වෙනසක් අපේක්ෂාවෙන් එක්වන පිරිසකගේ සන්ධානයක්.

මෙම සන්ධානය හදන්න තීරණය කළේ මීට බොහෝ කලකට පෙර. නමුත් අපේ පක්ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙම සන්ධානය හැදීම දවසින් දවස කල් දැම්මා. ඒ විතරක් නෙවෙයි. පොහොට්ටුව ඇතුළු පක්ෂවල සියලු සාමාජිකයන් කිව්වේ මෛත්‍රීපාල සිරිසේන විශ්වාස කරන්න බෑ කියලා. ඒ වගේම මෛත්‍රීපාල සිරිසේන වැනි විශ්වාස කළ නොහැකි පුද්ගලයෙක් පක්ෂයේ නායකත්වයේ තියාගෙන කවදාවත් මේ සන්ධානය හදන්න බෑ කියලත් කිව්වා.

නමුත් අද සියල්ල අවසන්. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ අපේ අතේ. ඒ නිසා දැන් සියලු දෙනා කිසිදු බිය සැකයකින් තොරව මේ නව සන්ධානයට ඇවිත් තියෙනවා. ඒ වගේම මේ රැලියට අනෙකුත් දිස්ත්‍රික්කවලිනුත් ජනතාව සහභාගි කරවන්න අවසර දෙන්න කියලා අපි මහින්ද අමරවීර මහතාගෙන් ඉල්ලුවා. නමුත් එතුමා කිව්වා නෑ හම්බන්තොට අපි පළමු රැලිය පවත්වන්නේ මගේ ශක්තිය පෙන්වන්න කියලා. එතුමා තමන්ගේ ශක්තිය පෙන්වලා තියෙනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව එතුමා කෙරෙහි කොපමණ විශ්වාසයක් තියෙනවාද කියලා අද මෙම මහජන රැලියෙන් පෙන්නුම් කරනවා.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා,

මෙම සන්ධානය අපි හදන්නේ ඉදිරි මැතිවරණ ජයග්‍රහණය කිරීමේ අරමුණින්. මෙතැන ජ.වි.පෙ.ත්, ස.ජ.බ.යත් රැස්වීම් පැවැත්තුවා. හැබැයි මේ වගේ ජනකායක් නම් ඊට සහභාගි වුණේ නෑ. සජිත්ගෙයි අනුරගෙයි විවාදේ ගැන අපි බලාගෙන හිටියා. අන්තිමට අනුර ගිහින් ෂඔභ එකේ පාළු ගෙයි වළං බින්දා සජිත් පැන්නා. සජිත් අද ආර්ථිකේ ගැන කතා කරනවා. සජිත් දන්න ආර්ථීකයක් නෑ. යහපාලන කාලේ නිවාස සංවර්ධන අමැති විදියට මොනවාද කළේ. ගෙවල් හදන්න කියලා සිමෙන්ති කොට්ට දෙක දෙක දුන්නා.සිමෙන්ති කොට්ට දෙකකින් ගෙවල් හදන්න පුළුවන්ද, අඩු තරමින් ගෙයක් හදන්න යන සිමෙන්ති කොට්ට ගණන

ගැනනොදන්නා මිනිහෙක්ට පුලුවන්ද රටේ ජනාධිපති වෙලා රටේ ප්‍රශ්න විසඳන්න.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති හා කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා,

ගත්ත කිසිදු දේශපාලනික තීන්දුවක් කිසි දිනෙක වැරදුණේ නැහැ. මම ඒ තීරණ ගත්තේ මගේ තනි කැමැත්තට නොවෙයි. තමුන්නාන්සේලා දන්නවා මම දේශපාලන තීන්දු හැම විටම ගත්තේ හම්බන්තොට ජනතාවගෙන් අහලා. තමුන්නාන්සේලා තමයි මම ගන්න තීරණය හරිද වැරදිද කියලා මට කියලා දෙන්නේ. මීට අවුරුදු දෙක තුනකට පෙර රට තිබුණු තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. ඉන්ධන පොලිම්වල මිනිස්සු මැරුණා. ගෑස් පෝලිම්වල මිනිස්සු මැරුණා. රටේ දැවැන්ත ආහාර හිඟයක් තිබුණා. සංචාරකයෝ නැති නිසා රටේ සියලු හෝටල් වැහුණා. අඩු තරමින් බෙහෙත් ටිකවත් ගන්න මුදලක් මහා භාණ්ඩාරයේ තිබුණේ නැහැ. ඩොලර් මිලියන 50ක් හොයා ගන්න බැරිව වරායට ආපු තෙල් නැව් ආපහු හරෝලා ඇරියා. පොහොර ටික නැතුව ගොවියෝ හිටියේ ගොවිබිම්වල නොවෙයි. මහපාරේ උද්ඝෝෂණවල.

පෙට්රල් ෂෙඩ් ළඟ සති ගණන් වාහන නවත්වාගෙන හිටියා. එහෙම වෙලාවක තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයා රට භාර ගත්තේ. අපි එතුමාට සහයෝගය දුන්නා. අපි සජිත්ට, අනුරට කිව්වා අගමැතිකම භාර

ගන්න කියලා. අපෝ බෑ කියලා පැනලා ගියා. නමුත් අපි සහයෝගය ලබා දුන්න රනිල් වික්‍රමසිංහ මහත්තයා අද රටේ විශාල වෙනසක් කර තිබෙනවා. මේ යන ගමන වෙනස් කරන්න උත්සාහ කළොත් නැවතත් රට යළි

ගොඩ නඟන්න බැරි විදියට වැටෙනවා. ඒ නිසා ඉදිරියේදී ජනාධිපතිවරණය එනවා. ඊට පසු මහ මැතිවරණය පැවැත්වෙනවා. රටේ පවතින ගැටලුවලට පිළිතුරු හොයන්න ඔය සමගි ජන බලවේගයට හෝ මාලිමාවට පුළුවන් කියලා අපි විශ්වාස කරන්නේ නැහැ.

මෙම ජන රැලියට නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, දුමින්ද දිසානායක, සුසිල් ප්‍රේම්ජයන්ත, නලින් ප්‍රනාන්දු, අනුර ප්‍රියදර්ශන යාපා, නිමල් ලාන්සා, ජෝන් සෙනවිරත්න, චාමර සම්පත් දසනායක, සුරේන රාඝවන්, උදයකාන්ත ගුණතිලක, ප්‍රියංකර ජයරත්න, ජගත් ප්‍රියංකර, එස්.එස්. මුසාරෆ්, අලි සබි්‍ර රහීම්, ප්‍රේමනාත් සී. දොලවත්ත, ජගත් පුෂ්පකුමාර, සුදත් මංජුල ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් ද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නව සන්ධානයට සහාය දක්වන පළාත් සභා මන්ත්‍රීවරුන්, නගරාධිපතිවරුන්, ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, වෘත්තීය සමිති නියෝජිතයන් හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීහු රැසක් සහභාගි වී සිටියහ.
අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment