ශ්‍රී ලංකාවටත් ප්‍රබල භූ කම්පන

346

ඉන්දු ඔස්‌ට්‍රේලියා භූ තලයේ ගැටීම් දිගින් දිගටම ඇති වන බැවින් ඉදිරියේ දී ශ්‍රී ලංකාව ආසන්න භූ තලයේ තරමක් ප්‍රබල භූ කම්පන ඇති වීමේ අවදානමක් පවතින බව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භූ ගර්භ විද්‍යා අංශයේ මහාචාර්ය අතුල සේනාරත්න මහතා පවසයි.

ඉන්දු ඔස්‌ට්‍රේලියා භූ තලය ශ්‍රී ලංකාවේ සිට කිලෝ මීටර් දාහක පමණ දුරින් තිබෙන බවත් එහි ඇතිවන විභේදනය නිසා යම් යම් සුළු කම්පන තත්ත්වයන් මෙරටට දැනිය හැකි බවත් හෙතෙම කීය.

ශ්‍රී ලංකාවට ආසන්න මුහුදු තීරයේ ඉන්දු ඔස්‌ට්‍රේලියානු භූ තලය කලක පටන් වෙන් වෙමින් පවතින බවත් බුත්තල, පැලවත්ත ආශ්‍රිත ප්‍රදේශවලට 10 වැනිදා දහවල් දැනුණු සුළු භූමි කම්පා තත්ත්වය එහි ප්‍රතිඵලයක් බවත් මහාචාර්යවරයා පැවසීය.

වාර්තා වන අන්දමට මෙම භූ කම්පනය දහවල් 12.10 ත් 12.13 ත් අතර සිදුව තිබෙන බවත් රිච්ටර් මාපක අගය 03 ක් පමණ වන මෙවැනි සුළු භූ කම්පන ඉදිරියේදීත් ඇතිවිය හැකි බවත් සේනාරත්න මහතා පැවසුවේය.

මෙම භූ කම්පන ප්‍රබලත්වයෙන් ඉතා අඩු ඒවා බැවින් කිසිවකුත් අනියත බියක් ඇති කරගත නොගත යුතු යැයි ද මහාචාර්යවරයා පැවසුවේය.

දශකයකට පමණ පෙර ඉන්දු ඔස්‌ට්‍රේලියා භූ තලය ලෙස හැඳින්වූවත් මේ වන විට එය ඉන්දු භූතලය හා ඔස්‌ට්‍රේලියානු භූ තලය ලෙස භූ විද්‍යාඥයන් වෙන් කර හඳුන්වන බවත් ඊට හේතුව මෙම තලවල දැන් පැහැදිලිව වෙන් වූ ස්වරූපයක් දක්නට ලැබීම බවත් හෙතෙම අවධාරණය කළේය.

සමන්ති වීරසේකර

advertistmentadvertistment
advertistmentadvertistment