ශ්‍රී ලංකාවට අවසන් පූර්ව වටය අහිමි වෙයි – 2022 පොදුරාජ්‍ය මණ්ඩලයීය කාන්තා ක්‍රිකට් තරගාවලිය

181

නිලක්ෂිද සිල්වා සහ ඕෂදී රණසිංහ හැරුණුකොට වෙනත් කිසිදු පිතිකාරිණියකට ලකුණු අතරට පිවිසීමට නොහැකිවීම මත පොදුරාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මූලික වටයේදී ලද දෙවැනි පරාජය අත්විඳීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමට සිදුවිය. ඒ පෙරේදා (02 වැනිදා) රාත්‍රියේදී නවසීලන්ත කණ්ඩායම සමගින් පැවැති තරගයේදී ලකුණු 45ක පරාජයක් අතිවිඳිමිනි. ඒ අනුව මූලික වටයේ මේ දක්වා සහභාගි වූ තරග දෙකම පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව අහිමිව ගියේය.

 ‘බී’ කාණ්ඩයේ හතරවැනි තරගය ලෙසින් පැවැති අදාළ තරගයේදී පළමුවෙන් පන්දුවට පහරදුන් නවසීලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20දී කඩුලු 7ක් පමණක් දැවී ලකුණු 147ක අභියෝගයක් ශ්‍රී ලංකාව හමුවේ තැබීය. ඒ අනුව එංගලන්තයේ බර්මින්හැම්හිදී ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා ඉනිම පන්දුවාර 20දී කඩුලු 8ක් දැවී ලකුණු 102කට සීමා කිරීමට නවසීලන්ත පන්දු යවන්නියෝ සමත්වූයේ තරගාවලියේ අපරාජිත බව තවදුරටත් රඳවා ගනිමිනි.

 ශ්‍රී ලංකා ලකුණු පුවරුව ක්‍රියාත්මක වන්නටත් පෙර චමරි අතපත්තු ක්‍රීඩාගාරයට හරවා යැවූ හෙයිලි ජෙන්සන් නවසීලන්තයේ ජයග්‍රාහී බලාපොරොත්තු වැඩිකිරීමට සමත්වූවාය. චමරිගේ දැවී යෑමත් සමගින් ඇදවැටුණු ශ්‍රී ලංකා ඉනිමේ මුළු ලකුණු 32ක් වනවිටදී තවත් පිතිකාරිණියන් සිව්දෙනකු නැවත ක්‍රීඩාගාරයට හරවා යැවීමට නවසීලන්ත පන්දු යවන්නියෝ සමත්වී සිටියේ සම්පූර්ණ තරගයේ පාලනය දෝතට ගනිමිනි.

 ශ්‍රී ලංකා ඉනිමේ සාර්ථක වූ එකම පිතිකාරිණිය වූ නිලක්ෂිද සිල්වා පන්දු 36කදී එක් හයේ පහරක් සහ හතරේ පහර 3ක් සමගින් ලකුණු 36ක් රැස් කිරීමට සමත්වූවාය. ඒ හැරුණුකොට ඕෂදී රණසිංහ පන්දු 21ක් තුළදී නොදැවී ලකුණු 18ක් ලබා කඩුල්ලේ රැඳී සිටීමට සමත්වූ අතර ඒ ශ්‍රී ලංකාව වෙනුවෙන් ලකුණු 10 සීමාව පසුකළ එකම පිතිකාරිණියන් දෙදෙනා වේ.

 නවසීලන්තය වෙනුවෙන් පළමු කඩුල්ලට සාර්ථක ලකුණු 51ක සම්බන්ධතාවක් දියත් කිරීමට සොෆී ඩෙවයින් සහ සුසී බේට් සමත්වූවාය. ඒ පිළිවෙළින් ලකුණු 24ක් සහ 34ක් ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට එරෙහිව ලබා ගනිමිනි. බෲක් හැලිඩේ ලකුණු 22ක් සහ ලී තාහුහු නොදැවී ලකුණු 20ක් රැස් කළාය.

 දක්ෂ පන්දු යැවීමක නිරත වූ ඉනෝකා රණවීර ලකුණු 30කට ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 3ක් බිඳ දැමූ අතර ඕෂදී රණසිංහ ලකුණු 31කට කඩුලු 2ක් බිඳ දැමුවාය.

 ‘බී’ කාණ්ඩය යටතේ ශ්‍රී ලංකාව සහභාගි වන අවසන් තරගය අද (04 වැනිදා) දකුණු අප්‍රිකාව සමගින් පැවැත්වේ. එය ශ්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.30ට පමණ ඇරඹීමට නියමිතව තිබේ.

 ලකුණු සාරාංශය

 නවසීලන්තය පන්දුවාර 20කදී කඩුලු 7ක් දැවී ලකුණු 147යි (සොෆී ඩෙවයින් 24, සුසී බේට් 34, බෲක් හැල්ඩේ 22, ලී තාහුහු 20, ඉසබෙලා ගේස් 16, ඉනෝකා රණවීර 30/3, ඕෂදී රණසිංහ 31/2, කවීෂා දිල්හාරි 21/1)

 ශ්‍රී ලංකාව පන්දුවාර 20කදී කඩුලු 8ක් දැවී ලකුණු 102යි (නිලක්ෂි ද සිල්වා 36, ඕෂදී රණසිංහ 18, ඒඩන් කාර්සන් 30/2, හෙයිලි ජෙන්සන් 5/3)

advertistmentadvertistment
advertistmentadvertistment