ශ්‍රී ලංකාවට ආයෙත් ඉන්දීය හමුදා එයිද?

432

1987 ජූලි 30 දා ඉන්දීය සාම හමුදාවේ බලකායන් 30ක් මෙරටට පැමිණ පලාලි ගුවන් කඳවුර අත්පත් කරගනු ලැබීය. ජනරාල් හරිකිරාත් සිංගේ මූලිකත්වයෙන් යුත් මෙම ඉන්දීය බලසේනාවන් පලාලි වෙත එනතුරු පලාලි කඳවුරේ අණදෙන නිලධාරියා ඒ බව දැන සිටියේ නැත.

ශ්‍රී ලංකාවට ආයෙත් ඉන්දීය හමුදා එයිද?

එවකට ඉන්දීය අගමැතිව සිටි රජිව් ගාන්ධි ශ්‍රී ලංකා ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන බියගන්වා 1987 ජූලි 20 දා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කර පැය 24ක් ගතවීමට පෙර ඉන්දීය සාම හමුදාව මෙරටට ගොඩබැස්සේය.

මේ පසුබිම මැද භාරතීය ජනතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයකු වූ සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය රජයෙන් ඉල්ලීමක් කරමින් වහාම ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යවන ලෙස ඉල්ලා ඇත. ඉන්දීය විරෝධී පාර්ශ්ව රට තුළ අර්බුදයක් ඇති කරනවා. මේ තත්ත්වය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් යැයි සුබ්‍රමනියම් ස්වාමි තවදුරටත් ප්‍රකාශ කර තිබේ.

ඉන්දීය අගමැති මෝදිගේ හිතවතකු වූ සුබ්‍රමනියම් ස්වාමි කළ මේ බරපතළ ඉල්ලීමට ඉන්දියාව එකඟවේද? මෙයට වසර 35කට පෙර ඉන්දීය සාම හමුදාව මෙරටට පැමිණ ආපසු මෙරටින් ගියේ 1990 මාර්තු 24 වැනිදායි. ඒ වන විට ඉන්දීය හමුදා භටයන් 1100ක් මරුමුවට පත් වී තිබුණි.

මේ පසුබිම මැද ඇමෙරිකාව ඉන්දීය සාගරයේ ආරක්‍ෂාව උදෙසා යැයි දක්වමින් කුවායි ගිවිසුමට ඉන්දියාවත් ඇතුළත් කරගෙන තිබේ. මෙම තත්ත්වය මත මෙරට ඇති වී තිබෙන අරාජික තත්ත්වය ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියමින් ඉන්දීය රජය මෙරට තත්ත්වය ගැන දැඩි නිරීක්‍ෂණයක යෙදී සිටින බව පැහැදිලිය.

එසේම ඉන්දීය රෝ බුද්ධි සේවාවේ මෙරට සහ ඉන්දීය ඔත්තුකරුවන් ශ්‍රී ලංකාවේ සිදුවීම ගැන නිරතුරුවම නවදිල්ලියේ රෝ මූලස්ථානයට තොරතුරු සපයන බව වාර්තා වී ඇත.

සුබ්‍රමනියම් ස්වාමි ඉන්දීය හමුදාව මෙරටට යවන ලෙස ඉල්ලා ඇත්තේ රටේ ව්‍යවස්ථාව ආරක්‍ෂා කළ යුතු බව දක්වමිනි. එසේම ඔහු හිටපු අගමැති මහින්ද රාජපක්‍ෂගේ හිතවතෙකි.

මේ තත්ත්වය මැද ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල් ද ශ්‍රී ලංකාවේ අනාරක්‍ෂිත තත්ත්වයක් ඇති වන්නේද යන්න බලාසිටියි.

ඉන්දීය හමුදාවට මෙරටට පැමිණීමට ඉඩ ලැබෙන්නේ යම්කිසි ලෙසකින් ඉන්දීය අයිතිවාසිකම් සහ ඉන්දීය සමාගම්වලට තර්ජනයක් එල්ල වූවොත් පමණකි. එහෙත් අතීතය සිහිපත් කළ යුතුයි. ඉන්දීය ආරක්‍ෂක උපදේශක අජිත් ඩෙවොල්ගේ මෙහෙයුමකින් මෙයට පෙර මහින්ද රාජපක්‍ෂ රජය බිඳ වැටුණි.

එසේම උතුරේ සිටින ද්‍රවිඩ දේශපාලකයන් තිදෙනෙක් ප්‍රධාන පෙළේ රෝ ඔත්තුකරුවන්වේ. ප්‍රභාකරන් විසින් රජිව් ගාන්ධි ඝාතනය කිරීමට සැලසුම් කරන බවට ඉන්දීය සාම හමුදාවේ බුද්ධි ප්‍රධානී කර්නල් හරිහරන්ට තොරතුරු සැපයුවේ ඉන් එක් ඔත්තුකරුවෙකි. මේ රෝ ඔත්ත්තුකරුවන් උඩරට කඳුකරයේද ක්‍රියාත්මක වේ. මෙම පසුබිම යටතේ ඉන්දියාව තම හමුදාව ඇතැම් රටවලට යවා ඇත්තේ ජාතික ආරක්‍ෂාවට මුවාවෙමිනි. හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරාගාන්ධි සීකිම් රට අල්ලා ගැනීමට හමුදාව යැව්වේද ආරක්‍ෂාවට තර්ජනයක් යැයි කියමිනි. එසේම ඉන්දීය හමුදා සහයෙන් නැගෙනහිර පාකිස්තානය බංගලදේශය විය. මෙවන් තත්ත්වයන් මැද තමිල්නාඩුවේ කොටි හිතවාදින්ද ඉන්දීය හමුදාව ශ්‍රී ලංකාවට යනතුරු බලාසිටී. තමිල්නාඩුවේ වයිකෝ, සීමන් නොල් තිරුමාවලන් වැනි බෙදුම්වාදීන් වන්නි මෙහෙයුම සමයේ ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව යවන ලෙස කීපවතාවක්ම ඉන්දීය රජයෙන් ඉල්ලා තිබුණි. මේ අතර ශ්‍රී ලංකාවේ පවතින අභ්‍යන්තර අරගලය ඉන්දියාවේ ජාතික ආරක්‍ෂාවට තර්ජනයක් නොවේ. එහෙත් ඇමෙරිකාවද අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීමට බලාසිටී. ජපානයේ නෙක්කි වෙබ් අඩවියේ විමර්ශකයා පැවසුවේ ඇමෙරිකාව සහ ඉන්දියාව එක්ව ශ්‍රී ලංකාවට සහය වී ඒ වෙනුවට ඇමෙරිකානු ඉන්දීය ගිවිසුමට ශ්‍රී ලංකාව කැමැති කර ගැනීමේ අවස්ථාව පැමිණ ඇති බවයි. එසේම ශ්‍රී ලංකාවේ මහා පරිමාණ අර්බුදයක් ඇතිවනතුරු විදේශ රටවල් බලාසිටින බවද පැහැදිලි වේ.

මේ තත්ත්වය මත හිටපු ශ්‍රී ලංකා අගමැති ඉන්දියාවේ රැකවරණ පතා ඇති බවට දැක්වෙන තොරතුරු ඉන්දීය රජය ප්‍රතික්‍ෂේප කර ඇත. ඊට පෙර ඉන්දියානු ප්‍රාන්තයක් කිරීමට ශ්‍රී ලංකාව එකඟවන්නේ නම් තෙල් ගෑස් ඇතුළු සියලු ආහාර ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට සපයන බවට ඉන්දීය විදේශ ඇමැති ජයිශංකර් කළ බව කියන ප්‍රකාශය ඉන්දීය රජය ඉවත දමනු ලැබීය.

එහෙත් ශ්‍රී ලංකා රජය කැබිනට්ටුවට නොදන්වා ඉන්දීය රජය සමඟ ආරක්‍ෂක ගිවිසුම් කීපයකට එකඟ වී තිබුණි. මේ ගිවිසුම්වලට අත්සන් කළේ ඇමෙරිකානු පුරවැසියකු වූ මෙරට හිටපු මුදල් ඇමැතිවරයායි.

මේ අතර ශ්‍රී ලංකාව විසින් ඉන්දියාවේ තානාපති ලෙස පත්කළ ඇමෙරිකානු පුරවැසියන් ඉන්දීය අන්තවාදී ආර්. එස්. එස්. සංවිධානයේ නායකයා සමඟ සාකච්ඡාවක නිරත වී ඇත. එම ආර්. එස්. එස්. නායකයා සමඟ සාකච්ඡා කළ මෙරට හිටපු ඇමෙරිකානු තානාපති අතුල් කේශාප් ඇමෙරිකානු රජය තානාපති සේවයෙන් පහ කරනු ලැබීය.

මෙම පසුබිම මැද සුබ්‍රමනියම් ස්වාමිගේ ප්‍රකාශය ගැන මෙරට විරුද්ධ පක්‍ෂද මෙතෙක් කිසිදු ප්‍රකාශයක් කර නැත. එහෙත් ශ්‍රී ලංකා රජය ඉන්දියාවේ අවශ්‍යතා රැසක් ඉටුකර ඇත. පලාලි ගුවන් තොටුපළ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස හඳුන්වා ඊට යාපනය ලෙසද නම් කෙරුණි. මේ පසුබිම 2019 සැප්තැම්බර් 3 වැනි දා ඉන්දීය සාම හමුදාවේ හිටපු මේජර් ජෙනරාල් අශෝක් මෙහෙතා මෙරට ආරක්‍ෂක සමුළුවට සහභාගි වීමෙන් පසු මාධ්‍ය අමතා ශ්‍රී ලංකා රජය යුද අපරාධ ගැන විමර්ශනයක් කළ යුතු බව පැවසුවේය. එහෙත් 1987 ඔක්තෝම්බර් 21 සහ 22 දෙදින තුළ ඉන්දීය සාම හමුදාව යාපනය රෝහලට කඩාවැදී වෛද්‍යවරු ඇතුළු කාර්ය මණ්ඩලයේ 60කට අධික සංඛ්‍යාවක් ඝාතනය කිරීම ගැන අද වනතුරු ඉන්දීය රජය යුද අපරාධ පරීක්‍ෂණයක් සිදු කළේ නැත. මේ තත්ත්වය මත ඉන්දීය එන්. ඩී. ටී. වී. රූපවාහිනිය ශ්‍රී ලංකාව අරාජික තත්ත්වයට පත්ව ඇති බවට දන්වා ඇත.

මේ අතර ඉන්දීය රජය පැවසුවේ ශ්‍රී ලංකාවට ඉන්දීය හමුදාව එවීමේ කිසිදු සූදානමක් නැති බවයි. මේ බව මෙරට ඉන්දීය තානාපති ගෝපාල් බග්ලේද සනාථ කර තිබේ. එසේම හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පැවසූවේ ශ්‍රී ලංකාවේ ත්‍රිවිධ හමුදාවට රටේ තත්ත්වය පාලනය කළ හැකි බවයි.

මේ අතර 1976 මැයි 5 දා ලිබරේෂන් ටයිගර්ස් ඔෆ් ටැමිල් ඊළම් හෙවත් තමිල් ඊළම් විමුක්ති කොටි නැමැති සංවිධානය ආරම්භ විය. වසර 33කට පසු එනම් 2009 මැයි 18 දා මෙම ත්‍රස්ත සංවිධානය පමණක් නොව එහි නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ද විනාශ කර දැමීමට මෙරට හමුදාවට හැකි විය. පසුගිය මැයි 5 දා ප්‍රභාකරන්ගේ කොටි සංවිධානය සිදු කළ අපරාධ එකිනෙක කොටි වෙබ් අඩවියක් විසින් අනාවරණය කෙරුණි. 1976 අගෝස්තු 2 දා උරුම්පරායිහි ඉන්ධන ගබඩා කළමනාකරු වූ තවරාසා මරා දමනු ලැබීය. අනතුරුව 1977 පෙබරවාරි 14 වැනිදා කරුණානිධි නැමැති පොලිස්භටයා වෙඩි තබා මරා දමනු ලැබීය. 1977 මැයි 18 වැනිදා තවත් පොලිස් භටයන් දෙදෙනකුද ඝාතනය විය. එසේම 1978 ජනවාරි 27 වැනිදා පොතුවිල් ද්‍රවිඩ සංධාන අපේක්‍ෂක කනගරත්නම් මරා දමනු ලැබීය. ඉන්පසු 1978 අප්‍රේල් 7 වැනිදා මුරුක්කන් මඩු පාරේදී පොලිස් පරීක්‍ෂක බස්තියන් පිල්ලේ ඇතුළු පොලිස් ඔත්තුකරුවන් සිව්දෙනකුද ඝාතනය කළේය.

1978 මාර්තු 5 වැනිදා තිරුනවේල්හි රජයේ බැංකුවකින් රුපියල් ලක්‍ෂ 12ක් පැහැර ගත්තේය. අපේ ජනපති ප්‍රභාකරන් ගරිල්ලා ප්‍රහාර මර්දනය කිරීමට තීරණය කරනු ලැබීය. 1982 අගෝස්තු 2 දා නෙල්ලිඅඩි පොලිසියට එල්ල කළ ප්‍රහාරයෙන් භටයන් සිව්දෙනෙක් මරුමුවට පත් විය. 1982 ජූලි 27 චාවාකච්චේරි පොලිසියට එල්ල කළ ප්‍රහාරනයෙන් භටයන් තිදෙනකු මියගිය අතර අවි රැසක් පැහැරගනු ලැබීය. 1983 පෙබරවාරි 18 දා පේදුරුතුඩුව පොලිසියටද ප්‍රහාර එල්ල විණි. එහිදී භටයන් දෙදෙනෙක් මියගියහ. 1983 අප්‍රේල් 23 දා කොටි සංවිධානය යූ. එන්. පී. ආධාරකරුවන් තිදෙනකු මරාදැමුවේ අනිකුත් දමිළ ද්‍රෝහීන්ට අනතුරු අඟවමිනි.

මේ වනවිට ප්‍රභාකරන් සතුව 14 කගෙන් යුත් කණ්ඩායමක් විය. තිරුනාවෙලි පලාලි මාර්ගයේදී හමුදා වාහන පේළියකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් හමුදා භටයන් 13ක් ඝාතනය විය. අවි ආයුධ රැසක්ද අල්ලා ගනු ලැබීය. මෙහිදී සෙබළුන් 7ක් වෙඩි තබා මැරුවේ ප්‍රභාකරන්ය. තුවාල ලබා සිටි සෙබළුන් 7ක් ප්‍රභාකරන් මැරූ බව කොටි සංවිධානය පිළිගන්නේ වන්නි මෙහෙයුමින් වසර 13කට පසුවය. එසේම ඉන්දියාව කොටි සංවිධානයට සුළු අවි ලබාදීමටද ක්‍රියා කළේය. 1983 පෙබරවාරි 24 වැනිදා කොටි සංවිධානය ශ්‍රී ලංකා හමුදාවට එරෙහිව හමුදා මෙහෙයුම් ආරම්භ කිරීමට ක්‍රියා කළේය. එදා සිට 2009 මැයි 18 දා ප්‍රභාකරන් මරුමුවට පත්වනතුරු යුද්ධයට වැය වූ මුදල රුපියල් බිලියන 30000ක් වේ. 1983 සිට 2009 දක්වා කාලය තුළ ජීවිත 80000ත් 100,000ත් අතර අහිමි විය. මෙරට හමුදා නිලධාරීන් 23790ක්ද ඉන්දීය සාම සාධක භටයන් 1155ක්ද මරුමුවට පත් වූහ. මෙම සමයේදී කොටි සංවිධානය බිම් බෝම්බ ලක්‍ෂ 16කට අධික සංඛ්‍යාවක් වළදමා තිබුණි.

මේ පසුබිම මැද 2022 මැයි 18 වැනිදාට යෙදෙන කොටි පැරදවීමේ 19 වැනි සංවත්සරය අමතක වී ඇත. මෙයට වසර ගණනකට පෙර කොටි පැරදවීමේ යුද මෙහෙයුම සැලසුම් කළ අවස්ථාවේ එහි තොරතුරුද කොටි බුද්ධි සේවාවට හෙළි වීය. එදා වන්නි මෙහෙයුම නතර කිරීමට උත්සාහ කළ පාර්ශ්ව කළ ප්‍රකාශ මෙසේය.

ශ්‍රී ලංකාවට ආයෙත් ඉන්දීය හමුදා එයිද?

“ජර්මානු හමුදාව පරාජය වූ අයුරින් ශ්‍රී ලංකා හමුදාව කිලිනොච්චියේදී මුළුමනින්ම වැනසෙනවා- රෝ සංවිධානයේ හිටපු ප්‍රධානී බී. රාමන් මගේ සොහොයුරා පැරදවිය හැකි හමුදාවක් හෝ ජගතෙක් ලොව නැහැ. ප්‍රභාකරන්ගේ සොහොයුරිය විනෝදනි- මේ ප්‍රශ්නය යුද්ධයෙන් අවසන් කළ නොහැකියි.

හිටපු හමුදා ප්‍රකාශක සරත් මුණසිංහ-

ඊලම් යුද්ධයෙන් හමුදාව වැනසෙනවා- සක්කිරියන්-වීරකේසරි
ප්‍රභාකරන් පැරදවිය නොහැකියි. ඉන්දීය ලේඛිකා ඇනිටා ප්‍රතාප්
ප්‍රභාකරන් පැරදවිය හැකි යැයි සිතීම සිහිනයක්. නෝර්වේ හිටපු අමාත්‍ය එරික් සෝල්හයිම්

එහෙත් වසර දෙකකුත් මාස 10ක් තුළ කොටි සංවිධානය පරාජය කිරීමට ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදාවට හැකිවිය. වන්නි මෙහෙයුම නිමාවන විට කොටි සංවිධානය සතුව තිබී සොයාගත් අවි ආයුධවල වටිනාකම ඩොලර් තිස්හතර කෝටි හතළිස් දෙළක්‍ෂයක් හෙවත් මෙරට මුදලින් රුපියල් කෝටි 3500ක් විය. එහෙත් කොටින්ට මෙපමණ වටිනාකමකින් යුත් අවි සැපයුවේ කුමන රටවල්ද යන්න ගැන රජය විමර්ශනයක් සිදු කළේ නැත. මෙම යුද උපාංගවලට අමතර මෙරට ජීවිත දසදහස් ගණනක් වැනසීම සඳහා ටී. එන්. ඒ. සහ සී -4 අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 13,178ක්ද කොටි කඳවුරුවල තිබී හමුවිය. මේ බලගතු පුපුරන ද්‍රව්‍ය නිපදවන්නේ ඇමෙරිකාවයි. එසේම ඇමෙරිකානු හමුදාව භාවිතා කරන එම් 16 ප්‍රහාරක අවි 182ක්ද ජර්මනිය නිපදවන එම් 8-5 හෙවත් හෙත්ලර් ඇන්ඩ් කොච් මැෂින් තුවක්කුද විය. ඊට අමතරව තහනම් අවි වූ තර්මෝ බැරික් අවි 54ක්ද සොයා ගැනුණි. මෙයට අමතරව ලොව විශේෂ බලකායන් භාවිතා කරන සංනිවේදන යන්ත්‍ර රැසක්ද හමුවිය. ඇලින්කෝ, ඇන්රිච්යු, කුගර් ඇල්කොන් මොටරෝලා කෙන්වුඩ් ඇස්ට්‍රෝ සහ සබ්රි යන සංනිවේදන යන්ත්‍රද ඒ අතර විය. මුල්ලිවයික්කාල්හිදී සොයාගත් ලිපිගොනු 481ක් අවි ආයුධ ඇණවුම් කළ රටවල් ගැනද තොරතුරු හෙළි වුවත් රජය එම තොරතුරු වසන් කරනු ලැබීය. එසේම තමත් සිටින ස්ථානය දැන ගැනීමේ ජී. පී. එස්. උපාංග 114ක්ද හමුවුවත් නේරා නැමැති නෝර්වේ රාජ්‍යයේ නිපදවන එම අවි සැපයුවේ කවුදැයි රජය පරීක්‍ෂා කළේ නැත.

වන්නි මෙහෙයුම ආරම්භවීමෙන් පසු හමුදා කණ්ඩායම් මෙහෙයවන්නේ කවුද සහ ඔවුන්ගේ ඡායාරූප පුවත්පත්වලට හෙළි වූයේ නැත.

එහෙත් යුද්ධය අවසාන වීමට පෙර 2009 පෙබරවාරි 20 දා රජයේ ඉංග්‍රීසි පුවත්පතක් මාවිල්ආරු සිට මුලතිව් දක්වා මාසික අතිරේකයක් පළකර 53-55 57 සහ 58 යන සේනාංකවල ප්‍රධානීන් සමඟ සියලු ඡායාරූප ප්‍රකාශයට පත් කරනු ලැබීය. මෙය මෙරට හමුදා ඉතිහාසයේ සිදුවූ විශාලතම මෝඩ ක්‍රියාවයි. එම තොරතුරු ශ්‍රී ලංකා හමුදාවට යුද අපරාධ චෝදනා එල්ල කිරීමට එක්සත් ජාතීන්ගේ නිලධාරීනී යස්මින් සුකා භාවිතා කළේය. ඉරාකයට එරෙහි ඩෙසර්ට් ස්ටෝර්ම් මෙහෙයුමේදී කිසිදු හමුදා නිලධාරියකුගේ ඡායාරූප ප්‍රකාශයට පත් වූයේ නැත. එහෙත් එකල හමුදාව සමඟ සැරිසැරූ රජයේ ඡායාරූප ශිල්පියෙක් ජයග්‍රාහී කණ්ඩායම් මාසෙන් යුද්ධය අවසාන වීමට පෙර සියලු හමුදා කණ්ඩායම්වල ඡායාරූප ප්‍රකාශයට පත් කිරීමෙන් මහත් විනාශයක් සිදුවිය. මේ රජයේ ඉංග්‍රීසි පුවත්පතක ඡායාරූප ශිල්පියා සමඟ වන්නියේ සැරිසැරූ බෝම්බඩියර් නැමැති වාර්තාකරු ශවේන්ද්‍ර සිල්වාට සහ ජනපති ගෝඨාභය රාජපක්‍ෂට එරෙහිව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට කටඋත්තරයක් දී එරට දේශපාලන රැකවරණ ලබා ඇත.

එම කටඋත්තරයේ දක්වා ඇත්තේ කොටි හමුදා නායකයාව මරන ලෙස ගෝඨාභය රාජපක්‍ෂ පවසන අයුරු තමාට ඇසුන බවයි.

මේ අතර විදේශ රටවල් 7කින් කොටින්ට අවි ආයුධ සහ සංනිවේදන උපකරණ ලැබී තිබුණි. ගුවන් බාධක යම් ආලෝකකරණ උපාංග චෙක් රාජ්‍යයෙන්ද ශ්‍රී ලංකා හමුදාවට නැති රේකිසොන් රේඩාර් උපාංග ඇමෙරිකාවෙන්ද ලබා ගැනීමට කොටි ක්‍රියාකර තිබුණි. 2009 මැයි 18 වැනිදා වනවිට කොටි සංවිධානය සතුව සංනිවේදන උපාංග 2452ක සංඛ්‍යාවක් තිබූ බව තහවුරු විය. එසේම කොටි සතුව තිබූ උණ්ඩ සංඛ්‍යාව මෙලෙස දැක්විය හැකිය. මි. මී.9 පතරොම් 103921 මි. මී. 38 වර්ගයේ පතරොම් 30892, 22 වර්ගයේ පතරොම් 29716 එස්. එම්. ජී. පතරොම් 1108 එම්. 16 පතරොම් 107756 එම්. එස්. බී. පතරොම් 21434 – විහිදුම් පතරොම් 400 නාඳුනන පතරොම් 9324 පිස්තෝල පතරොම් 114006 5.56 වර්ගයේ පතරොම් 652217 5.56 පතරොම් 68475 7.62 පතරොම් 1281607 මි. මී. 54 පතරොම් 214335 12.7 වර්ගයේ පතරොම් 105683 – මි. මී. 23 පතරොම් 11173 ඒ. වී, බිම්බෝම්බ 104973 – ක්ලේමෝ බෝම්බ 5068 සෑම් මිසයිල -16 බෝම්බ කබා 16 ඩෙටනේටර් 246369 පුපුරන ද්‍රව්‍ය ඇතුළත් කබා 10 පුපුරණ ද්‍රව්‍ය සහිත
පටි 29.

මේ අතර වන්නි මෙහෙයුම නිමා වීමට පෙර කොටි විශාල සංඛ්‍යාවක් බ්‍රිතාන්‍යය, ප්‍රංශය, ස්විස්ටර්ලන්තය, ඔස්ටේ්‍රලියාව, කැනඩාව සහ ජර්මනියටද පැනගියහ. මැනික්පාම් කඳවුරේ රඳවාසිටි දරුණු කොටිද අයථා මාර්ගවලින් පැනයෑමට ක්‍රියා කළ බව අනාවරණය විය. බ්‍රිතාන්‍යයට පැනගිය එක් කොටි වෛද්‍යවරයෙක් පැවසූවේ තමා බ්‍රිතාන්‍යයෙන් ගෙන්වාගත් මුදල් ලබාදී ශ්‍රී ලංකාවෙන් පලා ආ බවයි.

ශ්‍රී ලංකාවට ආයෙත් ඉන්දීය හමුදා එයිද?

එසේම ස්විස්ටර්ලන්තයේ පමණක් අපරාධවලට සම්බන්ධ කොටි 206ක් සිටින බව හෙළි විය.

මෙරට හමුදා ප්‍රධානීන්ට එරෙහිව යුද අපරාධ චෝදනා එල්ල කර ඇත්තේ මෙම හිටපු කොටි බව අනාවරණය විය. මේ වන විට හමුදා ප්‍රධානීන් 59කට ජිනීවා මානව හිමිකම් කවුන්සිලය යුද අපරාධ චෝදනා එල්ල කර ඇත. මේ පසුබිම මෙරට හිටපු ඇමෙරිකානු තානාපති රොබට් බ්ලේක් ජනපති මහින්ද රාජපක්‍ෂ හමුවීමට ගියේය. ජනපතිතුමනි විශාල සංඛ්‍යාවක් කොටුවී සිටිනවා. ඔබගේ අවසරය තිබේ නම් අපට ඔවුන්ව බේරා ගත හැකියි යැයි ඔහු කියා සිටියේය.

රොබට් බිලේක් මේ සැරසෙන්නේ ප්‍රභාකරන් සහ කොටි හමුදා නායකයන් ගලවා ගැනීමට බව ජනපති රාජපක්ෂට අවබෝධ විය. ඒ වන විට මුලතිව් අසල ජාත්‍යන්තර මුහුදේ ඇමෙරිකානු ගොඩබිම් යාත්‍රාවල එන්ජින් ක්‍රියාත්මක වී තිබුණි. ජනපති රාජපක්ෂට අවසරය දුන්නා නම් මොහොතක් තුළ එම ගොඩබිම් යාත්‍රා මුලතිව් වෙරළට පැමිණෙනු ඇත. එසේ වූවත් ජනපති රාජපක්‍ෂ පැවසුවේ ඉන්දියාවද ඒ ගැන තමාගෙන් අසා ඇති බවත් ඔවුන් සමඟ සාකච්ඡා කර දන්වන බවත්ය.

ඇමෙරිකාව සහ නෝර්වේ එක්ව ප්‍රභාකරන් බේරා ගැනීමට මෙහෙයුමක් දියත් කර ඇති බව මේ වන විට රෝ සංවිධානයටද වාර්තා වී තිබුණි. එහෙත් එම මෙහෙයුමට ඉන්දියාව විරෝධය පළ කළේය. කොටි පරාජය වී වසර අටකට පසු එනම් 2017 දී හිටපු ඉන්දීය ආරක්‍ෂක උපදේශක ශිවශංකර් මෙනන් මේ බව මුල්වරට අනාවරණය කරනු ලැබීය.

ප්‍රභාකරන් ප්‍රමුඛ කොටි හමුදා නායකයන් 260ක් බේරා ගැනීමේ මෙහෙයුමට පෙර හවායිහි ඇමෙරිකානු ශාන්තිකර කලාපීය විධානයේ සිට හමුදා උපදේශකයා රැගත් හර්කියුලිස් ගුවන් යානාවක් ශ්‍රී ලංකාව බලා පිටත්විය. එය කටුනායක ගුවන් තොටුපළ සමීපයට ආසන්න වන අවස්ථාවේ ගුවන් ගමන් පාලක මැදිරියට දැනුම් දෙනු ලැබීය.

එවන් පසුබිමක් මැද ඊට ගොඩබෑමේ අවසරය හිමි වූයේ ඒ වන විට ප්‍රභාකරන් පරාජය වී නොතිබූ නිසාය.

මේ අතර කොළඹ නෝර්වේ තානාපති ටෝරේ ගැම්රස් ප්‍රභාකරන්ව බේරා ගැනීම සඳහා සෑම උත්සාහයක්ම දරනු ලැබීය. එවකට මැලේසියාවේ සිටි කොටි ජාත්‍යන්තර ජාලයේ ප්‍රධානියා වූයේ කේ. පී. හෙවත් කුමාරන් පද්මනාදන්ය. ප්‍රභාකරන් ඇමතූ කේ. පී. ඔහුට අවි බිම තබා යටත්වන ලෙස උපදෙස් දෙනු ලැබූවත් එම ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

වන්නි මෙහෙයුමේ අවසාන සමයේ එවකට හමුදාපති සරත් ෆොන්සේකා සහ ඔහුගේ පවුලේ අය චීනයේ පොලිටෙක්නික් සමාගමේ ඇරයුමක් මත එරට සංචාරයක නිරත විය.

මේ අතර ප්‍රභාකරන් බේරා ගැනීම සඳහා ලොව ප්‍රසිද්ධ පාර්ශ්ව සටන්විරාම ගිවිසුමක් යෝජනා කෙරුණි. දකුණු අප්‍රිකාවේ අගරදගුරු ඩෙස්මන් ටුටූ ඊට මුල්විය.

එහෙත් එම ඉල්ලීම අසාර්ථක විය. එදා වන්නි මෙහෙයුමට මුල් වූයේ ප්‍රභාකරන් විසින් මාවිල්ආරු සොරොව්ව වැසීම නිසාය. ඊට මුල් වූයේ අද කිඹුල් කඳුළු හෙලන හිටපු උතුරු පළාත් සභා මන්ත්‍රී ආනන්දි සසිතරන්ගේ සැමියා වූ එලීලන්ය.

ඩොලර් අරමුදල් මත යැපෙන fජිහාන් පෙරේරා නැමැත්තා මෙහෙයවූ ජාතික සාම මණ්ඩලය මාවිල්ආරු අර්බුදය සම්බන්ධයෙන් කොටි සමඟ සාකච්ඡා කරන ලෙස රජයෙන් කළ ඉල්ලීම ප්‍රතික්‍ෂේප විය.

මේ පසුබිම මැද කොළඹ විරකේසරි පුවත්පත ශ්‍රී ලංකා හුමදාව අවතක්සේරුවකට ලක්කරමින් කොටි සතුව බලවත් ශක්තියක් ඇති බවට දක්වමින් පුළුල් ප්‍රචාරයක් ගෙන යනු ලැබීය.

එම පුවත්පතේ සක්කිරියන් නැමැති අන්වර්ත නාමයෙන් ලිපි ලියූ කොටි හිතවාදියා ශ්‍රී ලංකා හමුදාවට කම්පනය හැදෙන බව පවසනු ලැබීය.

advertistmentadvertistment
advertistmentadvertistment