ශ්‍රී ලංකාවට ආවේණික අලුත් නෙලූ ශාකයක් නකල්ස් රක්‍ෂිතයෙන්

225

නකල්ස් රක්‍ෂිතයෙන් ශ්‍රී ලංකාවට ආවේණික අලුත් නෙලූ ශාකයක් සොයා ගෙන ඇත.

නකල්ස් රක්‍ෂිතයෙන් සොයා ගෙන ඇති මේ නෙලූ විශේෂයේ නිපත්‍රවල ශ්‍රාවී ග්‍රන්ථි බහුලව පිහිටීම නිසා Strobilanthus glandulata Nilanthi ලෙස නම් කර ඇත. පර්යේෂණ කණ්ඩායමට වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලන්ති රාජපක්‍ෂ, නුවන් ජයවර්ධන, මහනුවර මූලික අධ්‍යයන ආයතනයේ මහාචාර්ය සිරිල් විජේසුන්දර, පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ප්‍රදීපා බණ්ඩාරනායක, හිරුණ සමරකෝන් සහ භාග්‍ය හතුරුසිංහ ඇතුළත් වන අතර මේ නව විශේෂය හඳුන්වාදීම සඳහා ඔවුන් රූප විද්‍යාත්මක ලක්‍ෂණ මෙන්ම නවීන තාක්‍ෂණය ඔස්සේ යමින් අණුක ජීව විද්‍යාව උපයෝගී කරගෙන ඇත. මෙය ශ්‍රී ලාංකිකයෙකු විසින් දෙවන වරට සොයා ගන්නා ලද නෙලූ ශාකය වන අතර එම තොරතුරු ප්‍රසිද්ධියට පත්කර ඇත්තේ 2022.11.16 දින Biotaxa සමාගම විසින් ප්‍රකාශයට පත්කරන ලද Phytotaxa අන්තර් ජාතික පර්යේෂණ සඟරාවේ පර්යේෂණ පත්‍රිකාවක් මගිනි.

නෙලූ ශාක පිළිබඳ අධ්‍යයනයේදී රක්‍ෂිත ප්‍රදේශ වෙත ගොස් එම ශාක පිළිබඳ අධ්‍යයනයටත්, පර්යේෂණ සඳහා එම ශාක නිදර්ශක එකතු කිරීමටත් සහ DNA sequence කර ගැනීම සඳහා පිටරට යැවීමටත් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ හා වන සංරක්‍ෂණ දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇති අතර මෙම පර්යේෂණය සඳහා මූල්‍ය දායකත්වය සපයා ඇත්තේ පරිසර පද්ධති සංරක්‍ෂණ හා කළමනාකරණ ව්‍යාපෘතිය (ESCAMP) මගිනි.

නව විශේෂය සොයා ගැනීමත් සමග ශ්‍රී ලංකාවේදී ස්වාභාවික පරිසරයේ දැකගත හැකි Strobilanthus විශේෂ සංඛ්‍යාව 34 ක් පමණ වන අතර බොහොමයක් විශේෂ ශ්‍රී ලංකාවට ආවේණික ශාක වේ. වන සත්ත්ව හා වෘක්‍ෂලතා ආරක්‍ෂක ආඥා පනතෙන් (FFPO) නෙලූ විශේෂ 14 ක් ආරක්‍ෂිතය.

ජගත් කනහැරආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment