ශ්‍රී ලංකාවට ආවේණික ශාක හා සතුන් ආරක්ෂා කිරීමට හේමාස් පාරිසරික  න්‍යායපත්‍රය එළිදකී

523

ශ්‍රී ලංකාවට ආවේණික සම්පත් රැකගැනීමට දායක වීම මෙරට ව්‍යාපාර ක්ෂේත්‍රයේ වගකීමක් බව විශ්වාස කරමින්, හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී එහි 2030 සමූහ පාරිසරික න්‍යායපත්‍රය පසුගියදා එළිදැක්වී ය. මෙය දැනට වඳවී යෑමේ තර්ජනයට ලක්වී සිටින, ශ්‍රී ලංකාවට ආවේණික සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීම අරමුණු කරගත් වැඩපිළිවෙළකි.

 ආවේණික සත්ත්ව හා ශාක විශේෂ 350 කට අධික සංඛ්‍යාවක් සහිත ශ්‍රී ලංකාව, ලොව ජෛව විවිධත්ව තෝතැන්නක් ලෙස සැලකේ. කෙසේ වුවද මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම සත්ත්ව හා ශාක විශේෂ රාශියක් මේ වනවිට වඳවී යාමේ තර්ජනයට මුහුණ පා සිටී.

 “සැබැවින්ම ශ්‍රී ලාංකික සමාගමක් ලෙස රටේ සම්පත් ආරක්ෂා කරගැනීමට අප මැදිහත් විය යුතු බව අප විශ්වාස කරනවා. අප සතු සශ්‍රීක පරිසර පද්ධතියෙන් අනාගත පරපුරටත් ප්‍රතිලාභ ලැබීමට හැකි වන්නේ එවිටයි. මේ සියල්ල ඔස්සේ රටේ වඳවී යෑමේ තර්ජනයට ලක්වී සිටින සත්ත්ව හා ශාක විශේෂ ආරක්ෂා කරගැනීමට දායක වීම අපගේ බලාපොරොත්තුවයි.” හේමාස් හෝල්ඩින්ස් පීඑල්සී හි සමූහ ප්‍රධාන විධායක නිලධාරිනී කස්තුරි චෙල්ලරාජා විල්සන් මහත්මිය පැවසුවා ය.

 පාරිසරික න්‍යාය පත්‍රය යටතේ ක්‍රියාවට නංවන මූලික වැඩසටහනක් ලෙස, ශ්‍රී ලංකාවේ වඳවී යෑමේ තර්ජනයට ලක්ව ඇති සත්ත්ව හා ශාක විශේෂ 50 කට අධික සංඛ්‍යාවක් පිළිබඳව වැඩිදුර තොරතුරු එක්රැස් කිරීමට සහ එම විශේෂ ආරක්ෂා කරගැනීමට අවශ්‍ය පියවර ගැනීමට හේමාස් හෝල්ඩිංග්ස් මේ වනවිට වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමය (WNPS) සමඟ හවුල්කාරීත්වයකට එළඹි සිටී.

 “වනජීවී හා ශාක විශේෂයන්ගේ අනාගතය තීරණය වන්නේ මිනිස් ක්‍රියාකාරකම් මතයි. ගෝලීය උෂ්ණත්වය ඉහළ යෑම සහ දේශගුණ විපර්යාස හේතුවෙන් මුළු ලොවටම බලපෑම් එල්ල වෙමින් පවතින පසුබිමක් තුළ, අප සතු දේ රැකගැනීමට අප නොපමාව පියවර ගත යුතුයි. හේමාස් සමූහය අප සමග එක්වී ඒ සඳහා අතිශය කාලෝචිත වැඩසටහනක් දියත් කර තිබෙනවා. මෙය නිවැරදි දිශාවට තැබූ වැදගත් පියවරක් ලෙස හැඳින්වීමට පුළුවන්.” වනජීවී හා ස්වභාව ආරක්ෂණ සංගමයේ සභාපති ජෙහාන් කනගරත්න මහතා පැවසීය. 1948 වසරේදී හේමාස් සමාගම ආරම්භ කර ඇති අතර වසර 70 ක කාලය පුරා ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය, බටහිර බෙංගාලය සහ මියන්මාරය යන රටවලටද තම මෙහෙයුම් කටයුතු ව්‍යාප්ත කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment