ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්‌ට්‍රේලියාව සවිමත් පදනමක් දමයි

208

ශ්‍රී ලංකා ඔස්‌ට්‍රේලියා දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය

අයිසීසී ලෝක ශුරතා ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය යටතේ වෝන් – මුරලි කුසලාන වෙනුවෙන් පැවැත්වෙන දෙවන සහ අවසාන ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමුව පන්දුවට පහර දුන් ඔස්‌ට්‍රේලියා කණ්ඩායම ඊයේ (08දා) තේ පානය සඳහා තරගය නතර කරන විට කඩුලු 3ක් දැවී ලකුණු 204ක් ලබා සිටියේය.

ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන මෙම තරගයේ කාසියේ වාසිය දිනූ ඔස්‌ට්‍රේලියා නායක පැට් කමින්ස් දෙවරක් නොසිතා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ වනවිටත් කෝඩුකාරයෝ තිදෙනෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට එක්ව සිටියහ. ඒ ප්‍රභාත් ජයසූරිය, කමිඳු මෙන්ඩිස් සහ මහීෂ් තීක්ෂණ යි.

ඔස්‌ට්‍රේලියාව පළමුව පන්දුවට පහර දීමට ගත් තීරණය මත පිටියට පිවිසි ආරම්භක පිතිකරු යුගලයේ සම්බන්ධතාවය ලකුණු 15කට සීමා කරමින් ඩේවිඩ් වෝනර් ලකුණු 05කට දවා ගැනීමට වේග පන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත සමත් වූයේය. කසුන් රාජිත විසින් ක්‍රියාත්මක කරන ලද තුන්වන පන්දුවාරයේ දී පන්දුවක් කෙළින්ම කඩුල්ලේ දැවටීමෙන් ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ පළපුරුදු වමත් පිතිකරුවාගේ ඉනිම ඉක්මනින් නිමා වීම ශ්‍රී ලංකා කණ්ඩායමට අස්වැසිල්ලක් ගෙන දුන්නේය.

ශ්‍රී ලංකාවට එරෙහිව ඔස්‌ට්‍රේලියාව සවිමත් පදනමක් දමයි

කොවිඩ් ආසාදිත බවට සනාථ වූ අසිත ප්‍රනාන්දු වෙනවට කසුන් රාජිත මෙම තරගය සඳහා කැඳවා තිබුණි.

දඟ පන්දු යවන ක්‍රීඩක රමේෂ් මෙන්ඩිස්ගේ පන්දුවක් හමුවේ ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ අනෙක් ආරම්භක පිතිකරු උස්මාන් කවාජා ගේ ඉනිම ද ලකුණු 37කට සීමා වූ අතර ඔස්‌ට්‍රේලියානු ලකුණු පුවරුව ඒ වන විට කඩුලු දෙකක් දැවී ලකුණු 70ක් ලෙස සටහන් විය.

අනතුරුව ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට තර්ජනයක් ගෙන දෙමින් තුන්වැනි කඩුල්ල සඳහා ඉනිම ගොඩනැගූ මානස් ලැබුශේන් සහ ස්ටීවන් ස්මිත් දෙදෙනා ගාල්ල තණතීරුවේ රිසිසේ ලකුණු සොයා ගිය අතර ඒ අතර වාරයේ සිය මවු බිමෙන් පිට පළමු ටෙස්ට් ශතකය රැස් කරගැනීමට ලැබුශේන් සමත් වූයේය.

හතරේ පහර 12 ක් සමගින් වාර්තා වූ මානස් ලැබුශේන්ගේ ශතකය ශ්‍රී ලංකා කණ්ඩායමට හිරිහැරයක් ගෙන දුන්නේ ය. එහෙත් ශ්‍රී ලංකාව වෙනුවෙන් ඊයේ ටෙස්ට් වරම් දිනූ ප්‍රභාත් ජයසූරියගේ කුළුඳුල් ටෙස්ට් කඩුල්ල ලෙස සටහන් වීමට ලැබුශේන් ට සිදු විය. ප්‍රභාත් ජයසූරිය විසින් ඊයේ තරගයේ තේ පානයට පෙර ක්‍රියාත්මක කරන ලද අවසන් පන්දුවාරයේ 4 වෙනි පන්දුවේදී ලැබුශේන්ගේ ඉනිම නිමාවට පත්විය. ජයසූරිය විසින් ක්‍රියාත්මක කරන ලද එම පන්දුව පිළිබඳව නිසි අවබෝධයක් නොතිබූ ලැබුශේන් සීමා ඉරේ නොසිටීමේ වරද මත නිරෝෂන් දික්වැල්ලගේ කඩුලු රැකීම හමුවේ දැවී ගියේය.

මානස් ලැබුශේන් ලකුණු 28ක් ලබා සිටිය දී ද කඩුල්ල බිඳ දැමීමේ පහසු අවස්ථාවක් නිරෝෂන් දික්වැල්ල අතින් ගිලිහී ගිය අතර ඒ වන විට ඔස්‌ට්‍රේලියා කණ්ඩායමේ ලකුණු පුවරුව සටහන් වූයේ කඩුලු දෙකක් දැවී ලකුණු 79ක් ලෙසය.

ශ්‍රී ලංකා පන්දු යවන්නන් හමුවේ ලැබුශේන්ට වඩා ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩා කළ හිටපු ඔස්‌ට්‍රේලියානු නායක ස්ටීවන් ස්මිත් සිය 98 වෙනි පන්දුවේදී අර්ධ ශතකය ලබා ගත්තේය.

තේ පානය වන විට ඔහු නොදැවී ලකුණු 51 ක් ලබා සිටි අතර ඒ වන තෙක් ධනංජය ද සිල්වා ගේ අඩුව පිරවීම වෙනුවෙන් කණ්ඩායමට කැඳවූ කෝඩුකාර කමිඳු මෙන්ඩිස්ගේ සහාය ඔස්‌ට්‍රේලියානුවන් මට්ටු කිරීම පිණිස ශ්‍රී ලංකා නායකයා යොදා ගෙන නොතිබුණි.

එසේම ඊයේ ටෙස්ට් වරම් ලැබූ අනෙක් ක්‍රීඩකයා වූ සීමිත පන්දුවාර ජාත්‍යන්තර තරඟ 27ක අත්දැකීම්වලින් හෙබි මහීෂ් තීක්ෂණ ද තේ පානය සඳහා තරගය නතර කරන තෙක් පන්දු වාර 8ක් ක්‍රියාත්මක කර තිබුණද කිසිදු කඩුල්ලක් ලබාගැනීමට අවස්ථාවක් හිමි නොවිණි.

ඔස්‌ට්‍රේලියාව මෙම තරගය සඳහා පළමු තරගයට ක්‍රීඩා කළ කණ්ඩායමම යොදා

ගැනීමට තීරණය කර තිබුණි. අද (09 වෙනිදා) තරගයේ දෙවැනි දිනයයි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment