ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පාපන්දු තහනමක්

191

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මගින් වහාම ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාපන්දු ක්‍රියාකාරීත්වය තහනම් කර ඇත.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය විසින් ශ්‍රී ලංකා පාපන්දු කටයුතු තහනම් කර ඇති බව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ හිටපු මහ ලේකම් උපාලි හේවගේ මහතා වෙත පෙරේදා (21 වෙනිදා) දැනුම් දී තිබේ.

මෙම තහනමට අනුව, ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩකයකුට හෝ නිලධාරියකුට හෝ පුහුණුකරුවකුට හෝ ජාතික කණ්ඩායමට හෝ ජාත්‍යන්තර තරග හෝ වෙනත් කිසිවකට සහභාගි වීමට නොහැකි වේ.

පසුගිය 14 වෙනිදා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පැවැත්වූ නිලවරණයේදී තෙවැනි පාර්ශ්වයක මැදිහත්වීම ඊට මූලික හේතු වූ බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය දැනුම් දී ඇත.

අදාළ නිලවරණයට පෙරදා හිටපු පාපන්දු සම්මේලන සභාපති ජස්වර් උමර් මහතාගේ සභාපති අපේක්ෂකත්වය ද ඉවත් කිරීමට කටයුතු කර තිබුණි.

පසුගිය නිලවරණයේදී ක්‍රීඩා අමාත්‍යවරයාගේ මැදිහත්වීම හා ක්‍රීඩා අමාත්‍යාංශය විසින් පොරොන්දු වූ පරිදි පාපන්දු සම්මේලන ව්‍යවස්ථාව සංශෝධනය නොකිරීම හා පොරොන්දු මාර්ග සිතියමට එකඟව ක්‍රියා නොකිරීම ද තහනමට හේතු වූ අනෙක් කාරණා වේ.

මෙම තහනම පිළිබඳව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය මඟින් එහි අනෙකුත් සාමාජික රටවල් 211 ට ද දැනුම් දී ඇත.

පසුගිය වසරේ දී ඉන්දියාවට ද මෙවැනි ජාත්‍යන්තර තහනමක් පැනවීමට කටයුතු කර තිබුණි.

කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment