ශ්‍රී ලංකාවට රග්බි තහනමක්

487

ආසියාතික මට්ටමේ රග්බි පාපන්දු තරග සඳහා ශ්‍රී ලාංකේය ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට සහ නිලධාරීන් හට සහභාගි වීමට නොහැකි වන පරිදි තාවකාලික තහනමක් පනවන්නට ආසියානු රග්බි පාපන්දු සම්මේලනය තීරණය කර තිබේ.

ආසියානු රග්බි පාපන්දු සම්මේලන විධායක කමිටුව විසින් ගන්නා ලද තීරණයකට අනුව ශ්‍රී ලංකාවේ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවූ බව ඉකුත් 12 දින නිවේදනය කළේය. එහි ප්‍රතිඵලයක් ලෙස ඉදිරියේදී පැවැත්වෙන ජාත්‍යන්තර තරග සඳහා සහභාගි වීමේ වරම් ශ්‍රී ලංකාවට අහිමි වේ. මෙවර චීනයේ දී පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වීමේ අවස්ථාව ද ඒ අනුව අවිනිශ්චිත තත්ත්වයට පත්ව තිබේ.

ආසියානු රග්බි පාපන්දු සම්මේලන විධායක කමිටු  රැස්වීම ඉකුත් 09 දින තායිලන්තයේ ෆුකෙට් හි දී පවත්වා ඇති අතර එහිදී මෙරට වත්මන් රග්බි පාපන්දු තත්ත්වය පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.

ආසියානු සම්මේලන රග්බි රෙගුලාසි අංක 03 ප්‍රකාරව ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාව තවදුරටත් පූර්ණ ලෙස නොසැලකිය හැකිය යන පදනම මත නැවත දැනුම් දෙන තුරු ශ්‍රී ලංකා රග්බි සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව අත්හිටුවන්නට ආසියාතික රග්බි පාපන්දු විධායක කමිටුව එහිදී නිගමනය කළේය.

හිටපු යෞවන හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාට ලැබී තිබූ බලතල අනුව 2022 අප්‍රේල් 01 වැනි දින රජයේ නිල ගැසට් පත්‍රය මගින් ප්‍රකාශයට පත් කරන ලද පරිදි ශ්‍රී ලංකා රග්බි පාපන්දු සම්මේලන නිලධාරීන් ගේ ක්‍රියාකාරීත්වය අත්හිටුවන ලදී.

එහි ප්‍රතිඵලයක් ලෙස මෙරට රග්බි පාපන්දු පරිපාලනය ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා වෙත පවරා තිබුණි.

එහි අතුරු ඵලයක් ලෙස නිපෝන් පේන්ට් අභියෝග කුසලාන ලීග් ශූරතා රග්බි පාපන්දු තරගාවලිය නිමා කර ගැනීමටද නොහැකි තත්ත්වයක් මේ වන විට උද්ගතව තිබේ.

මේ අතරවාරයේ ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටු මහ ලේකම්වරයාගේ අත්සනින් යුත් නිල ලිපියක් මගින් ශ්‍රී ලංකා රග්බි ක්‍රීඩාවේ එකම නියෝජිතයා ලෙස පැවති පසුගිය නිලවරණයක පත් වූ පරිපාලනය පිළිගෙන ඇති බව ද පෙනෙන්නට තිබේ.

ආසියානු ඔලිම්පික් කමිටුවේ සහ ආසියාතික රග්බී පාපන්දු සම්මේලනයේ නියෝජිත පිරිසක් අප්‍රේල් 20 වැනි දින ශ්‍රී ලංකාවට පැමිණ අදාළ පාර්ශ්වකරුවන් හමුවී උද්ගතව ඇති මෙරට රග්බි පාපන්දු තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment